මානව වංශ ලේඛ චිත්‍රපට නිර්මාණයට හොඳ හැදෑරීමක් අවශ්‍යයි | Page 2 | සිළුමිණ

මානව වංශ ලේඛ චිත්‍රපට නිර්මාණයට හොඳ හැදෑරීමක් අවශ්‍යයි

සුමින්ද කිත්සිරි ගුණරත්න

චක්කරංකොටුව (1996), ඇහැලි (2000), නා රජ සහ වේ රජ (2010), ලංකා පොකුණ (2012) යන කාව්‍ය සංග්‍රහ සහ ලුම්බිණි (2016) ආඛ්‍යාන කාව්‍යය මඟින් ද සිය ප්‍රතිභාන්විත කවීත්වය ප්‍රකට කරන ඔහු, ජී.බී.සේනානායක නිදහස් කවියේ පුරෝගාමියා (2001), ආරියවංශ පතිරාජ ප්‍රතිරාව (2008), දෘශ්‍යාත්මක මානව විද්‍යාව (2017) යන පර්යේෂණ කෘති මඟින් කවීත්වයෙන් ඔබ්බට ගිය ගවේෂණශීලී ප්‍රතිභාව ද පළ කරන්නේ ය. නමින් සුමින්ද කිත්සිරි ගුණරත්න වන ඔහු සබරගමු පළාත් දක්ෂතම කවියා (ළමා අංශය) පළාත් රාජ්‍ය සම්මානය (1990) ද , පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ප්‍රඥාංකුර සම්මානය (1996) ද, ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයෙන් විමලරත්න කුමාරගම සම්මානය (2000) ද හිමි කරගන්නා අතර සාක් කලාපීය කවියන්ගේ කාව්‍ය එකතුවට ශ්‍රී ලංකාව නියෝජනය කරන කවියෙක් ද වන්නේ ය. ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, දඹානේ ගුණවර්ධනයන්ගේ “දඩබිමෙන් දඩබිමක්“ කෘතිය පදනම් කර ගනිමින් මානව වංශ ලේඛ චිත්‍රපට පිටපතක් නිර්මාණය කරමින් සබරගමුව විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද ලබන ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධිය ලබමින් දෘශ්‍යාත්මක මානව විද්‍යාව ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සිදු කරන්නේ ය. මෙවර තුරුණු මඬල සංලාපය දර්ශනපති සුමින්ද කිත්සිරි ගුණරත්නයන් සමඟ ය.

• මානව විද්‍යාව නම් වූ පුළුල් විෂය ක්ෂේත්‍රයේ උප කුලකයක් වන දෘශ්‍යාත්මක මානව විද්‍යාව ලෝක ශාස්ත්‍රඥයන් අතරින් පැනනගින්නේ මානව විද්‍යාවේ කෙබඳු රික්තයක් පිරවීමට ද?

අක්ෂර බිහිවීමත් සමඟ මානව සංස්කෘතිය හා ශිෂ්ටාචාරයේ පැවැත්ම එතෙක් සංරචනය වූ ජනශ්‍රැතික ආකෘතිය වෙනස් වී ලේඛන මාධ්‍යයට පරිවර්තනය වුණා. යුද්ධ වසංගත රෝග වැනි ස්වාභාවික විපත් ආදියෙන් ජනශ්‍රැති පවත්වාගෙන ආ සම්පත් දායකයන් විනාශ වීමත් සමඟ ඒ ඒ ඥාන පද්ධති ද විනාශ වුණා. ඒ අනුව මේ සංස්කෘතික ඥානය ඉදිරියට ගෙන යා හැකි හොඳ ම ක්‍රමය ලෙස මානවයා ලේඛනය යොදා ගත්තා.ලේඛන මාධ්‍යයෙන් සිදු වූ සංස්කෘතික සංරචනයේ අඩුලුහුඬුතා මගහරවා ගැනීම සඳහා 1800 මුල් භාගයේ දී කැමරාව නිපදවා ගන්නවා.පසුව සිනමා කැමරාව ද පර්යේෂණාත්මකව නිර්මාණය කර ගැනීමත් සමඟ මානව සංස්කෘතිය සංරචනයට ලේඛනයට වඩා රූපගත කරගැනීම වඩා වැදගත් වන බව මනුෂ්‍යයා තේරුම් ගන්නවා.

