විපුල නාක­න්ද­ලගේ ආල­වක දම­නය 30වැනිදා දර්ගා­න­ග­රයේ | Page 3 | සිළුමිණ

විපුල නාක­න්ද­ලගේ ආල­වක දම­නය 30වැනිදා දර්ගා­න­ග­රයේ

ආලවක යක්ෂයාගේ චරිතය ඇසුරුකරගෙන විපුල නාකන්දල විසින් රචනා කරමින් නිර්මාණය කරන ලද ආලවක දමනය වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය මේ මස 30 සෙනසුරාදා රාත්‍රි 7.00ට දර්ගානගරය නාකන්දලගොඩ ශ්‍රි විමලාරාම විහාරස්ථානයේ එළිමහන් රංග පීඨයේදි වේදිකාගත කෙරේ.

‍විපුල නාකන්දල,එරන්ද පළිහක්කාර, ලක්ෂ්මන් කොට්ටහච්චි, ශනිල්ක මාතරආරච්චි, සුසිත් ප්‍රේමලාල්, අමිල වීරසිංහ, අමාෂා සංදීපනී, යොවුන් ලක්සර,දිදුල තාරුක නාකන්දල, පාරමී මහේෂිකා, රංගනයෙන් දායක වන අතර සංගීතය සුමති හෙට්ටි හන්දි නර්ථන වින්‍යාසය සහ බෙර වාදනය රේණුකාද අල්විස්, වේදිකා පරිපාලනය ඉනෝකා ප්‍රශාරණී, පසුතල නිර්මාණය වික්‍රම රන්දුනුගේ ගෙනි.නිෂ්පාදන සහාය නාකන්දල ග්‍රාම සංවර්ධන සමීතිය. අධීක්ෂණය කටයුතු කරමින් අනුශාසකත්වය ලබා දෙන්නේ විහාරාධිපති පැලවත්තේ සුමංගල හිමි විසිනි.


ජපන් චිත්‍රපට උළෙල අදින් අවසන්

 ජාතික තරුණසේවා සභාව, ජාතික චිත්‍රපට සංස්ථාව ‍ලෝක තරුණ සහයෝගිතා සංගමය සඳහා වන නෞකාව (නිපොන් මාරු) එක්ව සංවිධානය කරන ජපන් චිත්‍රපට උළෙල අද(24) දක්වා ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදි තිරගත කෙරේ.

අද සවස 3.00ට wood job සවස 5.30ට a farewell to jinu (අ ෆෙයාර් වෙල් ටු ජිනු) චිත්‍රපට දර්ශන නොමිලයේ තිරගතකරන බව ජපන් තානාපති කාර්යාලය සඳහන්කරයි


සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා ගුණ සමරා ලේ දන්දීමේ පින්කමක්

සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා ගේ 13 වන ගුණ සමරු උත්සවය හා කලා ජීවිතයේ අප අතරින් සමුගත් සිනමා, වේදිකා,රූපවාහිනි,සංගීත ක්ෂේත්‍රයේ සියලුම කලාකරුවන් සහ ජනමාධ්‍යවේදින් හා අපරට දැය උදෙසා ජීවිතය පරිත්‍යාගකළ ත්‍රිවිද හමුදාවේ සියලුම වීරෝදාර රණවිරුවන් ද සිහිකර 2වැනි වරටත් සංවිධානය කිරීමට කටයුතු සූදානම් කර ඇති , ලේ දන්දීමේ පින්කම කොළඹ 05 නාරාහේන්පිට, ජාතික රුධිර මධ්‍යස්ථානයේදි ගාමිණී ෆොන්සේකාගේ පුත් දමිත් ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් මේ මස 30 සෙනසුරාදා පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වේ.


දම්සාරි 4 නිකුත් වුණා...

