රන්සුනු | සිළුමිණ

රන්සුනු

“ලේඛකයා ප්‍රීති ප්‍රමෝදයට පත් වන්නේ ඔහුගේ හෘදය සාක්ෂ්‍යය අනන්‍යයන්ගේ හෘදය සාක්ෂ්‍යය සමඟ එකට එකමුතු වූ විට පමණී.”

සල්ටියකොව් ෂෙඩ්රින්ගේ මේ ප්‍රකාශය මා උපුටා ගත්තේ කොන්ස්තන්තීන් පවුස්තවුස්කි රචනා කළ The Golden Rose නම් කෘතියේ සිංහල අනුවාදයෙනි. ඒ කෘතියේ වන සරල එහෙත් ගැඹුරු බව ඒ අයුරින් ම සිංහල පාඨකයා වෙත ‘රන් රෝස‘ නමින් ගෙන ඒම පිළිබඳ ව ආරියවංශ රණවීරයන්ට ද අපගේ ගෞරවය හිමි විය යුතු වෙයි.

ලේඛකයාගේ හෘදය සාක්ෂ්‍යය සහ පාඨකයාගේ හෘදය සාක්ෂ්‍යය එක්තැන් වන අවස්ථා කීයක් නම් අපට හමුවී තිබේ ද? මට රන් රෝස මල නිමැවුණු අයුරු සිහිපත් වේ. ෂාමිට් නම් සොල්දාදුවකු විසින් දිගු කලක් තිස්සේ රන්කරුවන්ගේ සාප්පු අසල බිම වැටෙන රන්කුඩු එකතු කර සුසේන් නම් යුවතියක් වෙනුවෙන් රන් රෝස මලක් නිමවයි. බෙහෙවින් ම වයස්ගතව වාත අමාරුව සෑදී කෝටු කකුල් ගාටමින් ඔහු මේ රන් රෝස මල අතැති ව සුසේන් නම් තරුණිය සොයමින් යයි.

එහෙත් ඔහු මිය යන තෙක් සුසේන් හමු නොවේ. අති සියුම් රන් රෝස මලක් සහ පොහොට්ටුවක් සහිත අත්තක් මේ දයාර්ද්‍ර වූ නිර්මාණයට රන්කරුවා විසින් එක් කර තිබිණි. එය කිලිටි වී ගිය කොට්ටයට තද කොට රිබන් පටියකින් ගැට ගසා තිබියදී ෂාමිට් අවසන් හුස්ම හෙළයි. ජීවිත කාලයෙන් අඩක් ම වැය කර වාසනාව ගෙනෙනවා යැයි විශ්වාස කර නිමැවූ රන් රෝස මල සුසේන්ට දිය නොහැකි වුව ද ඒ සුගැඹුරු ආදරයේ මහිමයෙන් සරත් සෘතුවේ අවසන් භාගයේ සැදෑ අඳුර විනිවිද හමා යමින් තිබූ සුළඟත්, දැල්වුණු පහන් දැල්ලේ ආලෝකයත් විසින් ෂාමිට් ගේ මුහුණ මත නිකැළැල් ශාන්ත වූ, නිවී සැනහෙන බවක් එක්කොට එය අතිශය සුන්දර පියකරු මුහුණක් බවට පත්කොට තිබිණි. රන් රෝස මල තැනූ රන්කරුවා ෂාමිට්ගේ මරණය අබියස සිටිමින් මෙසේ මිමිණීය.

ජීවිතය නොදුන් දේ මරණය ලබා දෙයි.

පසු කලෙක රන්රෝස මල තැනූ රන්කරුවා අතින් වෘද්ධ ලේඛකයෙක් මේ රන් රෝස මල මිලදී ගන්නේ එහි පුරාවෘත්තය අසා ඊට කරන ගෞරවයක් වශයෙනි. ෂාමිට්ගේ අපූර්ව ආදර කතාව පාඨක අප දැන ගන්නේ මේ වෘද්ධ ලේඛකයාගේ සටහන් අතරිනි. ඒ සටහන් අතර සාහිත ලෝකයේ සැරිසරන්නන්ට අගනා මාතෘ වාක්‍යයක් ඇතැයි සිතෙන බැවින් එය මෙසේ සටහන් කරන්නෙමි.

ගෙවෙන හැම නිමේෂයක්, නොසිතා බිණූ වදනක්, හෙළුෑ බැල්මක්, නොදැනෙන සේ ගැහෙන මිනිස් හද ගැස්මක්, පොප්ලර් ගසකින් පතිත වන මටුලු රේණුවක්, ගෙදිගු විලෙක දිලිසෙන තරු කිරණ කණිකාවක් ඈ මේ සියල්ල ම රන්සුනු ය. ලේඛකයන් වන අපි චිරාත් කාලයක් තිස්සේ යටි හිතෙන් මෙවන් අනන්ත අප්‍රමාණ රන්සුනු අහුලමු. අහුලා දිනෙක ඒවා ගෙන එකට තළා අපගේ ම රන් රෝස මලක් නිමවන තෙක් තැන්පත් කොට තබා ගෙන සිටිමු. ඒ රන් රෝස මල කතාන්දරයක්, නවකතාවක් හෝ කවක් විය හැකිය. සාහිත ශ්‍රොතය උපදින්නේ මේ අගය නොමිණිය හැකි රන්සුනු වලිනි.

