
අදත් ප්‍රමාදයි
බාගෙට ඉදෙන
බත් මුලත් අරගෙන
හැල්මේ දුවවිත්
හති හලයි ස්ටේෂමේ
මොරටුව විනාඩි විස්සක් ප්‍රමාදයි
ගල්කිස්ස විනාඩි හතළිහක් ප්‍රමාදයි
කොළඹ කොටුව විනාඩි තිස් පහක් ප්‍රමාදයි..
අදත් නා කපන වැස්ස
එතකොට කලර් ලයිට්
බෝක්කුවකුත් ගලවල
මං තීරු නීතියත් තදේටම
කන්තෝරුව පෙනි පෙනී
රතු ඉර....
හවසටත් කොහොම යන්නද මන්දා
මහව විනාඩි හතළිහක්
මාතර විනාඩි තිස් පහක්
නුවර බොහෝ වේලාවක්
කළුවරේ පා පැටලි පැටලී
ගෙදරට සේන්දු වුණත්
එතනත් රතු ඉර
ළමයි පාඩම් කරනවා
දැන් හොඳටම රෑ වෙලා
වෙන දවසක බලමු
රත්නසිරි පතිරණ
බිරිය නම්
හිනාවෙන කොට තියෙන ලස්සන
රවන කොට දැක ගන්න බැරි හැටි
ජීවිතේ ඇති තුරා ඒ ගැන
සොයන ලතැවිල්ලක් ද ප්‍රේමය...
නීල වටකුරු ඇසෙහි ලස්සන
ඔරවද්දි දැක ගන්න බැරි හැටි
ජීවිතේ මතු පිටින් හමුවන
සරදමක් විය හැකි ද ප්‍රේමය...
දයාබර මුව මඬල ලස්සන
බනින කොට දැක ගන්න බැරි හැටි
ජීවිතේ ඉරණම කියාදෙන
සදාකාලික දුක ද ප්‍රේමය
මහින්ද කුමාර දළුපොත
පොත පත කියවමු
පොත පත ඇසුරෙ ලද විට පරිණත භාවේ
එත කොට සිතට නැණ ගුණ මිණි මුතු යාවේ
නෙත සිත යොමා කරමින් උපරිම සේවේ
පුත මවු බිමට ලැබ දෙනු මැන නව ජීවේ
පින්බර දූ දරුවො පසුවෙන ළමා වියේ
තුන් හෙළයෙම දිළෙන පහනකි දිවා රැයේ
සුන් කර අසමඟිය - දියුණට සමාජයේ
නං වනු කාහළ නද - මෙත් මල් පිපේ ළයේ
දරුවෙනි සිතට ගෙන යුතුකම වගකීම
පුරුදුව නැණ - ගුණැති හොඳ දරුවෙකු වීම
සරු බර හෙටක් වෙනුවෙන් ඔබ හැමගේම
තුරුලට ගනු මැනවි - පොත පත හැමදාම
අමරදාස පෙරේරා
අයැදුමක්
මන බඳන උයනක් සේ නෙක වනින් මල් පිපී
සුවඳ විහිදන ළමා ලොවම තනි යායකී
පුබුදින්න වෙර දරණ මල් කැකුළු දැක එකී
හෙටත් පැහැබර පතා ඉසිමු දියවර අපී
හිරු දකින්නත් පළමු පොහොට්ටුම ගෙන කඩා
දෙපෙති විහිදන කලට සුමුදු මල් පෙති තළා
වරද පටවා උනුන් අත කුමට නන් දොඩා
රිකිලි සිඳි ගස්වලින් හිඳින්නෙද පල බලා
අර දිනේ මේ දිනේ දින අතර කී නොකී
ළමා දිනයත් අපට තවත් එක දිනයකි
විනාශය අභිමුවේ සැවොම මුනිවත රකී
පමාවට හෙට ලැබෙන තිලිණයද කඳුළකි
මං මුළා වී නොලා මාවතේ රියැලිටි
හිටපු දෙන් පාඩුවේ උන් ලොවේ පොඩිහිටි
දිරි දෙන්න රැක ගන්න ළමා ලොව නොකිළිටි
කරමු ආයාචනා පරපුරෙන් වැඩිහිටි
නිමල් වසන්ත කුමාර
තරුවක් වුණත්
ඇයි හොඳයිකම් මොකටද
නන්නාඳුනන අහසක් එක්ක
තරුවක් වුණත් පාර කිව්වට
අතරමං කරනවාමයි දවසක
මදු දිසානායක
පොත් සල්පිලෙන් අහුලාගත් කවිය
ලැබෙන හැම ඉඩකට
පොතක් කියවන්නට
එයින් තුටු වන්නට
සැදී පැහැදී ඉන්න බිරියට..