නිරන්තරයෙන් වෙනස් වන සංස්කෘතිය තත්ත්වාකාරයෙන් නිරූපණය කිරීමට වචනවලට වඩා රූප පටිගත කිරීම ප්‍රබල වන බව ඔවුන් තේරුම් ගන්නවා. ඊට මුල් වන්නේ 1926 දී රොබට් බ්ලෙයාඩි විසින් එස්කිමෝවරු පිළිබඳව නිපදවන Nanook of the North කියන ලෝකයේ වාර්තා චිත්‍රපට ඉත්හාසයේ ප්‍රධානත්වයක් උසුලන චිත්‍රපටයයි. එහිදී මානව විද්‍යාඥයන් තේරුම් ගන්නවා මානව වංශකතාව හා මානව සංස්කෘතික ඉතිහාසය සංරක්ෂණය කිරීම උදෙසා කැමරාව කදිම උපකරණයක් වන බව. ඒ නිසා තමයි මාග්‍රට් නීඩ් මානව විද්‍යාඥවරිය පවසන්නේ, පෑන සහ පොත රැගෙන ක්ෂේත්‍රයට යන මානව විද්‍යාඥයා සාහසික අපරාධයක් සහ අතපසු කිරීමක් කරනවා කියලා. ඒ, කැමරාවක් භාවිත නොකරන නිසායි. ඇය විමසන්නේ, දුරේක්ෂය නිසා තාරකා විද්‍යාව දියුණු වෙනවා, අන්වීක්ෂය නිසා භෞතික විද්‍යාව දියුණු වෙනවා, එසේ නම් ඇයි කැමරාව මානව සංස්කෘතිය නිරීක්ෂණයට යොදා නොගන්නේ? කියලා.

මානව විද්‍යාඥයා ක්ෂේත්‍රයට ගොස් සිය නිරීක්ෂණ සටහන් පොතෙහි ලියා ගන්නා මොහොතේ ඔහුට මගහැරෙන දත්ත රාශියක් කැමරාවක සටහන් කරගන්න හැකි වෙනවා. ඒ වගේ ම පුරා විද්‍යාවේදීත් පුරාවිද්‍යා කැණීම්වල දෛනික දත්ත වාර්තා තබා ගැනීමට කැමරාව විශාල වශයෙන් වැදගත් වෙනවා. මෙසේ මානව සංස්කෘතිය අධ්‍යයනයේදී කැමරාව ප්‍රධාන උපකරණයක් වෙනවා.ඒ නිසා එය වෙන ම අධ්‍යයනය කළ යුතු විෂයයක්.ඒ වගේ ම එබඳු ඡායාරූප හෝ චිත්‍රපට අධ්‍යයනය සඳහා වෙන ම විෂයයක් අවශ්‍ය වෙනවා කියන තර්කනය මත දෘශ්‍යාත්මක මානව විද්‍යාව බිහි වෙනවා.

• විවිධ සංස්කෘතීන් අධ්‍යයනය කළ අධිරාජ්‍යවාදීන් සංස්කෘති සංරචනයට කැමරාව උපයෝගී කරගත් බවට Song of the Ceylon වැනි චිත්‍රපට උදාහරණ සපයනවා. කැමරාවේ මූලික ම කාර්යභාරය නිර්ණය වුණේ මානව විද්‍යාත්මක අදහසකින් බව ඓතිහාසිකවත් දක්නට ලැබෙනවා නොවේද?

