
මැර බලය පරාජය කළ ධර්ම බලය
මගේ ජීවිතයේදී අතිශයින්ම සතුටට පත්විය හැකි සේවාවන් තුනක් සිදු විය. ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවය කළ අවුරුදු 20ත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ආර්ථික ඒජන්සියේ අවුරුදු 12ත්, වාරිමාර්ග අමාත්‍යාංශයේ අවුරුදු 2ත්‍ය. මෙයින් මහවැලියේදී කරන ලද සේවයෙන් මා උපරීම සතුට ලැබුවෙමි. කුසලතා පූර්ණ ගොවි දරුදැරියන්ගේ හැකියාවන් වර්ධනය කොට ප්‍රදර්ශනය කිරීමට අතිරේකව ඉතාමත් අවශ්‍ය ජීවිත දැනුම ලබා දුන්නෙමි. සතර සවිය හා නෙළුම අනුවම මේ තරුණ තරුණියන්ගේ අධ්‍යාත්මය දියුණු කිරීමට මම කැප වුණෙමි.
සමාජයේ ජීවත්වන බොහෝ අයගේ යහපත් පැවතුම් නැතිවීමට හේතුව සදාචාරාත්මකකම නැති නිසාය. කෙනකුගේ ජීවිතය උතුම් වන්නට නම් ආගමික හර පද්ධති අනුව ජීවත්විය යුතුය. විෂය දැනුම පමණක් නොව ජීවිත දැනුම ද නොඅඩුව ලබාදීමට කටයුතු කළෙමි. විශේෂයෙන් දවසේ පැය 24 කළමනාකරණය කරගන්නා හැටි අවධාරණය කළෙමි.
මහවැලි ‘සී’ කලාපයේ ගිරාඳුරුකෝට්ටේ වැව පාරේ අංක 1 දරන නිවසේ මහවැලි සංස්කෘතික බළකායේ මූලස්ථානය ලෙසින් පවත්වාගෙන යාමට කටයුතු කළේ බොහෝ දුෂ්කරතා මැද්දේය. පාළු නිවසකි. කිසිවකු නොසිටියේය. ගේ වටේටම ඉලුක් ඉතා උසට වැඩී තිබිණි. කලින් නිවස පාවිච්චි කළ අයගෙන් යතුර ලබා ගැනීමට අපහසු විය. අනවසරයෙන් නිවස තුළ යන්ත්‍ර කිහිපයක් විය. ඒවා ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා උපයෝගී කරනු ලබන ඒවාය. හොරෙන් කපාගන්නා ගස්වල ලී ගෘහ භාණ්ඩ සෑදීමට ගෙන තිබිණි. මැරවර මිනිසුන් සමඟ කලාකරුවකු සටන් කරන්නේ කෙසේ ද? පැවැති මැර බලය පරාජය කිරීමට ධර්ම බලය මතු කළ යුතු බව මට වැටහුණි.
අභිසමාචාර බලය නමින් හඳුන්වනු ලබන්නේ ආමිස පූජාව සහ වත්පිළිවෙත් මාලාවයි. අභ්‍යාසලාභීන් හට අවශ්‍ය විෂය දැනුම ලබා දෙන ලද්දේ ආගමික පසුබිමක් යටතේ ය. මාර බලය පරාජය කිරීමට ධර්ම බලයට හැකි විය. මම කරන සේවයේ භාරදූරත්වය, වගකීම සහ යුතුකම කුමක්දැයි හරිහැටි අවබෝධ කරගෙන කටයුතු කළෙමි. අපේ ආරක්ෂාව අප විසින් ඇතිකරගත යුතු ය, යන්න තරයේ වටහා ගතිමි. උඩුගං බලා පිහිනන්නට පටන් ගතිමි. සතර සවියේ සතරවැනි ශක්තිය නැතිනම් සවිය විනයයි. විනය යන්නට තවත් වචන කිහිපයක් ඇත. ශික්ෂණය සහ ශීලයයි. කෙනකුට ආරක්ෂා වීමට ඇති වැට සීලයයි. පන්සිල් පද පහ රැකගෙන ජීවත්වීමට තරයේ අධිෂ්ඨාන කර ගතිමි. බෞද්ධකම ජීවත් කරවන රුධිරය ශ්රද්ධාවයි. ශ්රද්්ධාව පෝෂණය කරගැනීමට ආමිස ප්‍රජාව අවශ්‍යයි. මම දෛනික කටයුතු ආරම්භ කළේත්, අවසන් කළේත් ආගමික වත් පිළිවෙත් අනුව ය. ප්‍රතිපත්ති ගරුක මිනිසුන් හා ගැහැනුන් නිර්මාණය කළෙමි.
