අත්වැල් බැඳන් මගේ ම අත්දැ­කී­මක් නො‍ෙව් | සිළුමිණ

අත්වැල් බැඳන් මගේ ම අත්දැ­කී­මක් නො‍ෙව්

ටෝනි හසන්ගේ අලුත්ම ‘අත්වැල් බැඳන්’ ගීය නිසා නලීන් නාගොඩවිතාන යන නමත් දැන් සංගීත රසකාමීන් අතර වඩාත් කතාබහට ලක්වෙලා. ටෝනිගේ නවතම ගීයේ තනු නිර්මාණ ශිල්පියා ලෙස අප හමුවට පැමිණෙන නලීන්ම ඒ ගීයේ පද රචකයා වීමත් විශේෂත්වයක්.

විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් ‘අත්වැල් බැඳන්’ ගීය හැරුණාම දිගු කලක පටන් වාද්‍ය ශිල්පියෙක් විදියටයි නලින් රට හඳුන්වන්නේ. ඒ මධුමාධව අරවින්දගේ ‘යාත්‍රා’, ‘වෝව්’, ‘පාණදුර ඩයිනමික්’, ‘පාණදුර - සිලනියන්ස්’ ආදී සංගීත කණ්ඩායම් නියෝජනය කළ කීබෝඩ් වාදක ශිල්පියා විදියටයි. නලින්ම ‘වෝව්’ සංගීත කණ්ඩායමේ ශිෂික ලසන්තට තනුව නිර්මාණය කරදුන් ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය තවත් ගීයක් ලෙස ‘සින්දු ටිකක් හදල මචං උකස් කරමු කඩේ... ගීතය හැඳින්විය හැකි ය.

ෆ්‍රෙඩී සිල්වාගේ අපූරු ගීතාවලිය නැවත සිහියට නංවන්නක් වශයෙන් එයත් නමක් දිනා සිටිනවා.

ප්‍රසංග වේදිකාවේ ඈතින් දකින මේ තරුණ නිර්මාණ ශිල්පියාට අපි සමීප වූයේ ඔහු‍ගේ ඒ විශේෂතා හරහායි. දැන් අප සමීපයේම සිටින ඔහුත් සමඟ මෙතෙක් පැමිණි ගමන්මඟ දෙස ආපසු හැරී බලන්නටයි මේ සූදානම.

 නලීන් කොහොමද මේ දිනවල ඔබේ නිර්මාණ ජීවිතය.

ඉලියාස් බෙග්ට නිර්මාණය කළ අලුත් බොදු බැති ගීයක පටිගත කිරීම් නිමකළා. දැන් ඔහු ඒ ගීය ප්‍රසංග වේදිකාවල ගයනවා. හුඟක් ඉහළ ප්‍රතිචාර තිබෙන ගීතයක්. ඉලියාස්ටත් වුවමනා කළේ ඔහුගේ ම වෙනස් විදියක නිර්මාණයක් බිහි කර ගන්නයි.

 ඔබ තනු නිර්මාණ ශිල්පියෙක්. ඒත් ඔබේ අලුත් භුමිකාව කතා කරන්නම වටිනවා.

උසස් පෙළට කලා විෂයයන් හැදෑරූ මම සිංහල විෂයටත් හුඟක් ප්‍රිය කළා. ඒත් ඒ කලා සාහිත්‍ය ඇසුර පාසලට සමුදුන්නාට පසුවත් මගෙන් ඉවත් වුණේ නැහැ. ජයන්ත කොකාවල වැනි ප්‍රවීණ සිංහල ආචාර්යවරුන්ගේ ගුරුහරුකම් ඊට තදින්ම බලපෑවා.

ඉතින් මගේ වැඩ කොටස තනු නිර්මාණය වුණත් ‘අත්වැල් බැඳන්’ ගීයට තනුව යොදන විටම මට ඒ වචනත් සිහියට නැඟුණා. අන්තිමේදී නොලියාම බැරි තැනට ඇවිදින් හිතට වඳදුන් වචන පෙළ තමයි

‘අත්වැල් බැඳන් පෙරදා වගේ

හමුවන්න බෑ පිදුවත් සෙනේ...?

 ඒ නලින්ගේම අත්දැකීමක් ද?

මගේ ම නෙවෙයි‍. ඒ වුණත් මුහුණුපොත නිසා දෙනෝදාහක් දෙනා නිතර මුණගැසෙන අද කාලේ සුලබව වෙන්න පුළුවන් අත්දැකීමක් ඒක.

මේ ගීයේ එන පෙම්වතාටත් ඒක එහෙමමයි. ඔහුට ඔහුගේ පැරැණි පෙම්වතියක් මුණ ගැසෙන්නේත් මුහුණු පොත ඔස්සේමයි. ඉතින් ඔහුට මොනවා සිතෙනවා ඇත්ද කියලා මට සිතුණා.