නැහැ. මූලිකව කැමරාව භාවිත වන්නේ මානව විද්‍යාත්මක අදහසකින් නොවෙයි. වර්ෂ 1890 ගණන්වලත් 1906 පමණ වන විටත් අධිරාජ්‍යවාදීන් ලංකාවට පවා පැමිණ වීඩියෝපට නිර්මාණය කර තිබෙනවා. ඒ වගේ ම අප්‍රිකානු රටවල මිනී මස් කන චාරිත්‍ර පවා ඔවුන් පටිගත කර තිබෙනවා. මේ තුළ තිබුණේ වාණිජ පරමාර්ථයන්. මිනිසා, මිනිසා පිළිබඳව ලබන මවිතය හෙවත් වැසී තිබූ අඳුරු තිරයක් එකවර විවර කිරීම වැන්නක් තමයි එහි ගැබ්ව තිබුණේ. සුරංගනා කතා ලෙස ජනශ්‍රැතිකව ඇසූ කතා සත්‍ය ලෙස දැක ගැනීමයි එයින් සිදුවුණේ.

ධනේශ්වර සමාජ ක්‍රමය තුළ ඇති වූ සමාජ ප්‍රශ්න අධ්‍යයනය කිරීමට සමාජ විද්‍යාව බිහි වෙනවා වගේ යටත් විජිතවල පරිපාලන පහසුව උදෙසා ඒ රටවල සංස්කෘතිය හැදෑරීමට පාලකයන් විද්වතුන්ව පෙලඹවීම මත මානව විද්‍යාව බිහි වෙනවා. ලංකාවේදී ඩොයිලි වසර 14 ක් අපේ සංස්කෘතිය හදාරලයි අපට මරු පහර එල්ල කරන්නේ. මුල් කාලීනව මානව විද්‍යාව මානව කේන්ද්‍රවාදය ඔස්සේ පැමිණියත් එහි දෙවන අදියරේදී මානව විද්‍යාඥයන් කිසිම සංස්කෘතියක් තවත් සංස්කෘතියකට සමාන හෝ උස් පහත් නොවන බවත් ඒවා වෙන වෙනම අධ්‍යයනය කර සංරක්ෂණය කරනවා හැරෙන්න විනාශ නොකළ යුතුය යන අදහසට එනවා. මේ මතයේදී තමයි කැමරාව මානව විද්‍යාත්මක අදහසකින් අත්‍යාවශ්‍ය වන්නේ.

• එහෙත් වර්තමානයේ විශ්වවිද්‍යාලයන් තුළත් මානව විද්‍යාත්මක පර්යේෂණ ලෙස වලංගු වන්නේ ලේඛනගත කළ පර්යේෂණ මිස රූපගත කළ පර්යේෂණ නොවේ?

කෝ. ආනන්ද හාමුදුරුවන්ගේ “හේ සිද්ධාර්ථ නම් විය” නවකතාවෙන් පසුව කිසිදු විශ්වවිද්‍යාලයක් නවකතාවක් පර්යේෂණයක් ලෙස භාරගෙන නැහැ. එහෙත් නවකතාව කියන්නේ විශාල පර්යේෂණයක ප්‍රතිඵලයක් බව කවුරුත් පිළිගන්නවා. මහාචාර්ය කාර්ල් ජී හයිඩ තමන්ගේ මානව වංශ ලේඛ චිත්‍රපටය කියන කෘතියේ තර්ක කරනවා චිත්‍රපටයක් කියන්නේ සම්මත පර්යේෂන ආකෘතිය ම වන බව. තේමාවක් තෝරා ගැනීම චිත්‍රපටයේත් පර්යේෂණයේත් සිදු වන්නේ එක ලෙසයි. එමෙන් ම චිත්‍රපටයේ පටිගත කිරීම් දත්ත සම්පාදනයට සමානයි. දත්ත විශ්ලේෂණය සංස්කරණයට සමානයි. අවසන් නිෂ්පාදනය පර්යේෂණ කෘතියට සමානයි. මෙය හයිඩ ආකෘතිය ලෙස හඳුන්වනවා. චිත්‍රපට මාධ්‍යය තුළ පර්යේෂණ ලක්ෂණ දක්නට ලැබුණත් අපේ රටේ තවමත් චිත්‍රපටය පර්යේෂණයක් ලෙස පිළිගත්නේ නෑ. ලෙස්ටර්ගේ මූලික වාර්තා චිත්‍රපට, සුදත් මහදිවුල්වැවගේ “සත්වැනි සැඳෑවේ ගීතය” වැනි නිර්මාණ හදාරණවිට මේ බව පැහැදිලි වෙනවා.

