අලුත් ත්‍රීවීල් නීතියෙන් දෙපැත්තටම වාසි | Page 19 | සිළුමිණ

අලුත් ත්‍රීවීල් නීතියෙන් දෙපැත්තටම වාසි

ත්‍රිරෝද රථ සඳහා අලුතින් හඳුන්වා දෙන නියාමන නීති පද්ධතිය මඟින් ත්‍රිරෝද රථ ප්‍රවාහනය විධිමත් ව්‍යාපාරයක් ලෙස තහවුරු කිරීමට හා මඟී ජනතාව ආරක්ෂා කරගැනීමට කටයුතු යෙදෙන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි. මේ නීතිරීති පද්ධතිය යටතේ සියලු ත්‍රිරෝද රථ සඳහා අනිවාර්යෙන්ම මීටර සවි කළ යුතු වේ. මගී ගමනාන්තයේදී රිසිට් පතක් ලබා දීම ද අනිවාර්ය කෙරේ.

මඟියාට ගමනට අදාළ රිසිට් පත මඟින් ගමනේ වලංගු බවක් ලැබෙනවා සේම අනතුරකදී මඟියාට සිදු වන ආපදා සඳහා වන්දි ලබාගැනීමට නම් රක්ෂණ සමාගම් සඳහා රිසිට් පත් අනිවාර්යෙන්ම අවශ්‍ය වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම සියලු 'ගාස්තු මීටර' ප්‍රමිතියෙන් යුක්ත විය යුතු බවත්, ඒ සම්බන්ධයෙන් ‍මේ වන විට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දැනුවත් කර ඇති බවත් පැවසූ ඒ මහතා ඇතැම් ත්‍රිරෝද රථවල මීටර් රියැදුරාට පාදයෙන් පවා වෙනස් කළ හැකි ලෙස සූක්ෂ්ම ලෙස සකස් කර තිබෙන බවට කරුණු අනාවරණය වී ඇතැයිද කීය.

මේ නිසා ත්‍රිරෝද රථවල ගමන් ගන්නා මඟීන් එහි විශ්වසනීයත්වය පිළිබඳව ඇති කරගන්නා සැකයන් නිසා මීටර් සම්බන්ධව විශ්වාසයද පලුදු වී යෑමට පටන් ගෙන ඇති බවත් ඔහු කියා සිටියේය.

මේ නිසා දැනට මීටර සවි කර ඇති සියලු ත්‍රිරෝද රථවලින් රිසිට්පතක් ලබාගැනීමට හැකි වන පරිදි සකසාගත යුතු අතර, ඒ සඳහා වැය වන්නේ රුපියල් 2000ක පමණ මුදලක් බවත්, මීටර නොමැති ත්‍රිරෝද රථවලට නව මීටරයක් සවි කරගැනීමට රුපියල් 9000ක් පමණක් වැය වන බවත් එයද ගෙවී‍මේ ක්‍රමයට අදාළ සමාගම්වලින් ලබාගැනීමට පහසුකම් සලසා ඇති බවත් සභාපතිවරයා කීය.

එමෙන්ම අලුතින් ආනයනය කරනු ලබන සියලු ත්‍රිරෝද රථවලට අනිවාරියෙන්ම මීටර සවි කර ආනයනය කිරීමට කටයුතු කරනු ලබන බවත් ඔහු පැවසීය. මේ සියලු පියවර ගනු ලබන්නේ ත්‍රිරෝද රථ කර්මාන්තයද ආරක්ෂා කරගෙන ඒ සඳහා නිසි පිළිගත් වෘත්තීය ගරුත්වයක් ලබා දීම පිණිස බවත් ‍මේ වන විට ලක්ෂ 11කට අධික ත්‍රිරෝද රථ සංඛ්‍යාවක් ලියාපදිංචිව ඇති බවත්, එයින් 960000ක් මේ වන විට මාර්ගයේ ධාවනය වන බවත් පැවසූ සභාපතිවරයා ත්‍රිරෝද කර්මාන්තය රැකගැනීමට නම් මඟී විශ්වාසය රැකගැනීම අත්‍යවශ්‍ය බවද පෙන්වා දුන්නේය. 

Comments

තවමත් ක්‍රමවත්ව අනාගතයකට මුහුණ දීමට හැකිවන පරිදි අනිවාර්යයෙන්ම විධිමත් කළ යුතුව තිබෙන වර්තමාන පාසල් සමය අවසන් කරන තරුණයන්ට ඇති එකම හිත් ගත් අනාගතය ත්‍රී වීල් රැකියාව නොවීමට නම් මෙම මීටර , ටිකට්වලට වඩා ගැඹුරින් මේ ගැන සිතා බැලිය හැකි බලය ඇත්තන් බිහිවිය යුතුම ය.

පිටු