 ඔබ පාසල් කාලේ ශාස්ත්‍රීය සංගීතය හැදෑරුවෙක්.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලේ වයලීනය, සර්පිනාව විතරක් නෙවෙයි විදුලි ඕගනය, එකෝඩියනය වාදනයටත් මං පෙළඹුණා. ඒ ගමනට දිරිදුන්න ජයන්ත සිරිසේන සංගීත ආචාර්යවරයාවත් මතක් නොකරම බැහැ.

ඒත් මට ඉඳුම් හිටුම් දීගෙන විදුලි ‍ඕගනය වාදනයට තිබ්බ මගේ ආසාව හැබෑවක් කරදුන්නේ නන්දන ලියනගේ. ඔහු ආත්මා ලියනගේගේ සොහොයුරා. ඒ ලැබුණු අත්වැල මත තමයි මං ප්‍රසංග වේදිකාවේ විදුලි ඕගනය වාදනය කළේ.

 එහෙම බලද්දී ඔබ ඔබව හඳුන්වා දෙන්නේ කොහොමද?

ඇත්තටම මං ශාස්ත්‍රීයවත් බටහිරවත් කියලා සංගීතයට කොටුවුණේ නැහැ. නමුත් නිර්මාණයක් කරද්දී වැඩි ආභාසයක් ශාස්ත්‍රීය සංගීතයෙන් ලබා ගන්නට නම් වැඩිපුර කැමැත්තක් පෙන්වූ අවස්ථා තියෙනවා. තරුණ පරපුර අතරට ආකර්ෂණීය විදිහට නිර්මාණයක් ගෙන යන්න සිතාගෙනයි එහෙම කළේ. ඝෝෂාකාරී නොවන සංගීතයට ප්‍රියකරන තරුණ තරුණියන් බොහොමයක් සමාජයේ සිටිනවා. ඒ වගේ නිර්මාණයක් සමාජ මාධ්‍ය ජාලවලින් රස වින්දාම ඔවුන්ගෙන් ඊට ලැබෙන ප්‍රතිචාර ම ඒ වග පෙන්නුම් කරනවා.

 ඔබ වෘත්තියෙන් ම සංගීතඥයෙක්. නූතන සමාජයේ මුදල් හදල් අවශ්‍යතාත් බහුලයිනේ?

ඒත් මුදල මූලික කරගෙන වැඩ කිරීම මට නම් අප්‍රසන්න කාරණයක්්‍. ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂා නොකර මට අතදුන්නු ගුරුවරුන්ගෙන් මටත් ඒ ගතිය තදින් ම කාවැදෙන්න ඇති. මං මගේ මුදල කියලා ඒ මත අනෙක් කටයුතු කරන කෙනෙක් නෙවෙයි. නිර්මාණයක් විකුණන්නට බලාගෙන කළොත් මගේ නිර්මාණ ශක්තියත් මට නැතිව යාවි. මං පාසල්වල විවිධ පන්තිවල දරුවන්ට සංගීතය උගන්වනවා. ඒත් මගෙන් ක්ලාස් කරනවාද කියලා විමසන හැමෝටම මං කියන්නේත් ඔය ටිකම තමයි.

 ඔබ ගායනයට යොමු නොවුණත් ඔබ ඔබේ පුතුව දැනටමත් ජනප්‍රිය ගීයක හිමිකරුවෙක් කරලා තියෙනවා?

ඔහු කවිදු අනූපම නාගොඩවිතාන. මතුගම ආනන්ද ශාස්ත්‍රාලයීය වාදක මණ්ඩලයේ ඕගනය වාදනය කරනවා. මං සින්දු නොකිව්වාට පුතා ගීත ගායනයට දක්ෂයි. පුතුටත් මටත් මේ ගමනේ යෙදෙන්න දිරිබල සපයන්නිය මගේ බිරියයි. ඇය රුවනි බෝපගේ පුතු ගයන,

‘රන් කුඹලෝ නුඹ අඩන්නෙපා
මටත් දුකක් නැතුවාම නෙවෙයි
ආයෙත් හිමීට ගෙයක් හදාපන්
නොකැඩෙන්නට මහ මෙර මුදුනේ...’

මේ පද මං මුලින් ම මුහුණු පොතින් දැක්කේ. ඒක ලියා තිබුණේ ජගත් ප්‍රසන්න කියලා විදේශයක ජීවත්වන ශ්‍රී ලාංකිකයෙක්.

 ඔබ නවකයන්ට අතහිත දෙන්නට මැලි නොවන්නෙක් විදියටත් ප්‍රචලිතයි.‍ නවකයකු ඔබව සෙවුවොත්?

එහෙම කෙනෙකුට 071 - 5298353 හරහා මා අමතන්නට පුළුවනි. නලින් නාගොඩවිතාන, ගොරකදුව - පැලවත්ත මගේ ලිපිනය. 

 

Comments