සිහින ලොවේ සිට ආ හඳයා අදත් හෙටත් හිනැ­හෙයි හඳයා | සිළුමිණ

සිහින ලොවේ සිට ආ හඳයා අදත් හෙටත් හිනැ­හෙයි හඳයා

ටයිටස් තොටවත්තයන් මීට දශක කිහිපයකට ඉහතදී නිර්මාණය කරන ලද හඳයා චිත්‍රපටයට එදා ළමයින්ගෙන් ලැබුණු ප්‍රතිචාර අති මහත්. එදා හඳයා නැරඹූවන් අදටත් ඒ පිළිබඳ කතා තරන්නේ මහත් උනන්දුවකින්. එදා චිත්‍රපටයක් ලෙස පැමිණි හඳයා අද නැවතත් ළමා ලෝකයේ හිස්ව තිබූ වින්දනීයත්වයත් රැගෙන ටෙලි සිතුවමක් ලෙසින් ආලින්දය සරසවනවා.

වර්තමාන ළමා සිත් සතන් පිනවාලමින් හිරු නාළිකාව හරහා අපේ නිවෙසට පැමිණෙන මේ පොඩිත්තන් පිළිබඳව විශ්ව ළමා දිනය සමරන අද දින ඔබට කියන්නට රසඳුන අපි තීරණය කළා. හඳයා හරහා ආලින්දයට එන අපේ දූ පුතුන්ගේ අලුත්ම යාළුවන් ගැනයි මේ සතියේ රසඳුන පෙළ ගස්වන්නේ.

හඳයා ටෙලි සිත්තමේ ප්‍රධාන චරිතය සේනගේ චරිතයයි. සේනගේ චරිතය හරහා ඇලින්දයට පැමිණෙන්නේ දෙරණ Little Star හරහා මුළු රටේම ආදරය දිනා ගත් මෙතින් ජයසූරියයි. දෙරණ නාළිකාව හරහා හඳුනාගත් මෙතින්ගේ ජීවිතේට වෙනස්ම වටිනාකමක් හඳයා හරහා ලැබුණ බවයි මෙතින් පවසන්නේ.

කොහොමද මෙතින් හඳයා නාට්‍යය හරහා ලැබෙන ප්‍රතිචාර?

ඉස්සර මාව මෙතින් කියලා හඳුන්වපු ගොඩාක් අය දැන් මට සේන කියලා කතා කරනවා. මහ මඟ හමු වුණත් පාසලේදි වුණත් මම දැන් නිකන්ම සේන වෙලා.

මෙතින් කියන මේ නර්ථන ශිල්පියා කොහොමද රඟපාන්න යොමු වුණේ?

මම සේනගේ චරිතයට තෝරා ගත්තේ සම්මුණ පරීක්ෂණයනට මුහුණ දීලයි. රඟපානවා කියලා සැලැස්මක් තිබුණේ නෑ. හොඳ නිර්මාණ ලැබුණොත් මම දිගටම රංගනයත් එක්කත් ඉන්නවා.

ඉදිරියේදි මෙතින් නර්ථන ශිල්පියෙක් වෙයිද රංගන ශිල්පියෙක් වෙයිද?

එකම දේක එල්ලිලා ඉන්න මම කැමැති නැහැ. රංගනයෙන් නර්ථනයෙන් වගේම අධ්‍යාපනයෙන්ද ඉදිරියට යනවා.

කොහොමද පාසලේ විස්තර?

මම මීගමුව ජාත්‍යන්තර පාසලේ නවය ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. මේ අවස්ථාවේ අනිවාර්යයෙන් මතක් කළ යුතුයි ආචාර්ය වෝල් පෙරේරා මගේ පාසලේ විදුහල්පතිතුමා. එතුමා මට කොණ්ඩෙ වවන්න විශේෂ අවසරයක් ලබා දුන්නා. පාසෙලෙන් ලැබෙන ආශිර්වාදයත් මට මේ තරම් දුරක් එන්න ශක්තියක් වුණා.

කොහොමද යාළුවෝ එක්ක වැඩ කරන එක?

