‘ළමා මනස හඳුනා ගනිමු’ | Page 2 | සිළුමිණ

‘ළමා මනස හඳුනා ගනිමු’

මාධ්‍යවේදිනී, ලේඛිකා චම්පිකා දීපානි රණසිංහගේ අලුත්ම ග්‍රන්ථ සංස්කරණය ‘ළමා මනස හඳුනා ගනිමු’ කෘතියයි. ළමා හා යොවුන් මනෝ විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුදර්ශී සෙනෙවිරත්නගේ උපදෙස් පරිදි සැකසූ කෘතිය සදීපා ප්‍රකාශනයකි. මින් පෙර සදීපා ප්‍රකාශකය් විසින් එළි දැක්වූ ගැබිනි මවට අත්වැලක්, මානසික රෝගවලින් මිදෙමු, ආතරයිටිස් වළක්වා ගනිමු කෘතීන්හි සංස්කාරකවරිය වූයේ ද ඇයයි. ළමා මනස හඳුනා ගනිමු කෘතියේ දරුවකු පිළිසිඳුණු දිනයේ සිට නව යොවුන් වියට පත්වීම දක්වා සිදුවන මානසික පෙරළිය ඇතිවිය හැකි ගැටලු, එම අභියෝගයන්ට මාපියන්, ගුරුවරුන් මුහුණ දිය යුතු අන්දම, වෛද්‍ය උපදෙස් පැතිය යුතු අවස්ථා ආදී සියලු කරුණු මේ කෘතියෙහි අන්තර්ගත ය. මෙය සැබැවින් ම ගුරු දෙගුරුන්ට අත්පොතක් බඳු ය.

ලේක්හවුස් ආයතනයේ තරුණී පුවත්පතේ ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදිනිය හා නියෝජ්‍ය කතුවරියකවී සිටි චම්පිකා වත්මනේදී සුබසෙත පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ධූරය හොබවන්නීය. ඇය මින් පෙර පරිවර්තන, ළමා, යොවුන් සාහිත්‍ය ග්‍රන්ථ ගණනාවක් ම රචනා කර තිබේ.


ටෙලි නිර්මාණවේදි සංසඳයෙන් ටෙලි-සිනමා රංගනය සඳහා පාඨමාලාවක්

ශ්‍රි ලාංකේය ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේ තිරනාටක රචකයින් අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන්, රංගන ශිල්පීන් සහ එම ක්ෂේත්‍රයේ නියුතුවුවන් සාමාජිකත්වය දරන ක්ෂේත්‍රයේ ඇති එකම සහ ප්‍රබල සංවිධානය වන ටෙලිනිර්මාණවේදීන්ගේ සංසඳයේ 25වෙනි සංවත්සරය වෙනුවෙන් ප්‍රවීණ ටෙලි හා සිනමාවේදීන්ගේ සහ ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ උපදේශකත්වයෙන් මාස හයක සති අන්ත පාඨමාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානයකර ඇත. ටෙලි සහ සිනමා නිර්මාණයන්හි රඟපෑම සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් එම මාධ්‍යයන්හි විශේෂතා හඳුනා ගනිමින් පූර්ණ වශයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් නවකයන්ගේ රංගනය පිළිබඳව දැනුම, අවබෝධය, කුසලතා හා ආකල්ප වර්ධනය කරමින් දක්ෂ රංගන ශිල්පියකු වීමට මඟ පෙන්වන මෙම පාඨමාලාව සාර්ථක ලෙස හදාරන නවකයන්ට එම සංසඳයේ සාමාජිකයින් නිර්මාණය කරන ටෙලි හෝ සිනමා නිර්මාණයන්ට රංගනයෙන් දායක වීමට අවස්ථාව උදාකර දීමටද ටෙලිනිර්මාණවේදින්ගේ සංසඳය බලාපොරොත්තු වේ.

මෙම පාඨමාලාව හැදෑරීමට කැමති රංගනය පිළිබඳ උනන්දුවක් දක්වන සහ එයට හැකියාව ඇති තරුණ තරුණියන්ට පාඨමාලා අධ්‍යක්ෂ, ටෙලිනිර්මාණවේදි සංසඳය,131, පාගොඩ පාර, පිටකෝට්ටේ යන ලිපිනයට සැප්තැම්බර් 27දිනට පෙර එවීමෙන් විස්තර ලබාගත හැකි බව ටෙලිනිර්මාණවේදීන්ගේ සභාපති ප්‍රවීණ සිනමාවේදි උදකාන්ත වර්ණසූරිය මහතා දන්වා සිටී. වැඩි විස්තර 0714040050දුරකථන අංකයෙන් ඩග්ලස් සිරිවර්ධන මහතා ඇමතීමෙන් ලබාගත හැක.


