
ලේඩි ගාගා ගේ රෝගය හෙළි කරයි
ජනප්‍රිය ගායිකාවක් වුණත් ලේඩි ගාගා මෑතකදී අන්තර් ජාලයේ වාර්තා චිත්‍රපටයකින් තම රසික පිරිසට සමීප වුණා. මේ චිත්‍රපටය නම් කර ඇත්තේ “ගාගා! ෆයිව් ෆීට් ටූ” යනුවෙන්. ෆිබ්රෝමියැල්ජියා නම් වූ රෝගයෙන් පීඩා විඳින ජනතාව වෙත පණිවිඩයක් ලබාදීමේ අරමුණෙන් තමයි, ඇය මේ වාර්තා චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ. මේ රෝගයෙන් ඇය ද පීඩා විඳිමින් සිටින නිසයි මෙවැනි කාර්යයකට යොමු වී ඇත්තේ.
ෆිබ්රෝමියැල්ජියා යනු මිනිස් සිරුරෙහි මාංශ පේශීන්වලට වේදනා ගෙන දෙමින් මානසික ආතතිය සහ හිසරදය ඇති කරන රෝගී තත්ත්වයක් බවයි වෛද්‍යවරු පවසන්නේ. ලේඩි ගාගා පවසන්නේ මෙවැනි රෝගී තත්ත්වයක් තමන් තුළ ද පවතින බවයි. මේ වාර්තා චිත්‍රපටයෙහි ලේඩි ගාගා තම රෝගය සුවකර ගැනීමට වෛද්‍යවරු හමුවන අවස්ථාවන් ද ඇතුළත් වී තිබෙනවා. මේ රෝගී තත්ත්වය සමඟ තමන් පොර බැදූ ආකාරය වාර්තා චිත්‍රපටයෙහි ඇතුළත් වන බව ඇය ටොරොන්ටෝ සිනමා උලෙළේදී ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.
සෙලීනාට වකුගඩු බද්ධයක්
“මගේ හොඳම යෙහෙළියක් වන ෆ්‍රැන්සියා රෙයිසා මා වෙනුවෙන් කැපවුණා. ඇගේ වකගුඩුවක් මට පරිත්‍යාග කළා. ෆ්‍රැන්සියා, එයාට කරන්න පුළුවන් ඉහළම කැපවීම මා වෙනුවෙන් කළා. මම එයාට දෙවි පිහිට පතනවා.”
සුපිරි ගායිකා සෙලිනා ගෝමස් අන්තර් ජාලයේ එලෙස සටහනක් තැබුවේ තමන් වෙනුවෙන් වකුගඩුවක් පරිත්‍යාග කළ ඇගේ මිතුරියටයි. දැනට 25 වැනි වියෙහි පසුවන සෙලිනා පසුගියදා වකුගඩුවක් බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට මුහුණ දුන්නා. මේ වන විට ඇය සුවය ලබමින් පසුවෙනවා.
මේ සුපිරි තාරකාවියට වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බවට ආරංචි පැතිර යෑමෙන් පසුව ඇගේ රසික රසිකාවන් රැසක්ම ඇයට උදවු උපකාර ලබාදීමට ඉදිරිපත් වුණා.
තමන්ට උදවු කළ රසික පිරිසටත්, සැත්කමේදී සහ ඉන් පසුව වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරුන් ඇතුළු සියලුම දෙනාටත්, තම දෙමවුපියන්ටත් සෙලිනාගේ ස්තුතිය පුද කර තිබුණා. සම්පූර්ණ සුවය ලැබීමෙන් පසුව වුඩී ඇලන් අධ්‍යක්ෂණය කරන නවතම චිත්‍රපටයේ රංගනයට එක්වීමටයි සෙලිනා බලාපොරොත්තුව සිටින්නේ.
ජැනට් වෙන්වුණේ ආඥාදායකයකුගෙන්?