අපට ජීවිතයේ හමුවන අනේකවිධ රන්සුනු වරෙක අපට නොවටින්නේ ය. තවත් විටක වටිනවා යැයි දැනුණ ද එකතු කර ගැන්මට නොසිතේ. තවත් විටෙක අපි ඒවා එකතු කොට පසු ප්‍රයෝජනය තකා පැත්තකින් තබන්නෙමු. තවත් විටෙක රන්සුනු නොදැකම, නොදැනීම අප ජීවන ගමන යන අවස්ථා ද නැත්තේ නොවේ. අතිශය දුර්ලභ අවස්ථාවක මේ රන්සුනු නෙත ගැටී පන්හිඳෙහි රැඳී, එකී පන්හිඳෙන් වඩාත් ඔපමට්ටම් වී හෘදයංගම වෙමින් තවත් බොහෝ දෙනකුට ජීවිතාවබෝධය ලබා දෙන්නේ ය.

ලේඛනය හෝ නිර්මාණ කාර්යය තවත් එක් ශිල්පයක් පමණක් ද? නිර්මාණයක ජීවය රඳා පවතින්නේ නිර්මාණකරුවා තම නිර්මාණයට අවංක වනතාක් පමණී. හෘදය සාක්ෂ්‍යයේ ආමන්ත්‍රණය ආත්ම කථනයක් ව නිර්මාණය පුරා ජීව ගුණය විහිදුවන්නට නම්, නිර්මාණකරුවා නිර්මාණය හා ආත්මගත ව බැඳිය යුත්තේ ය.

නිර්මාණකරණය ගොඩනැඟෙන්නේ මනස ඇතුළතින් පැන නඟින උද්වේගයේ බාහිර ප්‍රකාශනයක් වශයෙනි. උද්වේගය, පීඩනය හා ආස්වාදය යන චිත්තයන්ගේ තෙරපීම අබියස නිර්මාණකරුවා දණ නමන්නේ කවර දෙයක් වෙනුවෙන් ද? මා සිතන්නේ නිර්මාණකරුවා පළමුවෙන් ම දණ නමන්නේ තම හෘදය සාක්ෂ්‍යයෙන් ලබන අණ ඉදිරියේ බව ය.

සාමාන්‍ය මිනිසකුට නිර්මාණකරුවකු වීමට හෘදය සාක්ෂ්‍යයේ හඬගෑම පමණක් ප්‍රමාණවත් ද? බොහෝ ලේඛකයෝ තම හදවත පමණ ඉක්මවා විදාරණය කරති. ජීවන හරය නොව මතුපිට පැවැත්ම ගැන කතා කරති. අත්දැකීම් වැඩෙන්නට වැඩෙන්නට මතුපිට හරය හා සිද්ධි දාමය යටපත් වී වඩාත් ප්‍රබල ව ජීවිතය දකින්නට විඳින්නට පටන් ගනිති. නිර්මාණකරණයට ද එය බලපෑම් කරන්නට වෙයි. එහෙත් තුරුණු වූ පමණින් මඳ අත්දැකීම් සහිත වීමටත්, තලතුනා වූ පමණින් අත්දැකීම් ලැබෙන්නටත් යන අවස්ථාද්වය ම සැමවිටම පොදු නොවනා අතර ඊට අවබෝධය හා දැක්ම ද හේතු සාධක වන බව අමතක කළ නොහැකි ය. මනුෂ්‍යත්වයේ දෝංකාරය හෝ හදවතේ හඬගෑම විනිවිඳින්නට නම් තියුණු හා පුළුල් ජීවිතාවබෝධයක් තිබිය යුතු බැව් අවිවාදිත ය.

අල්තීනායිට අමතක කළ නොහැකි දුයිෂෙන්ගේ හදවතේ දෝංකාරය මට සිහිපත් වේ. අසීමිත දයාවකින් යුතුව ගුල්සාරිගේ හදවත ආමන්ත්‍රණය කළ තනබායි තවත් විටෙක සිහිපත් වේ. දියෙහි පිපුණ ද දිය නොරැඳුණු අරවින්දත්, සොබාදහමේ අසීමිත හඬගෑම් ඉදිරියේ ලෝකයට උමතු ගැහැනියක වූ සඳවතිත්, දරුවන්ට ද පියවරුන් නැති ලෝකයේ සොයුරන්ට පියකු වූ ඉසාත්, සංස්කෘතික සීමාවන් ඉරිතළා ගිය ආදරයක් නොරිකෝගෙන් සෙවූ දෙවොන්දරාසං මෙන් ම මානව දයාවෙන් අසාර වූ වංලුං නම් කෙතේ ආදරයේ සාරය සෙවූ ඕලෑන් නම් අපූර්ව ගැහැනියත් ජීවිතයේ භෞතික සීමාවන් පමණක් ස්පර්ශ කර ආදරයට පිටස්තරයකු වූ මර්සෝත් මට සිහිපත් වේ.

මේ පුළුල් ජීවිතාවබෝධය ලබාදෙන නවකතා හෘදය සාක්ෂ්‍යයේ ආමන්ත්‍රණයට පළමුවෙන් ඇහුම්කන් දී දෙවනුව පුළුල් ජීවන දැක්මක් සාක්ෂාත් කළ බවත්, ඒ ඔස්සේ පාඨකයා ද රන්සුනු සොයා යෑමේ මාවතට ප්‍රවේශ කළ බවත් සිතීමෙන් ම සිත නිවුණු බවක් හැඟෙයි

[email protected]

Comments