මට අලුත් යාළුවො ගොඩාක් හමු වුණා. අපි පස් දෙනා විතරක් නෙමෙයි හඳයා කණ්ඩායමම අද වෙන කොට එකම පවුලක් වගේ. පුදුම බැඳීමක් තියෙන්නේ අපි අතරේ. කතාවට අපි දෙපිලක් වුණත් අනිත් හැම වෙලාවෙම එක්කෙනා පස්සේ වැටුණ ගමන්ම තමයි.

සේන නිරන්තරයෙන් තම යාළුවන් හොඳ මගට යොමු කරවූවත් සූප්පුවා යනු කලහකාරීව තම යහළුවනුත් වැරැදි දේට පොළඹවන්නෙක් ලෙසයි නාට්‍යයේ එන්නේ. නමුත් සත්‍ය ජීවිතයේදී සූප්පුවා නිරන්තර අන්‍යයන්ට සහය දක්වමින් අන්‍යයන්ගේ යහපත පතන ආදරණීය වැඩිමල් සොයුරා වන් යැයි නාට්‍යයේ රංගනයෙන් දායක වන සියල්ලන්ම කීය. මෙහි සූප්පුවා ලෙස රඟපෑමෙන් එක් වන්නේ කසුන් ප්‍රසන්න දොඹගොල්ලයි.

කොහොමද කසුන් පාසල් ජීවිතේ?

මම පාසල් ගිහින් ඉවරයි. මම මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරුවේ. දැනට උසස් අධ්‍යාපනය හදාරනවා.

කොහොමද ඔබ කලාවට සම්බන්ධ වෙන්නේ?

මගේ පවුලේ කිසි කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ. නමුත් මම වසර එකොලහක් තිස්සේ සහන් රන්වල ගුරුපියාණන් යටතේ රන්වල බලකායට සම්බන්ධව කටයුතු කළා. සම්මුඛ පරීක්ෂණයකින් සමත්වයි හඳයා නාට්‍යයට මා එක් වන්නේ.

මේ ඔබගේ පළමු නිර්මාණයද ඔබ රංගනයෙන් දායකත්වය දක්වන?

ඔවු මෙය මා රංගනයෙන් දායක වන පළමු ටෙලි නාටකය වෙනවා. ඉදිරියේදී මම රංගනයෙන් දායකත්වය දක්වන පළමු චිත්‍රපටයද කිඩ්නැප් නමින් තිරගතවීමට නියමිතයි.

විශ්ව ළමා දිනයේ ඔබ කුමක්ද ලබා දෙන පණිවිඩය ඔබේ ප්‍රේක්ෂක සහෘදයන්ට?

මම නිතරම හිතන දෙයක් තමයි පැමිණෙන අභියෝගයන්ට අභියෝගයක් විය යුතුය යන්න, නමුත් එය වෛරීයව නොව නිහතමානීව කළ යුතුයි.

හීයා යනුද හඳයා ප්‍රාණවත් කරවන තවත් පොඩ්ඩෙක්. හීයා ලෙස හඳයාහි එන ඔහු අංශුපති ගයන්ත පෙරේරා.

කොහොමද අංශුපති ලැබෙන ප්‍රතිචාර. ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩාක් අය මාව දන්නේ අංශුපති කියලා නෙමෙයි හීයා කියලයි. පාසලේදි පාරෙදි විතරක් නෙමෙයි ගෙදරදි නංගිත් මට හීයා කියලා කියනවා.

කොහොමද අධ්‍යාපන කටයුතු?

මම දරණාගම මහා විද්‍යාලයේ හත ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. රඟපෑමේ කටයුතුවලදී පාසලෙන් මට විල සහයක් ලැබෙනවා. ඒ වගේම මම කරාටේ පිළිබඳවත් හදාරණවා.

රංගන ශිල්පියෙක් වීමද ඔබේ බලාපොරොත්තුව?

මගේ බලාපොරොත්තුව ගුවන් නියමුවෙක් වෙන්නයි. රංගනය කියන්නේ මගේ විනෝදාංශය. ගුවන් නියමුවෙක් වීමේ බලාපොරොත්තුවෙන් තමයි මම ඉන්නේ.

