වසර නම­යක් පුරා අප නම්බු­කාර ගම­නක් පැමිණ තිබෙ­නවා | Page 2 | සිළුමිණ

වසර නම­යක් පුරා අප නම්බු­කාර ගම­නක් පැමිණ තිබෙ­නවා

ගෙවීගිය දශකයේ අපේ රටේ ගුවන් විදුලි කලාවේ විශාල පෙරලියක් සිදුකරමින් FM නාළිකා ගණනාවක්ම බිහිවුණු අතර, අද වන විට එයින් සමහරක් නැතිවී ගොසිනි. එසේත් නැතනම් හාත් පසින්ම වෙනස් වී ගොසිනි. එහෙත් මීට වසර නවයකට පෙර 2008 ඔක්තෝම්බර් 01 වැනිදා ආරම්භ වුණු ලක් FM දිනෙන් දින ශ්‍රාවකයන් වෙතට ළං වෙමින් අද සිය අභිමානවත් 9 වැනි සංවත්සරය සමරණවා.

FM 106 , FM 106.2 සහ www.lakfm.lk වෙබි අඩවිය ඔස්සේ සවන්දිය හැකි ලක් FM නාළිකාවේ සභාපතිනිය වන්නේ අශිකා එදිරිසිංහ මහත්මියයි. සිය 9 වැනි සංවත්සරය දින මෙතෙක් පැමිණි ගමන් මඟ පිළිබඳව ඇය මෙසේ අදහස් දැක්වූවා.

මෙතෙක් ආ ගමන් මඟ පිළිබඳව කතා කළොත්

‘‘ඒ පිළිබඳව සිතට දැනෙන්නේ අසීමිත සතුටක්.මීට වසර 9 කට පෙර ආරම්භ කළ ලක් FM අද වන විට ශ්‍රාවක ජන මනසේ මෙන්ම දත්ත සමීක්ෂණ වාර්තා තුළත් ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට පැමිණ තිබෙනවා.මෙහි නිර්මාතෘ නීතඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා නාළිකාව අරඹන මොහොතේ අපට දුන් ප්‍රධාන උපදේශය වුණේ දෙස බස රැස සුරකින, දේශීය අනන්‍යතාව සුරකින ගුවන් විදුලි නාළිකාවක් පවත්වාගෙන යන්න කියන කාරණාවයි. ඉතින් අපි විශ්වාස කරනවා වසර නවයක ගමන තුළ ඒ පුළුල් අරමුණ සාර්ථක කර ගත්තා කියා.

මෙතෙක් ආ ගමනේ දී මුහුණ දුන් අභියෝග මොනවාද?

‘‘ගුවන් විදුලිය තමයි ලෝකයේ සහ ලංකාවේ පැරැණිතම විද්‍යුත් සන්නිවේදන මෙවලම.ඒ නිසා ගුවන් විදුලි මාධ්‍ය තුළ නාළිකාවක් ලෙස කටයුතු කිරීම දැවැන්ත අභියෝගයක්.එදා අපි නාළිකාව අරඹන විට තිබුණේ නාළිකා 20 ක් වැනි ප්‍රමාණයක්. නමුත් දැන් තවත්විශාල ප්‍රමාණයක් බිහිවෙලා. අද වනවිට ගුවන් විදුලිය තුළ වානිජ පරමාර්ථ මූලික වෙලා තිබෙනවා. මෙය ගුවන් විදුලිය සිසාරා හමා යන අවර ගනයේ රැල්ලක්. නමුත් අපේ අරමුණ ඒ රැල්ල කණපිට පෙරලීම සහ ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රබුද්ධ ගනයේ ගුවන් විදුලි ප්‍රවාහයක් ගොඩනැගීම.එය සැබැවින්ම උඩුගම් බලා පිහිනීමටත් වඩා අසීරු කටයුත්තක්. මෙවැනි තත්වයක් තුළ ශ්‍රාවකයාගේ මොට කළ වින්දනය යළි සැබෑ රසවින්දනයකට අනුගත කිරීම අප වෙත පැමිණි බාධක අතර ප්‍රමුඛ සාධකය වුණා.

ලක් FM මේ අභියෝගය සාර්ථකව ජයගත්තා කියා සිතනවාද?

අපි නිරතුරුවම විශ්වාස කරන දෙයක් තමයි ශ්‍රාවකයා බුද්ධිමත් , ශ්‍රාවකයා නිරතුරුවම යහපත් දෙයක් බලාපොරොත්තු වනවා කියන කාරණාව. අන්න එතැනදී අපි පසුගිය වසර 9 පුරාම ශ්‍රාවකයාගේ සැබෑ ඉල්ලීමට කන්දුන්නා.ඔවුන්ගේ රස මනස පිනවන හොඳම සහ සුමියුරුම ගීත,ශ්‍රාවකයා අවදියෙන් තබන වැඩසටහන්, නිවැරැදි , කාලින, සමබර ප්‍රවෘත්ති ආදිය අපි ඔවුනට ලබා දුන්නා.ඒ නිසා ගුවන් විදුලි නාළිකා ඇසෙන තැන්හි නොව සැබෑ ලෙසම යහපත් ගුවන් විදුලි නාළිකා අසන තැන් වල අපි ස්ථාන ගත වුණා කියා අපි විශ්වාස කරනවා.

