
බියොන්සෙගෙන් විපතට පත්වූවන්ට ආධාර
සුපිරි ගායිකා බියොන්සේ පසුගියදා ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් ප්‍රදේශයේ සංචාරය කළා. එම ප්‍රදේශය, ඇගේ උපන් බිමයි. බියොන්සේ එහි සංචාරය කළේ ගී ගයන්නට නම් නොවෙයි. ඇමෙරිකාව හරහා හමා ගිය ඉර්මා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත්වූ සහෝදර ජනතාවට අවශ්‍ය ආධාර ලබා දෙන්නටයි.
බියොන්සේගේ මේ සංචාරයට ඇගේ මව, ටීනාත් තවත් ගායන ශිල්පිනියක වන මිචෙලි විලියම්ස්ද සහභාගි වුණා. මේ තුන්දෙනාම එක්වී කුණාටුවෙන් විපතට පත්වූ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමට යුහුසුලු වුණා.
බියොන්සේගේ මව, සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි සටහන් කළේ විපතට පත් ජනතාවට ආධාර ලබාදීමේ තුන්වැනි වැඩසටහන හූස්ටන් හිදී පැවැත්වූ බවයි. ආගමික මධ්‍යස්ථානයක් තුළදී පැවැත්වූ එම වැඩ සටහනේදී විපතට පත් 400ක් පමණ වූ ජනතාවකට දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමු බවත් ඇය එම සටහන යොදමින් ප්‍රකාශ කර තිබුණා.
මැඩෝනා ලිස්බන්හි පදිංචියට
අනාථ දරුවන් හදාවඩා ගැනීම බොහෝ සුපිරි කලාකරුවන් වෙතින් සිදුවන උතුම් ක්‍රියාවක්. සුපිරි ගායිකා මැඩෝනාට දරුකමට හදාගත් දරුවන් හතර දෙනකු සිටිනවා. එයින් එක් දරුවකු තමයි, එකොළොස් වියැති ඩේවිඩ්. මේ දරුවාගේ මවු රට මලාවි දේශයයි. මැඩෝනාගේ භාරයට ඔහු එකතු වුණේ 2006 දීයි.
ඔහු දැන් මූලික අධ්‍යාපනය ලබන්නේ පෘතුගාලයේ ලිස්බන් නුවරයි. පෘතුගාලයේ පාසලකට ඇතුළත් කිරීමට කලින් ඔහු ලිස්බන් නුවර පිහිටි පුහුණු මධ්‍යස්ථානයකට ඇතුළත් කර තිබෙනවා. එම ආයතනය කුඩා ඩේවිඩ් හට මූලික අධ්‍යාපන පුහුණුවක් ලබා දී ඇති බවයි පැවසෙන්නේ.
එය සාර්ථකව හදාරා ඇති නිසා ළඟදීම ඔහුව ලිස්බන් නුවර උසස් පාසලකට ඇතුළත් කරන්න මැඩෝනා බලාපොරොත්තු වෙනවාලු.
කුඩා ඩේවිඩ්ගේ අධ්‍යාපන කටයුතු එලෙස සිදුවන නිසා මැඩෝනා, ලිස්බන් නගරයෙන් මඳක් දුරින් පිහිටි පැරැණි නිවසක් මිලදී ගෙන තිබෙනවා. 19 වැනි සියවසට අයත් මේ නිවස මැඩෝනා විසින් මිලදී ගෙන ඇත්තේ පවුම් මිලියන 7කටයි. දැනට මෙහි අලුත්වැඩියා කිරීම් සිදු කෙරෙනවා.
ඉන් පසුව ඇය එහි පදිංචියට යනු ඇතැයි පෘතුගාලයේ සඟරාවක් ප්‍රකාශ කර තිබුණා.
ලීසාගේ යාඥාව
ලීසා හොච්ස්ටීන්, ඇමෙරිකානු රූපවාහිනී ශිල්පිනියක්. ඇය ජනප්‍රිය රූපවාහිනී වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක හැටියටයි ප්‍රේක්ෂක ජනතාව හඳුනාගෙන ඇත්තේ. තිස් දෙවැනි වියෙහි පසුවන ඇය විවාහ වී සිටින්නේ වෛද්‍ය ලෙනන් හොච්ස්ටීන් සමඟයි. ඔවුන් දෙදෙනාට අවුරුදු දෙකක් වයසැති සිඟිති පුතකු ද සිටිනවා.
