විදෙස් චිත්‍රපටය | Page 10 | සිළුමිණ

විදෙස් චිත්‍රපටය

එළුවකුගේ දයාවේ පෙත්සම Oru Kidayin Karunai Manu

ප්‍රේක්ෂකයන් වෙලී සිටින මිථ්‍යාවන් ප්‍රඥාවට රැගෙන යන සිනමාපට නිර්මාණය වන්නේ කලාතුරකිනි. ‘ඔරු කිඩායින් කරුණෙයි මනු (Oru Kidayin Karunai Manu) සංවේදී කරන්නේ සත්ත්ව අකරුණාවෙන් පිරි හදවත් ය. ‘ඔරු කිඩායින් කරුණෙයි මනු’ යන්නෙහි අරුත ‘එළුවාගේ දයාවේ පෙත්සම’ ය.

සුරේෂ් සංගයියාගේ මේ සිනමා නිර්මාණයෙන් දකුණු ඉන්දියානු ගම්මානයකට ප්‍රේක්ෂකයන් රැගෙන යන්නේ සැබෑ ගැමි ගැහැනුන් හා පිරිමින් අතර රසිකයන් ජීවත් කරවමිනි.

රාමමූර්ති (විධාර්ත්) සහ සීතා (රවීනා රවි) ගමේ අලුත විවාහපත් යුවළකි. ගම්මුන් සමඟ ඔවුන් කුලදෙයිවම් කෝවිලට ගියේ එළුවකු පූජා කිරීමේ චාරිත්‍රය ඉටු කිරීමට ය.

ගම්මුන් කෝවිල බලා ගිය ලොරියේ ගැටී තරුණයකු එතැනම ජීවිතක්ෂයට පත්විය. සිරුර වැළලීමෙන් සියලු ප්‍රශ්න විස‍ඳේවියි ලොරියේ ගමන් ගත් ගම්මුන් සිතුව ද එය සපල වන්නේ නැත. ඔවුන් නීතිඥයකුගේ (ජෝර්ජ්) පිහිට පතයි. නීතිඥයා මේ ගැටලුවෙන් සහනයක් ලබාදේවියි සිතුව ද එසේ සිදුවන්නේ ද නැත.

සියලු දේ දකින්නේ එළුවාය. සිනමා පටය තිරයේ දිග හැරෙන්නේ ද එළුවාගේ දෑස් තුළිනි. සිනමා පටයේ ව්‍යංගාර්ථයෙන් කියැවෙන්නේ සත්ව හිංසාව සාහසික අපරාධයක් බවයි.

උපන් ගමවූ රාජපලයම් ගමේ සත්‍ය අත්දැකීමක් ඇසුරින් අධ්‍යක්ෂ කතාව නිර්මාණය කර තිබේ. කතාවද ඔහුගේ ම ය. සිනමා පටයේ ප්‍රධාන චරිත සේ ම උප ප්‍රධාන චරිත ද අධ්‍යක්ෂවරයා ඉතා අපූරුවට මෙහෙයවා ඇති බව ප්‍රේක්ෂක, විචාරක මතයයි.

මෙහි පූර්වදර්ශන විදෙස් රටවල සිනමා උලෙළ ගණනාවකම පවත්වා ඇති අතර ඒ සියල්ලකින් ම ලැබී ඇ‍ත්තේ ඉහළම ප්‍රතිචාරය බර්ලින් හා නිව්යෝර්ක් සිනමා උලෙළ ඒ අතරින් ප්‍රධානය. සුරේෂ්ගේ කුලුඳුල් අධ්‍යක්ෂණය ‘ඔරු කිඩායින් කරුණෙයි මනු’ වුව ද ඔහු එම්. මනිකන්දන් නම් ජාතික සම්මානලාභී අධ්‍යක්ෂවරයා යටතේ සහාය අධ්‍යක්ෂ ලෙස කටයුතු කර වසර ගණනාවකම අත්දැකීම් ලබා ඇත්තෙකි. එම්. මනිකන්දන්ගේ ‘කාකා මුත්තෙයි’ (2015) නම් ජාතික සිනමා සම්මාන උලෙළේ හොඳම ළමා සිනමා පටය වශයෙන් තේරුණු අතර එහි සහාය අධ්‍යක්ෂවරයා වූයේ ඔහු ය.