කොහොමද කලාවට සම්බන්ධ වෙන්නේ?

දරණාගම විද්‍යාලංකාර පිරිවෙනේ දහම්පාසලේ වේදිකාවෙන් මගේ ගමන ආරම්භ වුණා. දහම් පාසලේ වේදිකා නාට්‍යය සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය ගැනීම හරහා ආසාවක් ඇති වුණා. ඉන් පස්සේ මාව හඳුනාගත් අයගේ මඟ පෙන්වීම හරහායි මම රංගනයට යොමු වුණේ.

ඔබ රංගනයෙන් දායකත්වය දැක්වූ අනෙක් නිර්මාණ මොනවාද?

පෝරිසාදයා කියන චිත්‍රපටය විකාශය වීමට නියමිතයි. මද්දුම බලකාය සහ මානාවාරිය නමින් තවත් නිර්මාණ දෙකක් ඉදිරියේදී පැමිනෙන්න නියමිතයි.

ඇන්ටා යනුද හඳහා සරසවන තවත් අපූරු චරිතයක්. මෙහි ඇන්ටාගේ චරිතය නිරූපණය කරන්නේ තරිඳු මදුශංකයි.

මොනවද තරිඳු මේ දිනවල කරන්නේ?

ගුරු විභාගයට පෙනී සිටන්න නියමිතව තියෙනවා හඳයා රූ ගත කිරීම් වලට අමතරව ඊට සූදානම් වෙනවා.

කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ලැබෙන ප්‍රතිචාර හිතා ගන්නවත් බැහැ. පාරෙ යනකොට දකින දකින හැමෝම වට කර ගන්නවා. ගොඩාක්ම නංගිලා මල්ලිලා. ඒ කවුරුත් අපේ නම දන්නේ නැහැ දන්නේ ඇන්ටා කියලයි.

ඇන්ටාගේ විස්තර කියමුකො කාටත් දැනගන්න?

මම දෙහිවල ඉන්නේ. දෙහිවල ඇස් ද ඇස් ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස්පෙළ දක්වා ඉගෙන ගත්තා. දැනට වේදිකා නාට්‍ය කණ්ඩායමකට අනුයුක්තව වැඩ කරනවා.

කොහොමද ඔබ රංගනයට එක් වන්නේ?

පාසලේ වේදිකාවෙන් ඇවිත් වේදිකා නාට්‍ය හරහායි මම රංගනයට එක් වුණේ.

තරිඳුගේ අනාගත බලාපොරොත්තු පිළිබඳව කීවොත්?

මම ගුරුවරයෙක් වෙන්න තමා බලාපොරොත්තු වන්නේ. ඉඩ ලැබෙන විදිහට රංගන කටයුතුවල නිරත වෙනවා.

ලෝක ළමා දිනයේ ඔබත් එක්ක ආදරයෙන් බැඳී ඉන්න නංගිලා මල්ලිලාට මොනවද කියන්නේ?

ආදරණීය නංගියේ මල්ලියේ හැම දේකම හොඳ නරක කියන හැම දේම තියනවා. හොඳ දේ පෙන්වන්නනම් නරක පෙන්වීම කරන්න ම වෙනවා. නමුත් හොඳ දේ විතරක් අනුගමනය කරන්න කියලා ඉල්ලා සිටිනවා.

උක්කු හඳයාහි පොඩ්ඩන්ගේ හිත් පැහැරගත් දඟයෙක්. නමින් මෞලි මතීෂ පතිරණ වන මෙම හැඩකාරයා කලා පවුලකින්ම පැවත එන දරුවෙක්.

කියන්නකො අපේ උක්කුගෙ විස්තර යාළුවන්ට දැනගන්න?

මම නුගේගොඩ ලයිසියම් විද්‍යාලයේ පහ ශේණියේ ඉගෙනුම ලබනවා. තලවතුගොඩ ප්‍රදේශයේ ජීවත් වෙන්නේ.

අම්මා තාත්තා වගේ පුතත් රංගන ක්ෂේත්‍රයෙන්ම ඉදිරියට යන්නද හිතන්නේ?