ෆ්ලොරිඩාහි වෙසෙන මේ පුංචි පවුලත් පසුගියදා හමා ගිය ඉර්මා කුණාටුවට මුහුණ දුන්නා. ළඟ එන අනතුර කවුරු කවුරුත් දැන සිටියා. ලීසා කල්පනා කළේ සැමියාත් දරුවාත් රැගෙන නිවසින් පිට වෙන්නටයි. කුණාටුවෙන් ගැලවෙන්න නම් බස් රථයකින් හෝ මෝටර් රියෙන් ගමන් කිරීම සුදුසු නැති බවයි, ඇයට වැටහුණේ. ඇය වෙනත් ‘වාහනයක්’ තෝරා ගත්තා. ඒ තමයි, ගුවන් යානයක්. කුඩා ගුවන් යානයක් කුලියට ගත් ලීසා, ඇයත් සැමියාත් කුඩා දරුවාත් පමණක් නොවෙයි, සුරතල් බලු පැටවාත් එයට නංවා ගත්තා. අසල්වැසියන් කිහිප දෙනකුත් ගුවන් ගමනට එකතු කර ගත්තේ ඔවුන් මඟ හැර යාමට ඇගේ සිත ඉඩ නොදුන් නිසයි. අවට ජීවත්වන සියලු දෙනාම ගුවන් යානයට නංවා ගන්නට හැකි වුණේ නැහැ. ඉඩකඩ සීමිතයි. පුංචි පුතාව ඇය උකුලට ගත්තේ තවත් අයකුට ඉඩ ලබා දෙන්නයි.
ලීසා ගුවන් ගමනෙහි යෙදෙන විට තමන්ට කැඳවාගෙන යන්නට නොහැකි වූ අසල්වැසියන් වෙනුවෙන් ඇය යාඥා කර තිබුණා.
මාරියා කැරේට ගෞරව සම්මානයක්
මාරියා කැරේ රැප් ගී ගයන්නටත් දක්ෂයි. ජේ ඉසෙඩ්, ඩිඩි, ස්නූප් ඩොග්, බස්ටා රයිම්ස් වැනි රැප් ගී ශිල්පීන් සහ කණ්ඩායම් සමඟ හරි හරියට ගී ගයමින් නමක් දිනා සිටින මේ සුපිරි පොප් ගායිකාව පසුගියදා සම්මානයකින් පිදුම් ලැබුවා. ඒ, VHI’s HIP HOP සම්මාන උලෙළේදීයි.
මාරියා හැරුණු විට හාස්‍යෝත්පාදන රංගනයෙහි දක්ෂ නළුවකු වන මාටින් ලෝරන්ස් ද මේ සම්මානයෙන් පිදුම් ලැබුවා. මේ උලෙළේ ප්‍රධාන නිවේදිකාව වූයේ ජනප්‍රිය නිළි රෙගිනා හෝල්. ඇය, මේ වසරේ තිරගත වූ ‘ගර්ල්ස් ට්‍රිප්’ චිත්‍රපටයේ රංගනයෙන් රසික ප්‍රසාදය හිමිකර ගත් නිළියක්.
මෙවැනි කලාකරුවන් සහ කලාකාරියන් අගයන අතරම පසුගියදා සිදු වූ ඉර්මා කුණාටුවෙන් විපතට පත් ජනතාව සිහිපත් කරන්නටත් VHI’s HIP HOP සම්මාන උලෙළේ සංවිධායකවරුන් අමතක කළේ නැහැ. ඔවුන් වෙනුවෙන් ආධාර ලබාදීමේ වැඩපිළිවෙළකට මුල පුරන්නටත් කටයුතු යොදා තිබුණා.
ඩිස්නිලන්තයට ගිය බ්‍රිට්නි
ජීවිතයට එල්ල වූ විවිධ බාධක කම්කටොලු මැද ඉදිරියට බැලූ සුපිරි ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් අද වන විට වෙන කවරදාටත් වඩා ශක්තිමත් වී සිටිනවා.
පසුගියදා මේ සුපිරි තරුව ඇමෙරිකාවේ ඩිස්නිලන්තයේ සංචාරය කළේ තම කුඩා පුතුන් දෙදෙනා වන සීන් සහ ජේඩන් සමඟයි. ජේඩන්ගේ 11 වැනි උපන් දිනය වෙනුවෙන් තමයි බ්‍රිට්නි ඔවුන් කැටුව ඩිස්නිලන්තයේ සිරි නැරැඹුවේ. මේ ගමනට බ්‍රිට්නිගේ පෙම්වතා වන සෑම් අස්ඝාරි ද එක්වී සිටියා.
මුලින්ම ජේසන් ඇලන් ඇලෙක්සැන්ඩර් සමඟ කෙටි විවාහ ජීවිතයක් ගත කළ බ්‍රිට්නි, 2004 දී ඔහුගෙන් වෙන්වී කෙවින් ෆෙඩෙලින් සමඟ යුගදිවි ගමන් ඇරැඹුවා. ඒ දීගය පැවතුණෙත් කෙටි කාලයක් පමණයි.