වරක් එක් වසකට
තිබෙන පොත් සල්පිලට
එළැඹි සැප්තැම්බරයට
ගණන් බැලුවා යන්නේ කවදට...
දිනක් දහනවයට
යන්න ඕනා එහෙට දහයට
ගෙවුණි කාලය හනිකට
දවස ඇවිදින් ඇගේ ලෝකෙට...
නිතර ඇවිදින්නට
පහසු නැති මුත් දෙදෙනට
එකම ඇගෙ සතුටට
කැප කරමි අද දවස ඈ හට
නලින් දිසානායක
රාත්‍රිය වී එන්න
රාත්‍රිය වී ඔබ එන්න මා වෙත,
පුර සඳක් ලෙස රැඳෙන්නට ඔබ ළඟ...
රන් බිඟුන් වී ඔබ එන්න මා වෙත
රොන් බිඳක් ලෙස රැඳෙන්නම්
ඔබ තුඩග...
සිනහවක් නැති මුවට
සිනහවක් වෙන්න ඔබ
සෙනෙහසක් නැති හදට
සෙනහසක් වෙන්න ඔබ...
ආදරේ රැගෙන යන
පවන් රොද වෙන්න ඔබ
පුංචි මල් සිඟිත්තට
සුවඳ පොද වෙන්න ඔබ
ජීවිතේ හැමදාම
මා සමඟ ඉන්න ඔබ...
තුෂාරි නේරංජා වික්‍රමසිංහ
සහජීවනය
සිංහල දමිළ මුස්ලිම් ලක් මවගෙ දරුවෝ
පන්සල් පල්ලි කෝවිල් තුළ ගුණ දම් පිරුවෝ
බේරා ගන්න රට දිවි හිමියෙන් කැප කෙරුවෝ
රණ විරුවන්ම විය එදවස ගැලවුම් කරුවෝ
සමගි මල් දමින් සරසා දම් දිවයින ළිය පුරා
සාමය සමාදානය රැක දිවි අප තිබෙන තුරා
සහ ජීවනය රන් මල් දම් සැම හදවතක දරා
සිරිලක රැගෙන යමු දැන් නව මාවතක් කරා
එක අත්තක මල් වෙමු අපි සුපුස් පිත
මිනිසත් කමක් දිවියෙන් ලැබ අපරිමිත
සැම ජාතියම ඔදවත් වී දෑ අබිමිනින් සිත
වපුරමු සාමයේ රන් අස්වනු ලබන කෙත
ලක්මව අප සැමට එක ලෙස කිරි පෙවීය
නංවනු පිණිස ලක්වැසි තෙද බල පිරි සවිය
සුරතට රැගෙන සහජීවනයේ මුවහත් අවිය
අත්වැල් බැඳ ගනිමු ගයමින් සහජීවන කවිය
එකමුතුකම අගෙයි මුතු කැට හැමට වඩා
වෙන්කළ නොහැක කිසිවිට රට කෑලි කඩා
වට ව මහ සයුර මැද දිදුලන නමුදු කුඩා
උත්තම රටකි සිරිලක හැම රටකටම වඩා
පියසිරි පී. මීගොඩ
ජීවිතය
සිලක් දැල්වුණ විට නිවී ගිය
ලෙසින් දිවියේ කෙළවරක්
දිනක් දෙදිනක් නොවේ මනසේ
මැවී තිබුණා නෙක වරක්
කවක් ලියනට අතට පන්හිඳ
ගත්ත විට දෙන සිත සුවක්
පෙළක් දවසට මටත් දැනුණා
ජීවිතය තියෙනා බවක්
පවන අව් වැසි කෙසේ තිබුණද
ගැලුව සිතුවිලි එක රසින්
නයන කඳුළින් තෙමී යද්දී
පිසලු වේ එය නුඹ විසින්
දවන දුක් ගිනි නිවාලන්නට
තනිය රැකගෙන පසුපසින්
ලියන හැම විට ළඟින් සිටියේ
මගේ සෙවණැල්ලම ලෙසින්
සිතින් ගොනු වී ගෙනෙන පදරුත්
