දෙවන කුමාරි | සිළුමිණ

දෙවන කුමාරි

හැමදේම එපා කියලා පැනගෙන ගියේ මේ මෝඩි අහුවුණා

 

කිසියම් කාරණයක් පවසන්නට කතා කළ බව පැවසුවද, දුරකතනයෙහි අනෙක් කෙළවර සිටි ස්වේතා නිහඬව සුසුම් හෙලමින් සිටියා මිසක කිසිවක් නොපැවසුවාය. ෆියෝනා තුළ ඇති වූයේ නොඉවසිල්ලකි. ඇගේ කටහඬ අනුව එය සුබ පණිවිඩයක් විය නොහැකි බව වැටහුනද, එය කුමක්දැයි අනුමානයෙන් හෝ සිතා ගත නොහැකි විය.

“කාටද ස්වේතා?”

ලොකු අයියා ගජබාගේ කටහඬ යන්තමින් ඇසිණ. ස්වේතා රහස් හඬින් කිසිවක් පවසන බව යන්තමින් ඇසුණද, කිසිවක් පැහැදිලි නොවීය. මඳ වේලාවක් ගත වී ගියේය. ජංගම දුරකතනය අල්ලාගෙන සිටීම නිසා ෆියෝනාගේ අත රිදිණ.

“චූටි නංගී...”

දුරකතනය විසන්ධි කළ යුතුද නොඑසේනම් ස්වේතා කතා කරන තුරු එය අල්ලාගෙන සිටිය යුතුදැයි සිතන අතරතුර ස්වේතාගේ කටහඬ ඇසිණ.

“අක්කා..”

“ඇයි හදිසියෙ ඉන්දියාවෙ ගියේ?”

ස්වේතා සාමාන්‍ය පරිදි කතා කිරීමට දරන උත්සාහය ෆියෝනාට වැටහිණ.

“පොතක් ලියන්න කරුණු එකතු කරගෙන එන්න ගියා අක්කා.”

“ඔයා තවමත් පොත් ලියනවද?”

“නැතිව? මගේ හොඳම පොත අභීත විනාශ කළාට මම නැවතුණේ නෑ. මේ පාර මං ලියන්නෙ කවදාවත් නොලියපු විදියෙ පොතක්.”

“හොඳයි.”

ස්වේතා දුර්වල ලෙස සිනාසෙන හඬ ඇසිණ.

“පහුගිය දවස් වල දිගටම මං ඔයාට කතා කළා. ගෙදරටයි මේ ෆෝන් එකටයි දෙකටම. දෙකම වැඩ කළේ නෑ.”

“මං ඉන්දියාවෙදි පාවිච්චි කලේ වෙන සිම් එකක්.”

“බැරිම තැන මං අසාර්ව සම්බන්ධ කරගන්න එයාලගෙ ෆැක්ටරි එකට ගත්තා. ෆැක්ටරි එකේ උන්ට පිස්සුනෙ.”

“ඇයි?”

“අහන දේට නෙමෙයි උත්තර දුන්නෙ. සතියක් විතර ට්‍රයි කරලා බැරි තැන මං නිකම් හිටියා. අද මේ නිකමට වගෙයි ගත්තෙ.”

“ඇයි අක්කා කවදාවත් නැතිව හදිසියෙම?”

ස්වේතා නැවතත් නිහඬ වූවාය. තමා වැරැදි පැනයක් ඇසුවේදැයි ෆියෝනා සිතුවාය.

“කවුරුත් සනීපෙන් ඉන්නවද අක්කා? අම්මා? අයියා? අක්කලා? මල්ලි එහෙම.”

“ඔව්. වරදක් නෑ.”

“මං ඔයාටත් තෑගි ගත්තා. ඉන්දියන් කොට්න් සාරීස් වලට ඔයා ආසයිනෙ.”

“නංගිට තවම මතකයි.”

“අම්මටත් ලස්සන සුදු සාරියක් ගත්තා. අම්මා හැමදාම මං තෝරන සාරීස් වලට ආසයිනෙ.”

“ඒක තමයි.”

ස්වේතා පැවසුවාය. ඇය අවධානයකින් තොරව පිළිතුරු දෙන සෙයක් ෆියෝනාට හැඟිණ.

“චූටි නංගි. ගෙදර ඇවිත් යන්නකො චුටි නංගි.”

“ගෙදර? ඇයි? දැන් අභීතගෙ තර්ජන ගර්ජන ඉවර වෙලාද? මං ගෙදර ආවොත් වෙඩි තියලා දානවා කියලා ඔයාටම කිව්වා කියලා නේද කිව්වෙ ස්වේතා අක්කා?”

“වචන කියන දේවල් වෙනස් වෙනවා චූටි නංගි. ඒත් අභීතගෙ වචන නම් හරියට ඉර හඳ වගේම තමයි. ඒත් ඔයා එන්න. ඔයාව දකින්න ආසයි කියලා අයියා හැමතිස්සෙම කියනවා. එන්න අපේ ගෙදර.”

“මං ආවොත් ඔය දෙන්නටත් ප්‍රශ්නයක් වේවි.”

