
දිව්‍යන්කා මියගියැයි බොරු ආරංචියක්
රසික ජනතාවගේ ආදරය දිනාගත් ටෙලි නිළියක වන සුරූපී දිව්‍යන්කා ත්‍රීපති හදිසියේ මියගිය බව සඳහන් පුවතක් පසුගිය දිනවල අන්තර්ජාලයේ පැතිරී ගියේ විදුලි වේගයෙන්.
whatsap පණිවිඩයක් ඔස්සේ පැතිරුණු මේ පුවතෙහි දැක්වුණේ අධිවේගී මාර්ගයක් ඔස්සේ ධාවනය වූ දිව්‍යා ගමන් ගත් මෝටර් රථය හදිසි අනතුරකට ලක්වී ඇයට බරපතළ තුවාල සිදු වූ බවයි. දිව්යන්කාව රෝහලට ගෙන යන අතරතුරදී ඇය මිය ගියැයි එහි තවදුරටත් සටහන් වී තිබුණා. මේ පුවත දුටු ඇගේ රසික රසිකාවන් මෙන් ම හිතවතුන් ද මේ ගැන දිගින් දිගටම විමසීම් කරන්නට පටන් ගත්තා. ඇතැම් අය ඇගේ දුරකථනයට කතා කර ඇගෙන් විමසුවේ ‘දිව්‍යන්කා’ ඔයා ජීවතුන් අතර නේද?’ කියලයි. සමහරු ඇගෙන් කිසිදු විමසීමක් නොකර මේ whatsap පණිවිඩය Twitter පිටුවලට ද එක්කර තිබුණා. ආරංචියට ‘පියාපත්’ ලැබී බොලිවුඩ්පුරය උණුසුම් වුණා.
තත්ත්වය නරක අතට හැරී ඇති බව වටහාගත් දිව්‍යන්කා, තම ට්විටර් පිටුවෙන් මෙහි ඇත්ත තත්ත්වය පැහැදිලි කළා. තමන්ට කිසිදු අනතුරක් සිදු නොවූ බව පැවසූ දිව්‍යන්කා, බොරු ආරංචි පතුරුවා තම ඥාතින් සහ හිතවතුන් අපහසුතාවට පත් නොකරන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටියා.
දිව්‍යන්කා හදිසි අනතුරකට ලක්වී ඇතැයි සඳහන් පුවතට පදනම් වී ඇත්තේ මෝටර් රථ අනතුරක්. එහි ගමන් කර ඇත්තේ දකුණු ඉන්දීය ටෙලි නිළියක වන රාචනායි. රථය පදවා ඇත්තේ ඇගේ හිතවත් නළුවෙකු වන ජීවන්. අධික වේගයෙන් ගමන් කර ඇති මේ මෝටර් රථය මහමඟ නවතා තිබූ ට්‍රක් රථයක ගැටී තිබෙනවා. එම අනතුරෙන් රාචනා සහ ජීවන් මියගොස් ඇති බවයි වාර්තා වුණේ. මේ සිද්ධිය whatsap වලට දැමූ තැනැත්තා රාචනාගේ ඡායාරූපය වෙනුවට දිව්යන්කාගේ ඡායාරූපය යොදා තිබෙනවා. බොරු ආරංචියට අත්තටු ලැබුණේ ඒ අයුරින්.
අසම්මත කතාව ඇත්තක් ද?
සුරූපී නිළි කන්ගනා රනවුත් සහ සුපිරි නළු රිතික් රෝෂන් අතර ඇවිලී ගිය දබරය කාටත් මතකයි. එහි රශ්මිය නිවී යෑමත් සමඟම තවත් ගිනි දැල්ලක් ඇවිළිලා. හැබැයි මෙය පැරැණි පෙම් කතාවක්. හෙළි වී ඇත්තේ මෑතකදී, අහම්බෙන්. ජනප්‍රිය නළු ආදිත්‍ය පන්චෝලි සහ කන්ගනා අතර තිබුණු අසම්මත ආදරයක් ගැනයි මේ කතාවෙන් හෙළි වී ඇත්තේ.