අනෝමා ගංගොඩ විසින් රචිත ‘දම්සාරි’ නවකතාවේ 4 වැනි කොටස දැන් වෙළඳපොළට නිකුත් වී ඇත. සුනාමි ව්‍යසනයට මුහුණ දී ජීවිතයෙන් තනි වූ යුවතියක හා තරුණ වෛද්‍යවරයකු වටා ගොඩනැඟුණු මෙම ජනප්‍රිය නවකතාව 4 වැනි කොටසින් අවසන් වෙයි. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පොත් ප්‍රදර්ශන කුටි වලින් මෙන්ම ප්‍රධාන පොත්හල් වලින් ලබාගත හැකි ‘දම්සාරි 4’ නිමංසා ප්‍රකාශනයකි.


සීතල යුද්දය චිත්‍රපටයට ගීත පටිගත කරයි

 චිත්‍රපට අධ්‍යක්ෂ කීර්ති බණ්ඩාරයන් අධ්‍යක්ෂණය කරන සීතල යුද්දය චිත්‍රපටයේ ගීත පටිගත කිරීම පසුගියදා නුගේගොඩ සාගි ශබ්දාගාරයේදී සිදු විය. එහිදී ප්‍රවීණ ශිල්පිනී නිරෝෂා විරාජනී විසින් ගීතයක් පටිගත කරනු ලැබූ අයුරු. අධ්‍යක්ෂ කීර්ති බණ්ඩාර, සංගීත අධ්‍යක්ෂ රංජිත් නවරත්න සහ ගීත රචක ධම්මික සල්වතුරද මෙහි වෙති. ලයනල්. පී පෙරේරා


මල් වඩම් අනවශ්‍යයි අද බොරැල්ලේ

මල් වඩම් අනවශ්‍යයි නාට්‍යයේ 100වන දැක්ම අද(24) දින ප.ව3.30ට සහ ප.ව 6.45ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හි දී ත් මේ මස 28දින ප.ව 3.30ට සහ ප.ව 6.45ට පැල්මඩුල්ල ගන්කන්ද මහා විද්‍යාලයීය ශාලාවේදීත් ඔක්තොම්බර් මස 8දින ප.ව 3.30ට සහ ප.ව 6.45ට නවගමුව බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයීය ශාලාවේදී ත් රඟදැක්වේ.

ප්‍රේමතෝ ජායතී සෝකෝ පොළොන්නරුවේ

ප්‍රේමතෝ ජායතී සෝකෝ නාට්‍යය මේ මස 29දින පෙ.ව 8.30ට සහ පෙ.ව 11ට පොළොන්නරුව රාජකීය ප්‍රාථමික විද්‍යාලයීය රඟහලේදි රඟ දැක්වේ.

 

තොප්පි වෙළෙන්දා සමග පුංචි අපට දැන් තේරෙයි මහව දී

ප්‍රවීණ ළමා නාට්‍ය ශිල්පිනී සෝමලතා සුභසිංහගේ තොප්පි වෙළෙන්දා සමග පුංචි අපට දැන් තේරෙයි නාට්‍ය මේ මස 29දින ප.ව 2.30ට සහ ප.ව 6.30ට මහව විජයභා විද්‍යාලයීය ශාලාවේදි රඟ දැක්වේ.

සිංහබාහු රටවටා

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නාට්‍ය නිර්මාණය සිංහබාහු අද (24)දින පෙ.ව 10.30ට සහ ප.ව 2.30ට වලපනේ නිල්දණ්ඩාහින්න මහා විද්‍යාලයීය ශාලාවේදීත්, ඔක්තොම්බර් මස 04දින පෙ.ව 8.30ට සහ පෙ.ව 11ට ඇඹිලිපිටිය ඩී.ඒ රාජපක්ෂ බුද්ධි මණ්ඩපයේදීත් ඔක්තොම්බර් 08 දින ප.ව 3.30ට සහ ප.ව 6.45ට මතුගම ශ්‍රවණාගාරයේදීත් රඟ දැක්වේ. 

Comments