
රසිකයාගේ අපූරු තිළිණය
කලාකරුවනට හැමදාමත් රසිකයන්ගේ ආදරය නිබදවම හිමි වෙනවා. පසුගිය දවසක ජනප්‍රිය රංගන ශිල්පිනී මුතූ තරංගාත් එවැනි අත්දැකීමකට මුහුණ දුන් පුවතක් අපිට දැන ගන්නට ලැබුණා. මේ ගැන අපි මුතූගෙන්ම විමසා බැලුවා.
'දැනට වසරකට පමණ ඉහත විදෙස් ප්‍රසංග කිහිපයකටම මට විදේශ ගත වෙන්න සිදු වුණා.එක් රටක ෂෝ එකක් නිම වෙලා තවත් රටක ෂෝ එකකට යන්න තිබුණා. කොහොම හරි එක ෂෝ එකක සිංදු කියත් දී එතැන හුඟක්ම සතුටින් විනෝද වුණු එක් පුද්ගලයෙක් ස්ටේජ් එකට නැඟලා ඔහුගේ කරේ තිබුණු මාලය මගේ කරට දැම්මා. පසුව ප්‍රසංගය නිමවෙලා අපි අනෙක් රටට යන අතරතුර හැම දෙනාම කිව්වේ මේ මාලය පරිස්සම් කරගෙන ලංකාවට අරන් යන්න කියලයි. කොහොම හරි ඉතින් මම ලංකාවට ඇවිත් මේ මාලය ගැන බලන කොට එය රත්තරං ආලේපිත මාලයක්. එය තවමත් මා ළඟ තිබෙනවා. කොහොම හරි පසුගිය දවසකත් මම ඒ රටට ප්‍රසංගයක් සඳහා ගියා. එහිදී එදා මගේ කරට මාලය දැමූ පුද්ගලයා යළිත් මට හමු වුණා. 'ඔයාගෙ කරට එදා මාලයක් දැම්මේ මම තමයි 'කියලා ඔහු ම ඔහුව හඳුන්වා දුන්නා. මාලය රත්තරං වුණත් ඉමිටේ ෂන් වුණත් රසිකයන්ගේ ගෞරවය ආදරය හැමදාමත් මට හිමි වීම ගැන අදටත් මගේ හිතේ තිබෙන්නේ සතුටක්.
'ස්වර්ණා යථාර්ථ රංගය, තත්‍යරූපී භාවය සහ උමතුව'
සෞම්‍ය ලියනගේ කිව්වම කවුරුත් ඔහුව හොඳින්ම හඳුනනවා. ප්‍රවීණ රංගන ශිල්පියෙක් ලෙසත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙසත් සෞම්‍ය ගත කරන්නේ තරමක් කාර්යබහුල ජීවිතයක්. මේ දවස්වල ඔහුගේ නවතම තොරතුරු අපි විමසා බැලුවා.
'මේ දිනවල කලා කටයුතු කිසිවකට දායකත්වය දෙන්නට නොහැකි වුණා. නමුත් මම රංගන වේදයට සහ සිනමාවට අදාළ දර්ශනවාදය සහ ප්‍රාසාංගික කලාව මැයෙන් කෘතියක් රචනා කරමින් සිටිනවා. ඒ අතර පසුගිය දවසක ස්වර්ණා මල්ලවාරච්චි ප්‍රවීණ සිනමාවේදිනිය වෙනුවෙන් පැවැත් වූ සිනමා ප්‍රණාම උළෙලේදී එහි මුඛ්‍ය දේශනය පැවැත් වූයේ මමයි. එදා ඇය ගැන සිදු කළ කතාව පොතකට නඟන්නට මේ වන විට කටයුතු කරමින් සිටිනවා. 'ස්වර්ණා යථාර්ථ රංගය ,තත්‍යරූපී භාවය සහ උමතුව'ලෙස එය නම් කර තිබෙනවා. සිනමා රංගනය අධ්‍යයනය කරන්නන්ට මෙය ප්‍රයෝජනවත් පොතක් වේවි කියා මම සිතනවා.'
බුලේගෙන් නවතම ගීතයක්
'අ'යනු 'ආ'යනු පවා මැකුණා
ආදරේ ලිව් මුල් පොතේ මුල් පිටුවෙ මල් පරවෙලා...
මල් සුවඳ මැකුණා හදවතේ මුතු අකුරු මුතු කඳුළින් මැකී...
අප අකුරු කළ ප්‍රේමය ද මියැ දී...
අපූර්වත්වයෙන් යුතු සොඳුරු ගීතයක් පසුගිය දිනෙක අහන්නට ලැබුණා. මේ ගැන විමසා බලත් දී දැනගන්නට ලැබුණේ මේ ගීතය කලකට පසුව ප්‍රවීණ ගායක රොහාන් ශාන්ත බුලේගොඩයන් විසින් ගායනා කළ නවතම ගීතය බවයි. ' මේ ගීතය මම ගැයූ නවතම ගීතයයි. මෙය මම ගායනා කළේ දැනට මාස කිහපයකට උඩදියි. මේ ගීතයේ ගී පද රචනා කළේ හෙලන්ති මුහන්දිරම්. සංගීතවත් කළේ ප්‍රියන්ත නාවලගේ. මට ලැබුණු ආරාධනයක් අනූවයි මම මේ ගීතය ගායනා කළේ. අපි මොනතරම් අර්ථවත් රසවත් ගීත ගැයුවත් ඒවා රසිකයන් වෙත රැගෙන යාමට තිබෙන ඉඩකඩ අඩුයි. මොකද ගීතයක් කරලා චැනල්වලට දුන්නත් ඒ මඟින් අද ලැබෙන ඉඩකඩ ප්‍රමාණවත් නැහැ. නමුත් මේ ගීතය රසවිදින හැම දෙනාගෙන් වගේම මේ ගීතයට හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ වගේම යූ ටියුබ් ඔස්සේත් මෙය රසවිඳින්න පුළුවන්. ඉදිරියේ දී මේ ගීතය වෙනුවෙන් රූප රචනාවකුත් නිර්මාණය කරන්න සූදානම්.