කන්ගනා රනවුත් බොලිවුඩ් සිනමාවට හඳුන්වා දුන්නේ ආදිත්‍ය පන්චෝලියි. එය බොලිවුඩ් පුරයේ බොහෝ දෙනකු දන්නා දෙයක්. නමුත්, ඔවුන් දෙදෙනා අතර සබඳකමක් පැවතුණාදැයි කිසිවකු මෙතෙක් දැන සිටියේ නැහැ. එවැන්නක් කිසිවකු නොසිතුවේ ආදිත්‍ය සහ කන්ගනා අතර තිබෙන වයස් පරතරය නිසා. ආදිත්‍ය උපන්නේ 1965 දී. කන්ගනා 1987 දියි උපත ලැබුවේ. දෙදෙනා අතර පැවතුණායැයි කියවෙන මේ සබඳකම හෙළි වී ඇත්තේ කන්ගනා පැවසූ කතාවක් රැගත් කැසට් පටයක් හමුවීමෙන්. මෙහි කන්ගනා පවසා ඇති අන්දමට ඇයට මුලින්ම ආදිත්‍යව හමුවී ඇත්තේ 2004 ජූනි 27 දා. දැඩි වර්ෂාපතනයක් පැවතුණු එදා ආදිත්‍ය තම මෝටර් රථය මුම්බායිහි ජූහු ප්‍රදේශයේ එක්තරා ගොඩනැඟිල්ලක ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කරමින් සිටි බව පැවසෙනවා. ඒ ගොඩනැඟිල්ල ඔහුගේ සමීප මිතුරකුගේලු.
ආදිත්‍යගේ මෝටර් රථයට මඳක් නුදුරින් සාප්පුවක වහලය යට නවතා තිබුණු මෝටර් බයිසිකලයක වාඩිවී සිටි එක්තරා යුවතියක් ආදිත්‍යව දැක තිබෙනවා. ඇය ඔහු වෙත පැමිණ තමන්ව හඳුන්වා දුන්නා.
“හායි! මම කන්ගනා රනවුත්. මම කැමැතියි ඔයාත් එක්ක කතා කරන්න.” ඒ වන විට 18 වැනි වියෙහි පසුවූ කන්ගනාට අනුව ආදිත්‍ය සමඟ ඇය සබඳකමකට මුල පුරා ඇත්තේ එලෙසින්ලු. ඒ වන විට සිනමාවට පා තබා නොසිටි කන්ගනාට ඉදිරියට යන්නට මඟ පාදා දී ඇත්තේ ආදිත්‍යයි.
එතැනින් ඇරැඹුණු ආදිත්‍ය - කන්ගනා සබඳකම දුරදිග ගියේ ආදිත්‍යගේ විවාහ ජීවිතය ද කඩා බිඳ දමමින්. තමන්ට වසඟ වූ ආදිත්‍ය, ඔහුගේ බිරිය වන සරීනා ගෙන් වෙන්ව ජීවත් වූ බවයි කන්ගනා පවසන්නේ. කන්ගනා තව දුරටත් පවසා ඇත්තේ ආදිත්‍ය තමන් වෙනුවෙන් තට්ටු නිවාස සංකීර්ණයක නිවසක් මිලදී ගෙන තමන්ව එහි නතර කර තැබූ බවයි. කිසිදු පිටස්තර අයකුට එම නිවෙසට යාම තහනම් කළ ආදිත්‍ය, බිරියගෙන් වෙන්වී තමන් සමඟ විසූ බවත් මේ යොවුන් නිළිය පවසනවා.
කෙසේ වෙතත්, ආදිත්‍ය මේ කතා තරයේ ප්‍රතික්ෂේප කරනවා. පසුගිය සතියේ ඔහු ප්‍රකාශ කළේ කන්ගනාගේ මේ කතන්දරවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු වීමට තමන් තීරණය කර ඇති බවයි. ඒ සඳහා තම බිරියගේ සහාය ද ලැබෙන බවත් ඔහු පැවසුවා.