මම රඟපාන්නේ ආසාවට. මම ආස විද්‍යාඥයෙක් වෙන්නයි.

රංගනයෙන් දායක වුණු නිර්මාණ මතක් කළොත්?

මුතු පලස, භාර්යාවෝ, දේදුණු මායා, වස්සානයේ ප්‍රේමය, මිල්ලෑවේ වලව්ව, ආලෝකෝ උදපාදි, ආකර්ෂා කියන නිර්මාණවලට දායක වුණා

කොහොමද දඟයා ටෙලි නාට්‍යට ලැබෙන ප්‍රතිචාර?

සමහරු මට උක්කුවා කියලත් කියනවා ගම්මිරිස් ඇටේ කියලත් කියනවා. පාරේනම් යන්නම බෑ කතාව බලන අය ඇවිත් වට කරගෙන විස්තර අහනවා ෆොටෝ ගන්නවා.

ඇයි ගම්මිරිස් ඇටේ කියන්නේ?

හඳයා තීම් සෝන්ග් එකේ මම කියනවානේ පුංචි උණත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ කියලා. ඒක නිසා මට ගම්මිරිස් ඇටේ කියලා කියනවා.

චුට්ටේ යනුද හඳහා හරහා කාගෙත් සිත් දිනූ තවත් අපූරු චරිතයක්. මෙහි චුට්ටේගේ චරිතය නිරෑපණය කරන්නේ නිම්න වර්ෂාන. ඔහු මහානාම මධ්‍ය විද්‍යාලයේ අට ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.

කොහොමද නිම්න?

හොඳින් සතුටින් ඉන්නවා.

ඔබ රංගනයෙන් දායක වුණ නිර්මාණ ගැන සඳහන් කළොත්?

හොල්මන් චිත්‍රපටයක් හොල්මනක් විදිහට රඟපෑවා. ඒ චිත්‍රපටය ඉදිරියේදී තිරගතවීමට නියමිතයි. මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන ගැමුණු මහරජ නාට්‍යයේ සාලිය කුමරු ලෙස රඟපාන්නේත් මම.

කොහොමද අනෙක් චරිත වලට සහ චුට්ටේගේ චරිකයට ලැබෙන ප්‍රතිචාර?

ලැබෙන ප්‍රතිචාර ගොඩාක් හොඳයි. ඒ වගේමයි මම රඟපෑ නිර්මාණ අතරින් වැඩියෙන්ම සතුටු උනෙත් වැඩිම අත්දැකීම් ලැබු­‍ෙණ්ත් හඳයා නාට්‍යයෙන්.

දිගටම ටෙලිනාට්‍ය වල ඔබව දකින්න ලැබේවිද ඔබේ මිතුරන්ට?

දිගටම නම් කියන්න බෑ. හොඳ නිර්මාණ ලැබුණොත් අධ්‍යාපනික කටයුතුවලට බාධාවක් නොවෙන්න සම්බන්ධ වෙනවා.

මොනවද චුට්ටේගේ බලාපොරොත්තු?

මම ජනිත් කංකානි මාමාගේ “සඳයි මගේ අම්මා “ කියන වේදිකා නාට්‍යයේ රංගනයෙන් දායක වෙනවා. ගුවන් නියමුවෙක් වෙන්නයි මම කැමති.

ලෝක ළමා දිනයේ මොකක්ද යාළුවන්ට දෙන පණිවිඩය?

දෙමාපියන්ට කීකරුව වැඩිහිටියන්ට ගරු කරන හොඳ සමාජයක් බිහි කරන්න අපි සැවොම එක් වෙමු කියලා.

ඔබ ආදරය කරන හඳයාහි සිටින ඳඟයන් විශව ළමා දිනය දා බත්තරමුල්ල දියත උයනට එනවා. එදිනට හැමෝටම එන්න කියලා මේ දඟයන් සියල්ලන්ට ඇරයුම් කලා. ලෝ වැසි සියළු දරුවන්ට සතුට පිරි ලෝකයකට වරම් ලැබෙන්න කියලා රසඳුනේ මාමලා නැන්දලා සුභ පැතුම් එක් කරනවා. 

Comments