මහවැලියේ වාර්ෂිකව පවත්වනු ලබන මහවැලි මහ ගොවියා උත්සවය හා මහවැලි ක්‍රීඩා උලෙළ ඉලක්ක කර ගනිමින් පාඨමාලාවන් සංවිධානය කළෙමි. පළපුරුදු ගුරුවරයකු වූ ජේ. ඒ. ඩී. පෙරේරා මහතා විෂය ධාරාව සැකසීමට උපකාරී විය. මහවැලි සංස්කෘතික ව්‍යාපෘතිය සකසා ගැනීමට එකල මට මුලින් උපදෙස් දුන් අයෙකි සමන් වගආරච්චි මහතා. දැනුම් සම්භාරයක් ඇති සමන් සොයුරාට අප දැක්වූ ළෙන්ගතු භාවය එතුමා අදත් කෘතවේදීව මෙනෙහි කරන්නේය.
එකල ඉඩම් හා ඉඩම් සංවර්ධන සහ මහවැලි අමාත්‍යාංශයේ සියලුම උත්සව සඳහා සියලුම සංස්කෘතික අංගයන් ඉදිරිපත් කරන ලද්දේ සප්ත කලාපීය මහවැලි ගොවි දරුවන්ය. පිටිගල ජයසේන, දර්ශන ප්‍රියරත්න, පී. ඒ. ඩී. ප්‍රේමදාස සහ හෙන්රි ජයකොඩි වැනි නර්තන ගුරුවරුන්ගේ නිර්මාණාත්මක සහාය ලද්දෙමි. මාගේ උපදෙස් අනුව නර්තන කලාව ඉගැන්වූ ඒ ගුරු භවතුන් විශේෂාංගවලට අවශ්‍ය අභ්‍යාස ලබා දුන්නේ ය. අමිත්ත වීරසිංහ, ජේ. ඒ. ඩී. පෙරේරා සමඟින් මා ද නාට්‍ය හා රංගන කලාව ඉගැන්වීමේ නිරත වූයේ ඉතා කැපවීමෙනි.
උදේ සවස ආගමික වතාවත් කළ අතර ජීවිත දැනුම ලබාදීමට කටයුතු කළෙමි. එක මිනිත්තුවක් අපතේ යැව්වේ නැත. මහවැලි ක්‍රීඩා උලෙළ වාර්ෂිකව පවත්වන ලදී. මෙම උත්සවයේ සියලුම සංස්කෘතික අංගයන් ඉදිරිපත් කිරීමේ වගකීම මා වෙත පැවරිණ. කිසියම් පුහුණු කාලසීමාවක් සඳහා දිනකට එක් අභ්‍යාසලාභියකුට ලැබෙන මුදල සාමූහිකව පරිහරණය කිරීමෙන් ඉතිරියක් කළ හැකි බව මට වැටහිණි. ආහාරපාන අභ්‍යාසලාභීන් ලවාම පිළියෙල කිරීම නිසා මුදල් ඉතිරි කර ගැනීමට හැකි විය. විශේෂයෙන් ම නිර්මාංශි ආහාර නිසා අනවශය වියදම් කපා හැරීම නිසාත් සාර්ථක ප්‍රතිඵල ලද්දෙමි. ඉතිරි කරගත් මුදල් අභ්‍යාසලාභීන් අතර සම සමව බෙදා දීමට කටයුතු කළෙමි. මුදල් සහිතව නිවෙස් බලා ගිය මෙම නවක ශිල්පීන් හා ශිල්පිනියන්ට ප්‍රථම වතාවට මුදල් අතට ලැබීම ආස්වාදජනක සිද්ධියක් විය. එම මුදල්වලින් තම දෙමවුපියන්ට සහෝදර සහෝදරියන්ට ඇඳුම් පැලඳුම් මිලදී ගෙන දීමට ලැබීම ඔවුනට භාග්‍යයක් වූ බව එවන ලද ලිපිවලින් මම දැන ගතිමි. ඔවුන් ලබන සතුට මට ගෙන දුන්නේ ඉමහත් ප්‍රබෝධයකි. මම උද්දාමයට පත්වූයෙමි. භාග්‍යවන්ත යයි සිතුවෙමි. තව තවත් කැපවීමෙන් මගේ යුතුකම ඉටුකිරීමට උත්සුක වීමි.