මෙහි රාමමූර්ති යන ප්‍රධාන චරිතය රඟපාන්නේ විධාර්ත් ය. දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රබල චරිතාංග නළුවකු වූ විධාර්න්, තිරුවන්නාමලෙයි, මයිනා, මුදල් ඉඩම් වැනි සිනමා රංගනයන්ගෙන් ප්‍රේක්ෂක, විචාරක ප්‍රසාදයට පාත්‍ර වූවකි.

රවීනා රවිට ද ‘ඔරු කිඩායින් කරුණෙයි මනු’ සුවිශේෂී ය. ඒ මෙය ඇයගේ කුළුදුල් සිනමා රංගනය නිසයි. සීතා රාමමූර්ති හෙවත් රාමමූර්තිගේ බිරිය ලෙස ඇය මෙහි රඟන්නීය. මින් පෙර ඇය ප්‍රකටව සිටියේ දමිළ, මලයාලම්, තෙලිඟු, සිනමා පටවල ප්‍රධාන තාරකාවලට හඬ කවන්තිය ලෙසයි.‍ අමලා පෝල්, නයන්තාරා, කාජල් අග්‍රවාල්, යාම් ගෞතමී වැනි සුප්‍රකට තාරකාවන් වෙනුවෙන් ඇය සිය හඬදී ඇතත් හඬත් රුවත් තිරයට ඇය එක් කරන්නේ ප්‍රථම වරටය. ඇය හඬ කවන්නේ වයස අවුරුදු දෙකක් තරම් වූ කුඩා වියේ සිට ය. කේ.ජී‍. මෝහන්, ගෙලෝ කන්දසාමි වැනි සුප්‍රකට නළුවෝද මෙහි රඟති. සිනමා පටයේ ප්‍රවීණ, ආධුනික, නළු නිළියන් 40 – 45 ක් පමණ සිනමා පටයට රංගනයෙන් දායක වී ඇත.‍ මෙහි සංගීතය ආර්. රගුරාම් ගෙනි.

චරිත සියල්ලම ගැමි දිවි පෙවෙතේ කොටස්කරුවන් නිසා කථා නායකයා රාමමූර්ති පවා විද්‍යමාන වන්නේ තිරයේ සුපුරුදු මසාල වීරයා ලෙසින් නොව සාමාන්‍ය ගැමියකු පරිදි ය.

සුරේෂ්ගේ මංගල අධ්‍යක්ෂණයට මනිකන්දන් අදියුරුවරයාගෙන් මාර්ගෝපදේශකත්වයක් ද ලැබුණු බව සිනමාපටය සම්බන්ධයෙන් පැවැත්ව‍ූ මාධ්‍ය සාකච්ඡාවකදී අධ්‍යක්ෂවරයා පවසා ඇත. ‘කාකා මුත්තෙයි’ අධ්‍යක්ෂණයට මනිකන්දන්ට සහාය වීමටත් පෙර සිටම සුරේෂ්ට හින්දු ගමක එළුවකුගේ ශෝඛාන්තය තිරයට රැගෙන ඒමේ අවශ්‍යතාව තිබිණි.

එළුපැටියන් දරුවන් සමඟ එකට හැදෙයි වැඩෙයි. දරුවන් ද එළුවා රැක බලා ගනී. එහෙත් එළුවා හොඳින් වැඩුණු පසු අවසානයේදී කෝවිලක ජීවිතය ප‍ූජා කරයි. තමන්ට සිදුවන දේ ගැන එළුවාට කිසිදු අවබෝධයක් නැත.

