
කසුන් පුස්සෙවෙල විසින් රචිත ‘12- 11- 10 වැලිකඩ’ කෘතිය පසුගිය 15 දා ජනගත විණි. වැලිකඩ බන්ධනාගාර භූමියේදී රැඳවියන් 27 ක් ඝාතනය කිරීම සම්බන්ධ සිද්ධිය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් මේ කෘතියේ අන්තර්ගත ය. මානව වංශ කතාවේ පිටු මතින් මැකී නොයන මේ සිදුවීම මානව හිතවාදී දෘෂ්ටියකින් විග්‍රහ කරන්නට කතුවරයා සමත් වී තිබේ. මේ, ඒ පිළිබඳ ලේඛකයා සමඟ කළ සංලාපයෙකි.
• ලාංකේය සාහිත්‍යය ඇතුළත ‘12-11-10 වැලිකඩ’ කියන ඔබේ මේ කෘතිය ස්ථානගත වන්නෙ කවර ස්ථානයක ද?
ඇත්තට ම මේ කෘතිය ලියන්නට පාදක වන්නේ ඝාතන සංස්කෘතියට ‘තිත’ තැබිය යුතුයි කියන කාරණය සහ යුක්තිය ඉටුවිය යුතුයි කියන කාරණය යි. ඒ අනුව මේ කෘතිය මෙරට ඉතිහාසයේ දවසක මේ රටේ රාජ්‍යයේ අධිකරණයෙන් වරදකරුවන් වී බන්ධනාගාර ගත වන රැඳවියන්ට සිදුවෙච්ච ම්ලේච්ඡ ඝාතනයක් පිළිබඳ ව ඉතිහාසය සටහන් කරන්න තමයි, මම මේ පොත මූලික ව ම පාදක කරගත්තේ. ඒ අනුව මෙරට පොත් පුවත් සාහිත්‍යයේ කවදාකහරි දවසක මේ පොතත් ලියැවිලා තිබේවි. ඒ අනුව ලංකාවේ අධිආරක්ෂිත කලාපයක පිහිටි බන්ධනාගාරයක් ඇතුළතදී එදා සිදු වූ ආකාරයට එවැනි අවාසනාවන්ත ඝාතන ක්‍රියාවලියක් සිදුවුණු බවට ලිඛිත සාක්ෂියක් තමයි මේ පොත.
• ඔබට මෙවැනි පොතක් ලිවීමට ප්‍රස්තුත වූ කාරණා මොනවා ද?
ඒකට කාරණ කිහිපයක් ම කියන්න පුළුවන්. යුක්තිය සහ සාධාරණය අගයන සිවිල් පුරවැසියෙක් ලෙස මෙසේ ඝාතනයට ලක්වූ පුද්ගලයන්ට සාධාරණය ඉෂ්ට විය යුතු යි කියලා සිතන නිසා වගේ ම ලේඛකයෙක්, මාධ්‍යවේදියෙක් වශයෙන් ඉටුවිය යුතු සේවයක් තමයි මම කළේ. ඊට අමතර ව මම 2012 රාවය පුවත්පතේ මාධ්‍යවේදියෙක් ලෙස සිටිද්දී මෙහි ඇත්ත සියැසින් දකිමින් වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදියෙක්. එදා පැවැති ආණ්ඩුවට පක්ෂ ව රාජ්‍ය මාධ්‍ය ඇතුළු ව විවිධ පෞද්ගලික මාධ්‍යයන් මෙය රැඳවියන් විසින් ඇති කළ කෝලහාලයක් ලෙස තමයි රටට-ලෝකයට පෙන්වූ චිත්‍රය. එහිදී මම රාවය වෙනුවෙන් මෙහි ඇත්ත හෙළි කරමින් තෝරා-බේරාගෙන රැඳවියන් ඝාතනය කළ ඝාතනයක් ලෙස එය ලෝකයට හෙළි කළා. අන්න ඒ අයිතිවාසිකම සහ ඊට පසුව අවුරුදු පහක් තිස්සේ මේ සිද්ධියේ පසුපස සිටිමින් මාධ්‍යවේදියෙක් ලෙස සියලු ඇත්ත හෙළි කළ නිසා මට හිතුණා, මෙය පොතක් ලෙසත් එළිදැක්වූවොත් හොඳයි කියලා. නැතුව මගේ කිසිම කෙනෙක් මේ සඳහා කිසිදු අයුරකින් සම්බන්ධයක් නැහැ.
• මේ සිදුවීම් ජාලයට සම්බන්ධ ආන්දෝලනාත්මක කරුණු කාරණා මේ පොතට ඇතුළත් වූවා කියා ඔබ සිතනවා ද? ඒ අනුව මෙය සමාජයේ කතාබහට ලක්වන පොතක් වේ යැයි සිතන්නට පුළුවන් ද?