පේළි අතරේ එක ලෙසින්
මතින් මත ගළපමින් අමුණා
ලිව්වේ නෙක තාලෙට රසින්
පතින් පොතකින් උගත නැතිමුත්
දුන්න සසරේ අනුහසින්
ඉතින් නම දෙමි ජීවිතේ යැයි
කවිය නුඹ හෙට සෙනෙහසින්
සුබෝධා ගමගේ
හෘද සාක්ෂිය
බල පිරිසක් මැද හිඳ රිවි දෙවි සිරින
දුලකර තරුද බොත්තම් පටි සවි තෙරුණ
නිල ඇඳුමකට නතු වුව පෙර කළ පවින
සෙලවිය පවනටත් හද කිසිවෙක් නොදැන
මිතුරන් පවිටු රැස්කර පව් වඩාගෙන
සිත නතුකරන් අන් සතු දේ සොරාගෙන
යුතු මතු වැඩ පිණිස ඇති සිත් මකාගෙන
බිතු සිතුවමක් ලෙද ඈ මුව වසාගෙන
තුරුණු දවස ඇඟලුම් මැසිමේ දියකර
තරුණ ගෙල දිලිණි පිරිපත වැයකර
තරුණිය ඇසට ඇන නුඹෙ සුරත දිගු කර
කරුණු දැන කොහොම යම් ඒ කඳුළු මඟහැර
දවමින් මුව, නැහැය දෙනුවන් තෙත් කරන
කරලින් ඉස්ට ගෙන තවරා බස් ලබන
අටියෙන් කළ ද නිල ඇඳුමක් යට නිදන
හදකින් කඳුළු හැලුවා දිවියම තෙමන
ප්‍රභා මාධවී අභයගුණසේකර
ඇත් රජුනි අසනු මැන
තුන් සිංහලය වෙත අභිමන් ගෙන දුන්නූ
සන්සුන් ගමන් විලසින් තේජස පෙන්නූ
දන් දී දී දළ සඟල බෝසත් සිරි ගැන්නූ
පින් බර ඇත් රජුන් විරුවන් කෝ උන්නූ
සුදු මල් අතුළ සුදු පාවඩ පලස මතින්
මුදු නත් තබා රන් දෝලය රැගෙන බැතින්
බුදු පුද පිණිස බස්නා සඳ දැමුණු සිතින්
නුදු ටිමි ඔබෙන් මිස අබිමන් වෙනෙකු කෙරෙන්
දළදා පුදට ඔබ සිත බැති බරව බැඳ
දළදා හිමි රුවන ඔබ වැඩමවන සඳ
ජල ගිල්මෙක වැටී දින සති ගණන් ඉඳ
දළ සනුහරේ උන් කොපමණ මියෙනවද
සිරකොට විලංගුව එක යදමින් බැන්ද
කර දර දිදී ඔබගේ උරුමය සින්ද
පර පුර නසන්නට වෙඩි උණ්ඩය බැන්ද
නර සතුරන්ට හිස නමනට පුළුවන්ද
පුන් සඳ කිරණ හැලෙනා වන සිරි යහනේ
පින් බර ඇත් පවුර සරසයි වන ගහනේ
සුන්දර දසුන් සමඟින් දෙන සිත සහනේ
සුන් වී යයිද මතු පෙරහැර සිහිනේ
මුතු බර දළ සඟල පෙරටම විහිදාන
සිතු සේ දිවි ගෙවන්නට බිය පරදාන
මතු පරපුරට රැක දී වන රජදාන
යුතු කම ඉටු කරනු මැන ඇත් රජිඳාන
කන් තල සළා යන සඳ ඇත් රජාණෝ
තුන් පත් රෑන නරඹති පුර සඳාණෝ
උන් හට උරුම වන්නට වන ගැබාණෝ
තුන් සෙත් කරනු මැන වන දෙවි රජාණෝ
චන්ද්‍රිකා දිසානායක
කවි කල්පනා
සත්මඬල
සිළුමිණ කර්තෘ මණ්ඩලය,
ලේක්හවුස් - කොළඹ