තනියට හිටියේ එක්කෙනයි
අසභ්‍ය චිත්‍රපටවල රඟපෑමෙන් පසුව ප්‍රධාන ධාරාවේ චිත්‍රපටවල රංගනයට පිවිසුණු නළු නිළියන් බොහෝ දෙනෙක් විවිධ රටවල සිටිනවා. ඉන්දියාවේ සිටින්නේ එවැනි එක් නිළියක් පමණයි. ඇය තමයි සනි ලියොන්. දැන් ඇය අසභ්‍ය චිත්‍රපට නිළියක් ලෙස හඳුන්වන්නට බැහැ. ඇය බොලිවුඩ් සිනමාවේ ප්රමුඛ පෙළේ චිත්‍රපටවල ප්‍රධාන චරිත නිරූපණයන්ට එක්වී සිටිනවා. මේ වන විට ඇය වටා විශාල ප්‍රේක්ෂක පිරිසක් රොදබැඳ සිටිනවා. ඒ නිසා මේ සුරූපිනිය ශක්තිමත් නිළියක් බවට පත්වෙලා.
එහෙම වුණත්, බොලිවුඩයට පා තැබූ යුගයේදී තමන්ට ප්‍රසිද්ධ නළු නිළියන්ගේ ගැරහීම්වලට ලක්වන්නට සිදු වූ බවයි, සනි ලියොන් මෑතකදී ප්‍රකාශ කර තිබුණේ. ඇතැම් අවස්ථාවලදී තමන් සමඟ එකම වේදිකාවක සිටීම පවා සමහර ජනප්‍රිය නළු නිළියන් ප්‍රතික්ෂේප කළ බව ද ඇය කියා සිටියා. ඒ වුණත් ඒ කාලයේ තමන්ව ප්‍රතික්ෂේප නොකළ ජනප්‍රිය නළුවකු සිටි බව සනි ලියොන් සිහිපත් කළේ ගෞරවයෙන්. ඔහු තමයි, චන්කි පාණ්ඩේ.
අනුන්ගේ දෙබස් තමන්ගේ හැටියට
සුපිරි නළු සල්මන් ඛාන් ගේ නැවුම් රංගනයන්, ඇතුළත් වන මීළඟ චිත්‍රපටය, ‘තග්ස් ඔෆ් හින්දොස්තාන්’. ඔහු මේ චිත්‍රපටයේ රඟන්නේ අමිතාබ් භච්චන් සහ අමීර් ඛාන් වැනි දැවැන්තයින් සමඟයි.
කෙතරම් ඉහළ තත්ත්වයේ රැඳී සිටින නළු නිළියන් සමඟ රඟපෑවත් සල්මන් තමන්ට ලැබෙන ඕනැම ස්වරූපයක චරිතයකට ප්‍රවිෂ්ට වන්නේ එකම අයුරකින්. එය ඇතැමුන්ට අසාමාන්‍ය බවක් දැනවෙන ක්‍රියාවක්. සල්මන්ගේ මේ අමුතු රංගන ප්රවිෂ්ටය විස්තර කළේ ‘තග්ස් ඔෆ් හින්දොස්තාන්’ චිත්‍රපටයේ රඟපෑ මොහොමඩ් සීෂාන්.
“සල්මන් දර්ශනයක රඟපාන්න කලින් ඒ අවස්ථාව කියවල බලන්නෙ එක වතාවයි. ඒ එක වතාවෙන්ම එයා දෙබස් ටික හිතට ගන්නවා. ඊට පස්සෙ දර්ශනය රූගත කරනකොට සල්මන් දෙබස් කියන්නෙ එයාගෙ වචනවලින්. තිර රචනයේ තියෙන වචන ම නෙමෙයි.”