මම එහෙම ආන්දෝලනාත්මක සිදුවීම් මේ පොතේ තියෙනවා කියලා හිතන්නෙ නෑ. මොකද මුළු සිදුවීම ම ආන්දෝලනයක්. නමුත් මේ පොත ගැන සමාජයේ කතිකාවක් ඇති කළ යුතුයි කියලා මම හිතනවා. මොකද මෙතන ඝාතනය වුණේ මේ සමාජයේ ම පිරිසක්. ඔවුන් වැරැදිකරුවන්, සැකකරුවන් වූ පමණින් එසේ ඝාතනය වීම තරයේ හෙළා දැකිය යුතුයි. මොකද සිරකරුවොත් මනුස්සයෝ. ආන්දෝලනයක් කෙසේ වෙතත් මිනිස්සු ඒ මියගිය අයවලුන් වෙනුවෙන් සාධාරණය ඉටුවන තෙක් පමණක් නොව ඉදිරියටත් මෙවැනි සිදුවීම් සිදු නොවන්නට සමාජයේ කතා කළ යුතු ම යි. එසේම මිනිස්සු තමන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. මොකද බන්ධනාගාරවලට මුදල් වෙන් කරන්නෙත් මිනිස්සු. ඒ වගේම රටේ නීති හදන්නෙත් මිනිස්සු. ඒ නිසා මෙවැනි දේ රටේ සමාජයේ කතා කරන්න ඕනෑ. මිනිස්සු නිදාගෙන සිටිය යුතුයි කියා මම හිතන්නෙ නෑ.
• ඔබ පුවත්පතට රචනා කළ ලිපිවලට අමතර කරුණු කෘතියට ඇතුළත් කිරීමට වග බලාගත්තා ද?
ඇත්තට ම මේකේ 2012 මේ සිදුවීම වෙච්ච දවසේ සිට ම සිදුවූ සිදුවීම් සියල්ල අපි රාවයේ පළ කළා. ඒ මේ සිදුවීම දැඩි සේ හෙළා දකිමින් සහ මෙය නීති විරෝධි ක්‍රියාවලියක් බව දක්වමිනුයි. ඒ නිසා ඒ පළවෙච්ච ලිපිවලට පාදක වුණෙත් රැඳවියන්ගේ සහ මියගිය රැඳවියන්ගේ ඥාතින්, බන්ධනාගාර නිලධාරින්, ආරක්ෂක අංශවල සහ සිවිල් පුද්ගලයන්ගේ සියලු සාක්ෂි. එතෙන්දි ඇසින් දුටු සත්‍ය සිදුවීම් අපි එලෙස ම පළ කළා. ඒ කරුණු කාරණා ඒ අවස්ථාවේ සිටි රාජ්‍ය පාලකයන් නිසා කිසිදු මාධ්‍යයක් කතා කළේ නැහැ. නමුත් අපි ඒ කාර්යය නොබිය ව ඉටු කළා. ඒ වගේම මේ වෙනුවෙන් පත් කළ කමිටු නිලධාරින්ගේ, හිටපු ආරක්ෂක ලේකම්තුමාගේ, හිටපු බන්ධනාගාර ඇමැතිවරයාගේ මේ සියලු දෙනාගේ තොරතුරු, අදහස් මේ පොතට ඇතුළත්. ඒ නිසා මේ පොත කාටවත් අසාධාරණයක් හෝ පක්ෂග්‍රාහී ලෙසින් පළ වූ පොතක් නොවන වගත් මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඉතිහාසය කියවන්නකුට, ඝාතනවලට එරෙහි වන්නකුට කවදාහරි කියවා දැනගත යුතු මෙරට ඉතිහාසයක් ලෙසයි මෙය පළ කළේ.
• මෙවැනි කතාවකට ලාංකේය පාඨක සමාජයේ විශ්වසනීය ඉඩක් හිමි වේයැයි ඔබ සිතනවා ද?
නැහැ. අපි යුද්ධාභිවන්දනයන් උත්කෘෂ්ට කළ සමාජයක් වශයෙන් පොත් අලෙවි කිරීම කියලා ඇත්තට ම මේ ආර්ථික කටයුත්තක් නේ කරන්නේ. අපි දැක්කා විවිධ අපදාන, යුද්ධාභිවන්දනයන්, ජාතිවාදී සංඝටක සහිත පොත් විකිණෙනවා. ඒකට හේතුව තමයි අපේ රටේ මේ ලේ රස කියවන්න කැමැති පාඨකයෝ ඉඳීම. ඉතිහාසයේ සිට ම අපේ රටේ එහෙම කලාවක් තිබුණා. නමුත් මේ පොත ඇතුළෙ එහෙම කුණු රස, ලේ රස, නැහැ වගේම මරණ විකුණාගෙන කන කිසිම දෙයක් නැහැ. මේකෙ තියෙන්නෙ නෛතික කරුණු කාරණා සහ මේ සිදුවීම සම්බන්ධයෙන් සිදුවූ සිද්ධි වාර්තාකරණයක් සහ ගවේෂණාත්මක හෙළි කිරීම් කිහිපයක් පමණයි.
