මිදි රසට පිටුපා ‘තියරි රස’ විඳීම | සිළුමිණ

මිදි රසට පිටුපා ‘තියරි රස’ විඳීම

හාවාගෙයි ඉබ්බගෙයි රේස් එකෙන් හාවා පැරදුනේ ඇයි? ඉබ්බා දිනුවේ ඇයි? පොඩි කාලයේ අප දැන සිටියේ හාවා පැරදුනේ හාවාට නින්ද ගියා නිසා බවය. එහෙත් දැන් අපි හාවාගේ පැරදීම ගැන ඊට වඩා බොහෝ දේ දන්නෙමු. හාවාගේ පැරදීමට හාවාගේ උඩඟුකම හේතු වූ බව අපි දැන් දන්නෙමු. බොහෝ හාවුන් පරදින්නේ ඒ නිසාය. මෙහිදී එක් පැත්තකට සිදුවන්නේ ඉබ්බාගේ දිනීමකට වඩා හාවා තමන්ට ම පැරදීමකි. මේ හාවා ඉබ්බාගෙයි කතන්දරයේ ඇති එක් ‘කතන්දරයකි’. මේ කතන්දරයේ තවත් කතා තිබේද?

එක අරමුණක රැඳීමේ වැදගත්කම

හාවාට ඉබ්බාට වඩා දස ගුණයකටත් වඩා වේගයෙන් දිවිය හැකි විය. එහෙත් ඒ හාවා ම ඉබ්බාට පරාද විය. ලෝකයේ හෙමින් ම ගමන් කරන සතා වන ඉබ්බාට වේගයෙන් දිවීම සම්බන්ධයෙන් ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන හාවා, පැරදිණි. එනම් රේස් එකක් දිනීමට නම් වැදගත් වන්නේ වේගය නොවේ. එක අරමුණක එක දිගට රැඳී සිටීමයි. ඉබ්බා රේස් එකේ මුල සිට අග දක්වා එක අරමුණක රැඳී සිටියේය. එනම් දිනුවත් පැරදුනත් දිනුම් කණුව වෙත යාමය. එහෙත් හාවාට අතරමග දී සුවසේ නින්දක් නිදාගැනීමට ද අවශ්‍ය විය. ඒ නිසා හාවා පැරදිණි. වැදගත් වන්නේ වේගය නොවේ. දිගටම එක් අරමුණක පිහිටා කටයුතු කිරීමයි. මෙය හාවාගෙයි ඉබ්බාගෙයි කතන්දරයේ ඇති තවත් කතන්දරයකි.

අධිතක්සේරුවක් තබාගැනීමේ වරද

හාවාට ඉබ්බාට වඩා ඉතා වේගයෙන් දිවීමේ හැකියාවක් තිබිණි. එහෙත් ඒ නිසා ම හාවා තමන්ගේ දිවීමේ හැකියාව ගැන අධිතක්සේරුවක් ඇති කරගත්තේය. ඉබ්බා පේන තෙක් මානයක නැති බවත් තමන්ට මේ ගහ යට සැපසේ හොඳ නින්දක් නිදාගෙන ගැනීමෙන් පසුව වුව ද ඉබ්බාට පෙර පහසුවෙන් දිනුම් කණුව වෙත ළඟා විය හැකි බවත් හාවා කල්පනා කළේය. හාවා පැරදුණේ ඒ නිසාය. එනම් තමන්ගේ ඇති හැකියාව ඇති මට්ටමටත් වඩා අධිතක්සේරු කිරීමය. මේ තමා ගැන අධිකත්කේසරු තබාගැනීමේ ඇති අවදානම හාවාගෙයි ඉබ්බාගෙයි කතාවේ ඇති තවත් ‘කතන්දරයකි’.

අහිංසකකම ජයගනී

හාවාට තිබුණේ උඩඟු කමය. ඉබ්බා තුළ වුයේ අහිංසක කමය. අවසානයේ අහිංසකකම ජයගත්තේය. මෙය හාවාගෙයි ඉබ්බාගෙයි කතන්දරයේ ඇති තවත් කතන්දරයකි.

දිනන්න හිතුවොත් පරදින කතාව

හාවා දිවුවේ දිනන්නටය. ඉබ්බාටත් තමන්ගේ තරම පෙන්වන්නටය. එහෙත් ඉබ්බා තරගයට ආවේ දිනන්නට නොවේ සහභාගීවන්නටය. එහෙත් ඉබ්බා ජයගත්තේය. මේ හාවාගෙයි ඉබ්බාගෙයි රේස් කතාවේ ඇති තවත් කතන්දරයකි.

මේ පොඩි කතාවේ තමත් මෙවන් බොහෝ කතන්දර තිබෙන්නට පුළුවන. මේ මට හිතාගැනීමට හැකි වූ කතා ටික පමණි. ඇත්තමට ළමා පොත්වල තිබුණත් මේවා ළමා කතන්දර නොවේ. ළමා කාලය පමණක් නොව ජීවිත කාලයම ගෙව ගෙවා සිතූවත් සිතාගැනීමට නොහැකි තරම් අර්ථයක් මේ කතාතුළ සැඟ වී පවතියි.