• Village of the Jungle ඔස්සේ ගොඩනැගෙන “බැද්දේගම” චිත්‍රපටයත් මේ ආකෘතිගත යයි ඔබ සිතනවාද?

මානව වංශ ලේඛ චිත්‍රපටයක් කියන්නේ ගැඹුරු කාරණයක්. බැද්දේගම කියන්නේ අපේ රටේ හදපු නරක මානව වංශ ලේඛ චිත්‍රපටයක්. ලෙස්ටර් මහත්තයා ඒ යුගයේ කළේ කලාත්මක චිත්‍රපටයක් බිහිකිරීමයි. ඒ නිසයි පිෂ්ඨ සහ මේද බහුල ආහාරයෙන් පෝෂණය වූ විජය හා මාලනී වැනි නළු නිළියන් ඒ වියළී ගිය ගමේ චරිතවලට යොදා ගත්තේ. මෙතනදි ජින් රොක්ස්ගේ මතය වැදගත් වෙනවා. පර්යේෂණයේදී නළුවා කියන්නේ උපකරණයක්. පර්යේෂණයේ නියැදියක් ලෙසයි නළුවා යොදාගත යුත්තේ. Nanook of the North චිත්‍රපටයේ Nanook ලෙස යොදා ගත්තේ ඇස්කිමෝවරයෙකුවයි. ඒ නිසා ඔහුගේ මානව සංරචන සියල්ල ඊට අදාළයි. ලංකාවේ තවම මානව වංශ ලේඛ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු බිහිවී නැහැ. දැනුම්වත්ව මානව වංශ ලේඛ චිත්‍රපටයක් බිහිවන්න නම් මානව විද්‍යාඥයෙකු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වීම හෝ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මානව විද්‍යාඥයෙකු වීම සිදුවිය යුතුයි.

• වාර්තා චිත්‍රපට හා මානව වංශ ලේඛ චිත්‍රපටය අතර ඇති වෙනස කුමක්ද?

මානව වංශ ලේඛ චිත්‍රපටය මානව විද්‍යාත්මක සංරචනය දැන කළ යුතු දෙයක්. වාර්තා චිත්‍රපටයකදී සුන්දරත්වය, සිනමාත්මකභාවය හෝ රූපමය වටිනාකම ආදිය ඉස්මතු වන ආකාරයටයි කැමරාව ස්ථානගත කරන්නේ. එහිදී ඇතැම්විට සංස්කෘතික වටිනාකම් මඟහැරෙනවා. උදාහරණයක් ලෙස යාපනයේ සිට කතරගමට යන පාද යාත්‍රාවේ වාර්තා චිත්‍රපට ගණනාවක් තිබෙනවා. මේ චිත්‍රපට ගණනාවක ම පාද යාත්‍රාවේ යෙදෙන මිනිසුන්ගේ පාදවල සමීප රූපයක් ගන්න අමතක වී තිබෙනවා. ඒ මිනිසුන්ගේ පතුල් මහ පොළොව සමඟ ගැටෙන ආකාරය, දූවිලි පොළවේ දූවිලි ඇවිස්සෙන ආකාරය කතරගමට යනවිට ඉතිරිවන ඇතැමිවිට ලේ ගලන පාද පිළිබඳ එහිදී කිසිඳු තැකීමක් කර නැහැ. ඒ නිසා මානව වංශ ලේඛ චිත්‍රපට නිර්මාණයට හොඳ හැදෑරීමක් අවශ්‍යයි. කැමරාව පිළිබඳව වගේ ම මානව විද්‍යාවන් එහිදී අත්‍යවශ්‍ය වෙනවා. මෙතෙක් ලංකාවේ සෑම විචාරයක් ම සිදුවුණේ රම්‍යතාව මත මිස සංස්කෘතික වටිනාකම් මත නොවේ. මේ විෂය මඟින් සිනමාවත් ශාස්ත්‍රීය පසුබිමකට අවශෝෂණය වෙනවා.

Comments