ලක් FM ශ්‍රාවකයා ඇද බැඳ තබාගන්නා වැඩ සටහන් ගැන සඳහන් කළොත්

අපි ලංකාවේ ගුවන් විදුලි අවකාශය තුළ සුවිශේෂී වන්නේ අපේ වැඩසටහන් නිසායි.අපේ පුංචි පාසල, ලක්මිණි කැට, ලක් FM හතරේ පන්තිය මේ සියල්ල කුඩා දරුවන්ගේ අනාගත ජයග්‍රහණ උදෙසාමයි.අනෙක් පාර්ශවයෙන් ආයුබෝවන් ලක් FM සහ හතරැස් හතර, සෝදිසිය, ලක් උත්තමාවී, දුම්බර පැදුර වැනි වැඩසටහන් බුද්ධිමත් තරුණ, වැඩිහිටි ශ්‍රාවක රසවින්දනය වෙනුවෙන් වෙන්කර තිබෙනවා. එමෙන්ම දිවා රිද්ම, ප්‍රේමණීය රාත්‍රිය ආදී වැඩසටහන් තරුණ පරපුරේ ජනප්‍රියම වැඩසටහන් බවට පත්වී තිබෙනවා.

ට අමතරව සති අන්ත වැඩසටහන් ගැන කතා කරනවිට රිවිසඳ, ජෝති හැන්දෑව, හැත්තෑව අසූව අනූව දශකවල ජනප්‍රිය ගී ඉදිරිපත් කරන අතර ලක් නද ගී මියැසිය වැනි වැඩ සටහන් විවිධත්වය සහ සැබෑ රසිකත්වය උදෙසා වෙන් කර තිබෙනවා.මේ වැඩසටහන් සියල්ල පවුලේ සැමට එකට සිට රස විඳිය හැකි නිවැරැදි සිංහල බස හසුරන හොඳම ගීත රසවිඳිය හැකි යන ගුණාංගවලින් සමන්විත වීම මෙම වැඩ සටහන් වල සුවීබව ලෙස හඳුන්වන්න පුළුවන්.

මෙම සංවත්සරය ‘නම්බුකාර නවය‘ ලෙස හඳුන්වන්න හේතුවක් තිබෙනවද?

ඒකට ප්‍රධාන හේතුව අප ආ නම්බුකාර ගමනයි. අපේ රටේ සංස්කෘතිය, අනන්‍යතාව, දේශියත්වය, භාෂාව සහ සැබෑ රසඥතාව රැකගනිමින් අප ආ ගමන්මගේ තිබුණු සුන්දරත්වය සහ ප්‍රෞඩත්වයයි. ඒ ගමන නම්බුකාර බව කියන්නේ අපි නෙවෙයි. ලක්ෂ සංඛ්‍යාත අපේ රසිකයන් සහ අප සමඟ අත්වැල් බැඳගෙන සිටින දහස් සංඛ්‍යාත කලාකරුවන්, විද්වතුන් සහ සම්පත් දායකයන්.සියලු ජාති, ආගම්, කුලමල භේදවලින් තොරව සර්ව ජාතික සහ සර්ව ආගමික කටයුතු වලට මුලපුරන්නට ලැබීමත් ලක් FM අපේ පසුගිය වසර නමය නම්බුකාර නවයක් වීමට හේතු කාරණා වුණා.

ලක් FM හි ඊළඟ පියවර කුමක්ද?

ඔක්තොම්බර් 01 වැනිදා සිට නම්බුකාර නවයක් යන තේමාය යටතේ අපි වැඩසටහන්, ප්‍රවෘත්ති ආදියෙහි යාවත්කාලීන වෙනස්කම් කරමින් ලංකාවේ ගුවන්විදුලි වංශය තුළ නව පරිච්ඡේදයක් ලියන්න බලාපොරොත්තු වෙනවා.

ලක් FM හි ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස වෛද්‍ය නාලක සනත් කුමාර මහතා කටයුතු කරන අතර සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරන්නේ ගුවන්විදුලි ක්ෂේත්‍රෙය් ප්‍රවීණයකු වන කුලරුවන් කුසුම්තිලක මහතාය.එන්.බී.සමරකෝන් ගණකාධිකාරී, වැඩසටහන් ප්‍රධානී ලෙස චූලක මධුරංග ලියනගමගේ, මෙහෙයුම් අධ්‍යක්ෂ ගයාන් පෙරේරා, ප්‍රසන්න සිල්වා අලෙවි අධ්‍යක්ෂ, මංජු පෙරේරා අලෙවි ප්‍රධානී, දිනූෂා පීරිස් නිෂ්පාදන ප්‍රධානී සහ බුද්ධි ගුණසේකර ප්‍රවෘත්ති ප්‍රධානී ලෙස කටයුතු කරන අතර මේ සියලුම දෙනා සමඟ සෙසු සේවක සේවිකාවන් ලක්FM හි මෙම සාර්ථක ගමනට දායකත්වය ලබා දී තිබෙනවා. 

 
 

Comments