
දිනෙන් දින ගිනස් ලෝක වාර්තා පොතට අලුතින් වාර්තා එක්වනවා. එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ සිදු කරනා ක්‍රියාවන් මඟින් මෙන්ම සාමාන්‍ය මිනිසකුට සිදුකළ නොහැකි විශ්මිත දෑ සිදු කිරීම මඟින් තබන ලෝක වාර්තා සඳහා අපි වඩාත් උනන්දුවක් දක්වනවා. මීටත් අමතරව අප කිසිවකුටවත් වැදගත් යැයි නොසිතෙන ඉතා සරල ක්ෂේත්‍ර නිර්මාණශීලී ලෙසින් ඉදිරිපත් කිරීම මගින් ගිනස් ලෝක වාර්තා පොත් අතරට ගිය පුද්ගලයින්ද සිටිනවා.
අද අතිරේකය වෙන්වන්නේ එවැනි පුද්ගලයකු පිළිබඳව සටහන් කිරීමටයි. නමුත් මොහුගේ විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි ගිනස් ලෝක වාර්තා පොත තමන්ගේ නමට මුද්‍රණය වූ පොතක් බවට පත් කරගැනීමට තරම් ලෝක වාර්තා ප්‍රමාණයක් මොහු සතුව තිබීමයි.
මීට දින කිහිපයකට පෙර එළිදැක්වූ 2018 වසර සඳහා වූ ගිනස් ලෝක වාර්තා පොතෙහි ලෝක වාර්තා 7කට හිමිකම් කියනා මේ අපූරු පුද්ගලයාගේ නම ඇන්ඩ්‍රේ ඕටොල්ෆ් (Andre Ortolf). 23 හැවිරිදි මොහු ජර්මනියේ ජීවත් වනවා. ගිනස් ලෝක වාර්තා අති විශාල ප්‍රමාණයකට හිමිකම් කියන ඇන්ඩ්‍රේගේ වාර්තා අතුරින් මෙවර මුද්‍රණය කරන ලද පොතෙහි ඇතුළත්ව තිබූ වාර්තා වන්නේ මොහු විසින් 2015 වසරේ ජනවාරි 5 වැනිදා තත්පර 30ක් ඇතුළත අබ සහිත නළ (ටියුබ්) වල තිබූ අබ මිශ්‍රණය ග්‍රෑම් 416 ක් ආහාරයට ගැනීම, වසර 2014 නොවැම්බර් 11 වැනිදා ජර්මනියේ Augsburg හිදී විනාඩියක් තුළ වැඩිම පොඩි කරන ලද අල ප්‍රමාණයක් එනම් ග්‍රෑම් 893ක් ආහාරයට ගැනීම, වසර 2016 සැප්තැම්බර් මස 7 වැනි දින මිනිත්තුවක් තුළ වැඩිම මාර්මයිට් ප්‍රමාණයක් එනම් ග්‍රෑම් 252ක් ආහාරයට ගැනීම, මිනිත්තුවක් තුළදී පතිත වී පැමිණෙන ටෙනිස් බෝල දෑස් ආවරණය කර තිබියදී අල්ලා ගැනීමෙන් එනම් ටෙනිස් බෝල 32ක් අල්ලාගෙන 2016 වසරේ ජූලි 3 වැනිදා ජූලියා ක්‍රොල් සමගින් තැබූ වාර්තාව, වසර 2016 ජූලි 23 වැනිදා දෑස් හා දෑත් බැඳ විනාඩියක් තුළ ආහාරයට ගත් වැඩිම ජෙලි ප්‍රමාණය වන ග්‍රෑම් 1445 වාර්තාව,උත්සව අවස්ථාවන්හිදී භාවිතයට ගන්නා අතින් අදිනා විට පිපිරෙන සැරසිලි විනාඩියක් තුළ 78 ක් පුපුරවමින් වසර 2016 ජනවාරියේ 9 වැනිදා තැබූ වාර්තාව හා වසර 2014 අගෝස්තු මස 15 වැනිදා රෝද තිබෙන පුටුවක නැගී වේගයෙන්ම (එනම් තත්පර 31.92කින්) මීටර් 100 සීමාව පසු කරමින් තැබූ වාර්තාව ඇතුළත් වනවා.
මිතුරකු සමඟ දැමූ ඔට්ටුවක් නිසා 2013 වසරේදී තනිකරම ලීයෙන් නිමවූ සපත්තු (Clogs) පැළද මීටර් 100 ක් දිවීම (තත්පර 16.27) නිසා ලෝක වාර්තාවක් නිර්මාණය වී තිබෙනවා. එතැන් පටන් ඔහුගේ සාමාන්‍ය ජීවිතය අවසන් වී තිබෙන අතර ලෝකයේ අනෙකුත් පුද්ගලයන්ට පණිවිඩයක් දීමට එනම් තමාට අවැසි ඕනෑම දෙයක් සිදු කිරීමට තමාට හැකියාව තිබෙන බව පෙන්වීම සඳහා ඔහු විවිධාකාර ලෝක වාර්තා බිඳ දැමීමට හා අලුතින් ලෝක වාර්තා ඇති කිරීමට පටන් ගෙන තිබෙනවා.
මේ අතරින් හිම සපත්තු (Ski boots) පැළඳගෙන මීටර් 100ක් වැඩිම වේගයෙන් දිවීම (තත්පර 17.65) හා පී ඇටයක් කටින් පිඹ වැඩිම දුරක් යැවීම (මීටර් 7.51ක්) වඩාත්ම ප්‍රසිද්ධියට පත්වූ ලෝක වාර්තා වනවා. මේවාට අමතරව තවත් ලෝක වාර්තා රැසකටම හිමි කරු වන ඇන්ඩ්‍රේ මේ මොහොත වන විටත් අලුත් ක්‍රම මගින් වාර්තා පොතට තමන්ගේ නම ඇතුළත් කර ගැනීමට උත්සාහ කරමින් සිටින්නේ ඉලක්කය කොතරම් දුර වූවත් තමන් කෙරෙහි දැඩි විශ්වාසයකින් කටයුතු කළහොත් ඒ ඕනෑම එකක් ජය ගත හැකි බව අපට පවසමිනි.