මා එකල මුහුණ දුන් ඉතා දුක්ඛදායක සිදුවීම වූයේ මේ දරුවන් අසනීප වීමය. මේ රෝග කාරික තත්ත්වයට ප්‍රධාන හේතුව පානීය ජලය බව වටහා ගතිමි. ඇතැම් අවස්ථාවලදී විවිධ ප්‍රසංගයකට ඔන්න මෙන්න තිබියදී ළමයින් අසනීප වීම විශාල අභියෝගයක් විය. එක් දිනක් මුතියංගණයේ යොවුන් පුර උත්සවයේදී පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගයට සහභාගි වන ළමයින් 16 දෙනකු අසනීප විය. මා විසින් කරන ලද සත්‍ය ක්‍රියාවකින් පසු ඒ දරුවන්ට පිරිත් පැන් පොවා සුව කිරීමට තාවකාලිකව හැකි විය.
ජලය නිසා ඇතිවන උදරාබාධාවන් ජය ගැනීමට පිරිසිදු පානීය ජලය ලබා දීම කළ යුතු බව තරයේ සිතට ගත්තෙමි. පුහුණු වීම සඳහා අපට ලැබී තිබූ ශාලාවට වේදිකාවක් අවශ්‍ය විය. පස් ගැනීමට ද අවශ්‍ය වී තිබිණි. ප්‍රශ්න දෙකක් එකවර විසඳීමට මට හැකි වූයේ ළිඳක් කැපීම නිසාය. අලුත් වතුර උණු කර පෙරා බීමට දීමෙන් වැලඳුණු රෝගය නැති විය.
වේදිකාව නිම විය. සතර සවියෙන් යුක්ත සරස්වතිය වැඩම කිරීමට මට හැකි විය. ඒ අන් අයගේ ද සහායෙනි. වේදිකාව සහිත ශාලාවේදී වේදිකා නාට්‍යයක් කළ යුතු යැයි සිතුවෙමි. මේ සඳහා මා තෝරා ගත්තේ ම විසින් 1963 දී වේදිකා ගත කළ ‘බකතපස්’ නාට්‍යයයි. ප්‍රංශ දෘශ්‍ය කාව්‍ය කර්තෘ මොලියර්ගේ කෘතියක් වූ මෙම නාටකයෙහි සියලුම චරිත නිරූපණය සඳහා තෝරාගන්නා ලද්දේ සප්ත කලාපීය සංස්කෘතික බළකායේ අභ්යාසලාභීන්ය. පුහුණුවීම් වාර ගණන වැඩිවීම නිසා ආධුනික නළු නිළියන්ගේ රංගනයන් උසස් මට්ටමකින් ඉදිරිපත් කිරීමට හැකි විය. මෙම නාට්‍යයේ මංගල දර්ශනය සඳහා මහවැලියේ උසස් නිලධාරීන් බොහෝ දෙනකුට ආරාධනා කළ අතර විශේෂ ආරාධිත අමුත්තන් දෙපළක් විය. ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා සහ ප්‍රංශ තානාපති කාර්යාලයට සම්බන්ධව කටයුතු කළ කුමාර් ද සිල්වා මහතාය. ‘බකතපස්’ මහවැලි නිෂ්පාදනය දුටු සියල්ලන්ම ප්‍රශංසා මුඛයෙන් හැඟීම් පළ කිරීමෙන් අපට ගෙන දුන්නේ අතිශය සතුටකි. සැඟවුණු කුසලතාවන් හඳුනාගෙන ඒවා අභ්‍යාස කොට පුරුදු පුහුණු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. එම නාට්‍යයෙහි චරිත නිරූපණය කළ එකල ආධුනිකයන් අද ප්‍රවීණයන් බවට පත්වී සිටීම ගැන මට දැනෙන සතුට වචනයෙන් ප්‍රකාශ කළ නොහැක.
ලබන සතියට