පොප් ගී ලොව කිරුළ පැලඳි ගායක මයිකල් ජැක්සන්ගේ සොයුරිය, සුපිරි ගායිකා ජැනට් ජැක්සන්ගේ විවාහ දිවිය ඉරිතලා ඇති බවට ආරංචි ලැබුණේ මේ වසරේ මුල් භාගයේදීයි. විසාම් අල්මානා සහ ජැනට් යුවළගේ පළමු දරුවා ලැබුණාටත් පසුව මෙවැන්නක් සිදුවීම බොහෝ දෙනකුගේ දොම්නසට හේතු වීම පුදුමයක් නොවෙයි. ජැනට් ජැක්සන්ගේ සැමියා වන විසාම්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්.
ජැනට්, ඔහුගෙන් වෙන්වුණේ ඇයිදැයි රසික පිරිස සහ ඔවුන් දෙදෙනාගේ හිතවතුන් සහ හිතවතියන් විමසිලිමත් වුණා.
“මේ දෙන්නාගේ වෙන්වීමට හේතු වුණ එක කාරණයක් තමයි, දෙන්නාගේ ආගම් අතර තිබුණු වෙනස. මෙලෙස පැවසුවේ විසාම් සහ ජැනට්ගේ මිතුරෙක්. ඔහු තවදුරටත් කීවේ පසුගිය මාස කිහිපය තිස්සේම විසාම් සහ ජැනට් එකිනෙකා සමඟ කතාබහ නොකළ බවයි. දැඩි මතධාරියකු ලෙස කටයුතු කරන විසාම්, ජැනට් ගැබිනියකව සිටිද්දී පවා ඔහුගේ ‘ආඥාදායකත්වය’ ඇයට බලපෑ බවත්, ඒ නිසාම ඇය මානසික පීඩනයකට ලක්ව සිටි බවත් මේ මිතුරා පැවසුවා. විසාම් සහ ජැනට් විවාහ වුණේ 2012 දීයි.
ජෙසිකාට සිදුවූ අකරතැබ්බය
ජනප්‍රිය නිළියක සහ නිරූපිකාවක වන ජෙසිකා සිම්ප්සන් ගැන අලුත් තොරතුරු පසුගිය කාලය පුරාම අහන්නට ලැබුණේ නැහැ. ඒත් හොලිවුඩ් මාධ්‍යවල උකුසු නෙත් ඇය වෙත හදිසියේම යොමු වුණේ පසුගිය සතියේ සිදුවූ අහඹු සිදුවීමක් නිසයි.
ජෙසිකා, තම සැමියා වන එරික් ජොන්සන් සමඟ ලොස් ඇන්ජලීස් නුවර සුපිරි අවන්හලකට ගොඩ වැදුණේ ඔහුගේ 38 වැනි උපන් දිනය සමරන්නටයි. කිසිම කරදරයක් නැතිව අවන්හලට ඇතුළු වී ඉහළම භෝජනවලින් සප්පායම් වූ මේ යුවළ, අවන්හලෙන් පිටත්වෙන්න හිතාගෙන එහි දොරටුවෙන් පිටතට ගමන් කළා. නමුත් අඩි දෙක තුනක් ගමන් කළ ජෙසිකා බිමටම ඇදවෙන්නට ගියා. ඇය එතැනම ඇද වැටුණානම් තුවාල ලබන්නටත් ඉඩ තිබුණා. ඇයව බේරාගත්තේ ඇගේ ආදරණීය සැමියා එරික්. ඒ මොහොතේ එතැන රැඳී සිටි පැපරාසි කැමරාකරුවකු ජෙසිකාගේ ඇද වැටීම එරික් විසින් වළක්වා ගත් අයුරු ඡායාරූපයට නඟා තිබුණා. පැපරාසි කැමරා ශිල්පියා පැවසුවේ ජෙසිකා අඩි උස සපත්තු පැලඳ සිටි නිසා මෙලෙස ඇද වැටීමට ගිය බවයි. සමහරු කසු කුසු ගෑවේ තරමක් මත්වී සිටි නිසා ජෙසිකාට මේ අකරතැබ්බ සිදු වුණා ය කියලයි.