“වෙච්චිදෙන්. ජීවිතේ කියන්නෙ හරිම කෙටි දෙයක් චූටි නංගි. අපි මේ හිටියා. මේ නෑ. ඔයා බය නැතිව එන්නකො.”

“කවදද?”

“ලෑස්ති කරගෙන ඉන්න. අභීත දුරක ගිය දවසට කතා කරන්නම්. එතකොට එවේලෙම පිටත් වෙන්න.”

“මට අම්මා බලන්න ඕන අක්කා.”

“ඒ... ඒක තමයි. ඔයා එන්න නංගි.”

“අක්කා කතා කළාම මං බය වුණා.”

“ඇයි?”

“මන්දා. මට කවදාවත් නැතිව ලොකු බයක් දැනුණා.”

“කෝ නංගි අසාර්?”

“අසාර්?”

අසාර් ලංකාවෙන් පිට ගොස් සිටින බව ස්වේතා හා පවසන්නට ෆියෝනා බිය වූවාය. ඔහු තමා දමා ලංකවෙන් බැහැර ගොස් සිටින බව ආරංචි වුවහොත් අක්කලා තමාට සිනාසෙන බව ඇය දැන සිටියාය.

“හැමදේම එපා කියලා පැනගෙන ගියේ. මේ මෝඩි අහුවුණා. අපි සතාගෙ හැටි දන්න නිසයි කිව්වෙ.”

අක්කලා දෙදෙනා තමා සිහිනයෙන් හෝ නොසිතන දේවල් ප්‍රබන්ධ කර අම්මාටත්, අභීතටත් පවසනු ඇතැයි ෆියෝනාට සිතිණ.

“අසාර් වොෂ් රූම් එකේද කොහෙද.”

ස්වල්ප වේලාවකට පසු ඇය ආයාසයෙන් මුසා බස් පැවසුවාය.

“එහෙමනම් චූටි නංගි. මං තියන්නම්. බුදු සරණයි ඔයාට.”

“අක්කටත්, අයියටත් බුදු සරණයි.”

දුරකතනය විසන්ධි කළ ෆියෝනා සෝෆාව මත හිඳ ගත්තාය. ඇය නොදැනුවත්වම ඇගේ දෙනෙතින් උල්පතකින් මෙන් කඳුළු ගලා ගියේය. ෆියෝනාට අම්මා සිහි විය. නිවසින් පැමිණියාට පසුව ඇය දක්නට නොලැබිණ. මීට වසරකට පමණ පෙර දිනෙක ස්වේතා දුරකතනය හරහා අම්මාගේ ඡායාරූපයක් එවා තිබිණ. එම ඡායාරූපයෙහි ඇය පෙරට වඩා සිහින් ලෙස පෙනිණ. අම්මාගේ මුහුණෙහි නිරන්තරව පවතින සිනාව මැකී ගොස් ඇතැයි එවේලෙහි නොසිතුණද, දැන් එසේ සිතෙයි. අභීත නොමැති දිනක ස්වේතා දුරකතන ඇමතුමක් දුන් සැනින් අම්මා දැකීමට යා යුතුය. කවුරු කෙසේ වුවත් අම්මා සුපුරුදු ලෙසින් තමා බදා වැළඳ ගනු නියතය.

“චූටි කුමාරි. මං දැනගෙන හිටියා චුටි කුමාරිට මාව දකින්නෙ නැතිව ඉන්න බෑ කියලා.” අම්මා පවසනු නියතය.

නැවතත් දුරකතනය නාද වන හඬ ඇසුණු ෆියෝනා සැනින් ඇමතුම හා සම්බන්ධ වූවාය.

අරවින්ද්...

“මිසිස් ජැෆර්ජි. චුට්ටක් ගේට් එක ළඟට එනවද?”

අරවින්ද් දුරකතනය විසන්ධි කලේය. සෝෆාව මතින් නැගී සිටියද, ෆියෝනා තුළ ඇති වුයේ බියකි. අසාර් නිවසෙහි නොමැති අතරතුර රාත්‍රියේ අරවින්ද් හමුවීමට ගේට්ටුව අසළට ගොස් සිටියදී කිසිවකු දුටුවහොත්? කිසිවකු අසාර් සමග කරුණු විකෘති කර පැවසුවහොත්? අසාර් නයකු සේ කපෙනු නියතය.

“නෑ. කවුරු දකින්නද?”

ෆියෝනා තමාටම පවසා ගත්තාය. තාප්ප වලින් වටවූ නිවෙස් වල සිටින අසල්වාසීන්ගෙන් කිසිවෙක් තමා පමණක් නොව අසාර් ද නොහඳුනන බව සහතිකය. තව දුරටත් පමා නොවූ ෆියෝනා ගේට්ටුව අසළට දිව ගියාය. අගුළු දැමූ ගේට්ටුව හැර ගැනීමට ඇයට මඳ වේලාවක් ගත විය.

“මං ඇතුළට ආවට කමක් නැද්ද?”

ලොකු බන්දේසියක් දෝතින්ම ගෙන සිටි අරවින්ද් ඇසුවේය. ෆියෝනා මොහොතක් ගොළු වූවාය.

 

ලබන සතියට 

Comments