අහිංසක සතකුගේ ඉරණම පසු බිම් කරගෙන තැනෙන සිනමා පටයට අධ්‍යක්ෂ එම්. මනිකන්දන්ගේ පූර්ණ ආශිර්වාදය ලැබුණු අතර ප්‍රධාන චරිතය සඳහා තිරයේ විධාර්ත් වැනි පුරුදු මුහුණක් යොදා ගැනීමේ වැදගත්කම පවසා ඇත්තේ ඔහු ය. සුරේෂ් මුලින් ම කැමැත්තෙන් සිටියේ නවක නළුවකු මේ සඳහා යොදා ගැනීමට ය. වයස අවුරුදු තිස් පහක වැනි පෙනුමක් ඇති නළුවකු ගැන සිතීමේදී විධාර්ත් තරම් චරිතයට සුදුසු වෙනත් නළුවකු ඔහුගේ මතකයට පැමිණ නැත.

සීතා රාමමූර්ති චරිතය සඳහා ශ්‍රවන පරීක්ෂණ සිදු කෙරුණු අතර සහභාගී වූ කිසිවෙක් ඔහුගේ සිත් නොගත්තේ ය.

ඔවුනගේ කෘත්‍රිම ස්වභාවයත්, දමිළ බස නිසි ලෙස උච්ඡාරණය නොකිරීමත් නිසා ඔවුන් සීතාගේ චරිතයට ගැළවී නැත. ඔහුට අවශ්‍ය වූයේ රූපලාවන්‍යයෙන් (මේක් - අප්) තොර ඇසි බැම කප්පාදු නොකළ සැබෑවටම ගැමි පෙනුමක් ඇති තරුණයකි. රවීනා රවිගේ ඡායාරූපය හා ඇයගේ හඬ කැවීමේ හැකියාව අනුව සීතා විය යුත්තේ රවීනා බව අධ්‍යක්ෂවරයා විසින් තීරණය කෙරිණි. සුරේෂ්ගේ ඊළඟ සිනමා පටය ‘කඩවුල් යෙන් කල්ලානාන්’ වන අතර එහි රඟන න‍ළු නිළියන් ගණන 200 පමණ වේ.

‘ඔරු කිඩායින් කරුණෙයි මනු’ සිනමා පටයේ වැදගත්ම භූමිකාව නිරූපණය කළේ සුදු පැහැති එළුවා ය. ඌ සිනමා පටය සඳහා විශේෂයෙන් පුහුණු නොකළ අතර ගමේ සාමාන්‍යයෙන් හැදුණු වැඩුණු එළුවකු ලෙසින් ඌ කැමරාවට මුහුණ දෙනු දැකීමට අධ්‍යක්ෂවරයාට අවශ්‍ය වී තිබේ.

කොලිවුඩයේත්, ටොලිවුඩයේත් ඉතා ජනප්‍රිය හඬ කවන ශිල්පිනියක වූ රවීනා රවි විසිතුන් හැවිරිදි ය. ඇයගේ මිත්තනිය, පියා යන දෙදෙනාම හඬ කැවීමේ වෘත්තියේ නියැළුණු ශිල්පීහු ය. රවීනා බොහෝ දකුණු ඉන්දීය සුපිරි තාරකාවන්ට හඬ කවා ඇති නමුත් මේ සිනමා පටයේ ඇයට කතා කිරීමට ලැබුණේ ඉතා සීමිත දෙබස් ගණනකි. වීනා රූගත කිරීම්වලින් පසු මාධ්‍යයට කියා සිටියේ හඬන දර්ශන වඩාත් දුෂ්කර බව සිතා සිටිය ද වඩාත් අසීරු වූයේ පෙම් කරන ජවනිකා බව ය.

සිනමා පටයට ප්‍රේක්ෂක සහ විචාරක ඉහළම මනාපය හිමිවී ඇත. ගූගල් වෙබ් අඩවිය භාවිත කරන්නන්ගෙන් 81% ක ද අයි.එම්.ඩී‍.බී. ශ්‍රේණිගත කිරීම්වලට අනුව දහයෙන් 8.1‍කේ ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පහෙන් 4 ක් ද ඩෙකන් ක්‍රොනිකල් පහෙන් 4 ක් ද මනාපය මීට හිමිවී ඇත. 

 

Comments

pissu oya movie eka karanna gaththu dewal dekkama eka sathek wath maranne nethuwa kalai kiyala nam hithanne nehe champikata pissu

පිටු