• ඔබ පෙන්වන මේ සත්‍යය අදටත් අතුරුදන් සත්‍යයක්. මේ ගැන ඔබේ අදහස...
ඒක නිසා තමයි අපි ඇත්තට ම අරගල කළ යුත්තෙ. ඒක පසුගිය පාලනයේද, වර්තමාන පාලනයේද කියා අපට අදාළ නැහැ. මේ රටේ මේ සමාජය තිබෙන නිර්වින්දන භාවයෙන් මිදිය යුතුයි කියලයි මම නම් පුන පුනා ම කියන්නෙ. මිනිස්සු මේ දේවල් දිහා මීට වඩා සාධනීය ලෙස බැලිය යුතුයි. ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් මේ රටේ පාලකයෝ සහ පුරවැසියන් යන දෙගොල්ල ම තව ම සූදානම් නැති බවක් පෙනෙනවා. දැන් මේ පොතෙන් කතා කරන කාරණය ගැන කමිටුවක් පත්කරල තියෙද්දිත් තවමත් වසන් කරගෙන, ප්‍රමාද කරගෙන සිටිනවා නම් නීතියේ ක්‍රියාකලාපය ප්‍රමාද නම් තවදුරටත් මේ රටේ නීතියේ ආධිපත්‍යය ගැන ගැටලුවක් මතු වෙනවා. එයින් පෙනෙන්නේ මේ සමාජය තවදුරටත් නීතිය විශ්වාස කරමින් සිටින එකක් නැහැ කියන කාරණාවයි. මේ සමයේ නැවතත් පෙන්නුම් කරමින් සිටින්නෙ නීතියේ හිඩැස් තිබෙන බවකුයි. ඒකයි මා මේ පොතෙන් කතා කරන සිදුවීමත් තවමත් නීතිය ඉදිරියේ ඉබි ගමනක යන්නේ.
• අවසාන වශයෙන් මේ සිද්ධියට සම්බන්ධව මාධ්‍ය ක්‍රියාකාරිත්වය ගැන ඔබ මොකද සිතන්නෙ...
ඇත්තට ම මං පළමු ව සඳහන් කළා වගේ ඒ වකවානුවේදී තිබුණ පාලනයත් සමඟින් බොහෝ මාධ්‍ය කටයුතු කළේ මේ සිරකරුවන් ඝාතනය කළ යුතුයි කියන තැන හිඳිමින්. මොවුන් එල්ලා මැරිය යුතුයි, නැතිනම් මේ ආකාරයෙන් හෝ ඝාතනය කළ යුතුයි කියන මතය තමයි බොහෝ මාධ්‍ය ප්‍රචලිත කළේ. ඒක ජාතික ප්‍රතිපත්තියක් බවට පත්කරන තැනට ම එදා මාධ්‍ය නිහීන ලෙස කටයුතු කළා, අකුරු රස විකුණමින්. එතෙන්දි බොහෝ ලෙස වාර්තා කළේ වැරැදි තොරතුරු. ඒකට බලපෑවේ හිටපු පාලන තන්ත්‍රයේ ක්‍රියාදාම. ඒ වෙලාවේ කියන්න කනගාටුයි අපේ මාධ්‍ය සගයනුත් කිසිදු සොයා බැලීමක් නොකර තමයි මේ කාරණය වාර්තා කළේ. ඔවුන් ඇත්තට ම මාධ්‍ය වගකීම පැහැර හැරියා. මොකද මාධ්‍යයේ වගකීම සත්‍ය හෙළි කිරීම සහ මහජනතාවට නිවැරැදි තොරතුරු වාර්තා කිරීම. නමුත් අපි දැක්කා මාධ්‍යවේදියෝ හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන් කියන, කියවන දේ පමණක් කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නැතිව ලියනවා. නමුත් මං හිතන්නෙ නෑ ඒ මඟින් සැබෑ මානව හිතවාදී හෝ සත්‍යයට ගරු කරන සැබෑ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යකරණයක් පිළිබිඹු වුණා කියා. එය තවදුරටත් නොවිය යුතුයි.