මැණික් රුවක් ඇඳී තිබුණි ආදර ඔබේ දෑසේ | Page 3 | සිළුමිණ

මැණික් රුවක් ඇඳී තිබුණි ආදර ඔබේ දෑසේ

ප්‍රවීණ ලේඛකයකු, මාධ්‍යවේදියකු, ගීත රචකයකු, සිනමාවේදියකු, පරිසරවේදියකු වූ ධර්මසිරි ගමගේ සූරීන්ගේ ගුණසැමරුම 2017 සැප්තැම්බර් මස 19 වැනි දිනට යෙදී තිබුණි.මෙම සටහන ඒ වෙනුවෙනි.

‘‘ධර්මසිරි අයියාගේ ජීවිතය තමයි මේ ගීතයේ ඇතුළේ තියෙන්නේ ”වරක් ‘අම්මාවරුනේ‘ ගීතය ගායනා කිරීමට ප්‍රථම විශාරද නන්දා මාලනී මහත්මිය විසින් එසේ පැවසූයේ ස්වාධීන රූපවාහිනීයේ විකාශය වූ සංහිඳ සංගීත වැඩසටහනකට සහභාගී වෙමිනි.

‘‘අම්මාවරුනේ අම්මාවරුනේ සම්මා සම්බුදු අම්මාවරුනේ දරුවන්ගේ දුක් කඳුළු දකින දා සුරලොව සිට අත පා ඒ කඳුළැලි පිසිනා”යන ගීතය අප අතරින් සමුගත් ධර්මසිරි ගමගේ සූරීන් විසින් රචනා කළේ ‘යස ඉසුරු” චිත්‍රපටියයි.

හැඟීම් කුළුගන්වන ස්වරූපයේ වදන් සමුදායක් අන්තර්ගත එම ගීතයේ පදවැල් අතුරින් ඔහු අම්මාව දකින්නේ තම දරුවන්ට මෙලොව දී පමණක් නොව එළොවදීත් පිහිටවන උදාර කාන්තාවක් ලෙසයි. අප අතරින් සමුගත් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සිත් ඇදී යන තනුවකට හා සංගීතයකට නිර්මාණය වූ මෙම ගීතය කලාව, සාහිත්‍ය, සෞන්දර්යය, සොබාවධර්මය සහ මානව දයාව තම ආත්මය කරගත් ධර්මසිරි ගමගේ සූරීන්ගේ විශිෂ්ට නිර්මාණයකි.

විශේෂයෙන් මවුපිය ගුණය ඉස්මතුවන ගීත නිර්මාණය කිරීමේ මහත් ඇල්මකින් පසුවූ ධර්මසිරි ගමගේසූරීන් තමන් විසින් අධ්‍යක්ෂණය කළ ‘පූජා” චිත්‍රපටියේ ද අවසානයේ දී ඇසෙන ‘දරු දුක උහුලා තනිව වැලපෙනා බුදුබව ලබනා පියවරු වෙසෙනා පූජාවේවා ”යන ගීතය රසික රසිකාවියන් අතරට රැගෙන ගියේද උතුම් පියවරුන්ගේ අගය පෙන්වා දෙමිනි. එම ගීතය මෙන්ම ඔහු රචනා කළ ‘කඳුළු කිරිපොවා තුරුලේ සෙනෙහසින් හදා ”යන මවුගුණ වෑහෙන ගීතය ගායනා කළේ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී.අමරදේව සූරීන් විසිනි.

ධර්මසිරි ගමගේ සූරීන්ගේ සංකල්පනා තුළින් නිර්මිත බොහෝ ගීත අනුභූතීන්හී පෙර නොවූවිරූ සෞන්දර්යාත්මක බවක් ඉසිලී ය.ඔහු සෑමවිටම මනරම් ගීතයක් මගින් සමාජයට කිසියම් බලපෑමක් සිදුකිරීමට හැකියාවක් පවතින්නේයැයි විශ්වාස කළේය.

ඒවාගේම ඔහුගේ ගී පද සංකල්පනා වඩාත් රමණීයත්වයට පත්වූයේ ඔහු සතුව පැවැති දැනුම් සම්භාරයට ඔහුගේ ප්‍රතිභාව ද සමමිශ්‍රනය වී තිබීම නිසාය. ‘ආදර නිල් දෑසේ මැණික් රුවක් ඇඳී තිබේ ආදර නිල්දෑසේ” ‘හෘද රසමාලිගේ ප්‍රීති වේ මාහදේ ඔබේ දායාදේ” ‘ආදරයේ රන් විමනේ මැණික් හඳක් පායලා” ‘සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී මල් සුවඳකි අර ගෙනඑන්නේ”මෙන් ම ‘මගේ නාමලී බැඳි ආදරේ මනමාලියේ මැණිකේ ඔයා”ආදී ගීත එදා මෙන්ම අදත් බොහෝ රසික රසිකාවියන් අතර ජනප්‍රිය ගීත බවට පත්වී තිබෙන්නේ ඒ නිසාය.

ධර්මසිරි ගමගේ සූරීන් කලා ලොවට අත්පොත් තබන්නේ ලේඛන කලාවෙනි. ඒ අනුව පුවත්පත් සහ සඟරා ගණනාවකම තම ලේඛන ශෛලියේ විශේෂිත ගති සොබා ප්‍රකට කළ ඔහු එහි පරතෙරටම පැමිණියේය.

එමෙන්ම ආධුනික ලේඛක ලේඛිකාවන් ද එම තත්ත්වයටම ගෙන ඒමට ඔහුගෙන් ලැබුණු ගුරුහරුකම් බොහෝය.පුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනිය සහ සිනමාව ආදී මාධ්‍යයන්හී ස්වකීය නාමය බැබලවූ ඔහු සිළුමිණ පුවත්පතේ ‘රසඳුන” අතිරේකයේ ආරම්භක සංස්කාරකවරයා ලෙස කටයුතු කිරීම මගින් සිදු කළ මෙහෙවර ද ප්‍රසංසනීවේ. රසඳුන පාඨකයන්ට රසඳුනක්ම බවට පත් කළ ධර්මසිරි ගමගේ සූරීන්ට නිවන් සුව පතමු. 

 

Comments