අහසින් යාම

ඉබ්බා අහසින් යාම ද තවත් කතාවකි. අහසින් යන්න ඕනෑ නම් කතා නොකළ යුතු බව මේ කතාවේ එක් ආදර්ශයකි. අහසින් යන අය බිම වැටෙන්නේ කට නිසා බව මේ කතාවේ තවත් ආදර්ශයකි. කෝප වීමෙන් විනාශ වන්නේ අනුන් නොව තමන් බව තවත් ආදර්ශයකි. අනුන්ගේ වැරදි දකින්නට යාමෙන් අනුන්ගේ වැරදි දකින්නට ඉවසිල්ලක් නැතිවීමෙන් වරදින්නේ තමන්ට ම බව මේ කතාවේ ඇති තවත් එවන් ආදර්ශයකි (මෙහිදී ඉබ්බා තුළ ළමුන්ගේ වැරද්ද දකින්නට ඇති වූ ආසාව). මොන හානියක් වුවත් කතා කිරීමට ඇති ආසාව අපට වළකාගත නොහැකි වන බව මේ කතාවේ තවත් ආදර්ශයකි. හිත හෝ නුවණ නොව කට ඉස්සරකරගැනීම ම විනාශයට මුල බව තවත් කතාවකි.

හිතෙන් යා යුතු ගමන කටෙන් යාමට නොහැකි බව තවත් කතාවකි. එසේම කොක්කු දෙන්නාගේ මානව දයාවේ ඇති අවදානම ද (මේ කතාවේ නම් ‘ඉබි දයාවේ’) ඇති අවදානම ද මේ කතාවේ ඇත.

එනම් මානව දයාව නැණවත් භාවයෙන් තොර වූ විට ඉන් යහපතක් නොව අයහපතක් ම සිදුවේ. මෝඩ වඳුරා රජතුමාට දැක්වූ ආදරය මෙනි. මේ කතා සියල්ලම මේ පුංචි කතාවේ ඇත. එහෙත් අපේ හැසිරීමෙන් අප බොහෝ විට ඔප්පු කරන්නේ වයස හැට පැන්නත් මේ පුංචි කාලයේ දැනගත් කතාව අප තවමත් සම්පූර්ණයෙන් ම අවබෝධ කරගැනීමට අපොහොසත් වී ඇති බවය.

තියරිවල මූලාරම්භය

නරියා සහ මිදිවැල ද එබඳුමය. එහි ද කතා ගොඩකි. රසවත් දේ ලබාගැනීමට අපහසු බව එක කතාවකි. රසවත් දේ ලබාගැනීමට නොහැකිවූ විට එයට ගැරහීම කාගේත් සිරිත බව තවත් කතාවකි. එනම් මිදි ඇමුල් යන්න ඇත්ත නොවේ. එය නරියා සැදූ තියරියකි. මිදි ලබාගැනීමට නොහැකි වීම නිසා නරියා සෑදූ තියරියකි.

මිනිස් ඉතිහාසයේ නිර්මාණය වී ඇති බොහෝ තියරි මේ නරියාගේ මිදි ඇඹුල් තියරියෙන් වෙනස් නොවේ. අප ජීවිතය තුළ කරන්නේ මිදි රස විඳීමට වඩා තියරි රස විඳීමය. ඒ නිසා ම සදාකල් ම අපට මිදි අකැපය.

කූඤ්ඤය සහ වඳුරාගේ නුවණ

කූඤ්ඤය ගැලවූ වඳුරාගේ කතාව ද තවත් මෙවන් පුංචි කතාවකි. අපේ ‘නැණවත් භාවය’ සේවය කරන්නේ අපේ ම විනාශයටය. ඒ නිසා අප ප්‍රවේශම් විය යුත්තේ අපේ ඥානයෙනි. නොදන්නා දෙය දන්නවා යැයි සිතීම නැණවත් භාවය යැයි සිතුණ ද එය කිසිසේත් එසේ නොවන බව මේ කතාව අපට කියාදෙයි.

එහෙත් වඳුරා කූඤ්ඤය ගැලවූයේ දැන නොවේ. අප ද එබඳු අවස්ථාවන්ට ගොදුරු වන්නේ දැන නොවේ. වඳුරාටත් වඩා අප මෝඩ බව පවා අපට වැටහෙන්නේ නැත. සැබවින්ම මේ පුංචි කතාවල ඇති උපදේශ අපේ පුංචි මොලවලින් අපට සිතාගැනීමටවත් නොහැකි තරමට ලොකුය. අප තවමත් සැමදාම කූඤ්ඤ ගලවන්නේ ඒ නිසාය. අපේ ගැලවීම පතා ගලවන කූඤ්ඥය අපට ළඟා කරන්නේ ගැලවීම නොවේ. ඒ මොළයෙන් එහාට ගිය මොළයක් අපට තවමත් නැත. 

 

Comments