කොළඹ පාර වැඩ අරඹයි

කපිල කුමාර කාලිංග ගේ ස්වීය රචනාවකට අනුව සුසිල් වික්‍රමසිංහ විසින් ප්‍රථම වරට නිර්මාණය කරනු ලබන වේදිකා නාට්‍යයේ මුහුරත් උළෙල පසුගියදා මහරගම ආනන්ද මෛත්‍රි මාවතේ විහාරස්ථානයේදි සුබ මොහොතින් පැවැත්විනි. තාත්වික (සමාජ නාට්‍ය) ගනයේ රීතියකින් වේදිකාවට එන පර්යේෂණාත්මක නිර්මාණයක් ලෙස මෙරට පේක්ෂක සහෘදයන් වෙත අළුත් රසවින්දනාත්මක අත්දැකීමක් ලබාදීමේ බලාපොරොත්තුවෙන් දෙසැම්බර් අග භාගයේ වේදිකාවට ගෙන ඒමට වෙහෙසක් ගන්නා බවයි සුසිල් වික්‍රමසිංහ ප්‍රකාශකර සිටියේ. කොළඹ පාර නමින් නිර්මාණය වන මේ නාට්‍ය සඳහා ශ්‍රියන්ත මෙන්ඩිස්, උමයංගනා වික්‍රමසිංහ, ජෙහාන් ශ්‍රිකාන්ත, ජයන්ත මුතුතන්ත්‍රි, සංජීව දිසානායක, සුනෙත් ශාන්තප්‍රිය, නිමල් යටවැල්ල ඇතුළු ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වීමට නියමිත බවත් ශාන්ත පීරිස් සංගීත නිර්මාණයෙන්, ස්විනීතා පෙරේරා ඇදුම් නිර්මාණයෙන් මේ සඳහා දායක වීමට නියමිත බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.


‘සිංහල සිනමාව සහ මම’ ග්‍රන්ථයේ දෙවැනි මුද්‍රණය එළිදකී

ප්‍රවීණ සිනමාවේදී සනත් ගුණතිලක විසින් සිංහල සිනමාවේ වර්තමාන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව විමර්ශනාත්මකව විශ්ලේෂණය කර රචනා කරන ලද ‘සිංහල සිනමාව සහ මම’ කෘතියේ දෙවැනි මුද්‍රණය අද ( 17 ) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව ෆාස්ට් පබ්ලිෂින් සුරස ප්‍රදර්ශන කුටියේ දී එළිදකී. සිංහල සිනමා කමිටු වාර්තාවන් රැසක තොරතුරු පිළිබඳ මෙතෙක් හෙළි නොවූ කරුණු රාශියක් අන්තර්ගත මෙම ග්‍රන්ථය සිනමාව පිළිබඳ හදාරන විද්‍යාර්ථීන්ට මෙන්ම පර්යේෂකයන්ට ද එකසේ වැදගත් කෘතියකි.


ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ ඡායාරූප ප්‍රදර්ශනය අද කොළඹදී

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය වාර්ෂිකව පවත්වන ඡායාරූප ප්‍රදර්ශනය 18 වැනි වරටත් ජාත්‍යන්තර තලයේ ප්‍රදර්ශනයක් ලෙස පසුගිය 15 වැනිදා කොළඹ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේදී ප්‍රවීණ සංගීතවේදිනී නන්දා මාලිනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා ප්‍රදර්ශනයට විවෘත විය. එය අද ( 17 ) දක්වා මහජනයාට නොමිලයේ නැරඹිය හැකිය. ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනයේ නිර්ණායකයන්ට අනුව සංවිධානය කෙරෙන මෙම ප්‍රදර්ශනය සඳහා ලෝකය පුරා විසිරී සිටින ඡායාරූප ශිල්පීන් සැලකිය යුතු පිරිසක් සිය නිර්මාණ ඉදිරිපත් කරමින් ඊට දායක වී ඇත.

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය 1950 වර්‍ෂයේ දී ආරම්භ කරන ලද දේශීය ස්වේච්ඡා සංවිධානයකි. ශ්‍රී ලංකාව තුළ ඡායාරූප ශිල්පය අධ්‍යාපනික විෂයයක්,කලාත්මක මාධ්‍යයක් සහ වෘත්තියක් ලෙස ප්‍රචලිත කිරීම අරමුණු කොටගෙන පිහිටුවන ලද මෙම සංවිධානය දේශයේ දූ දරුවන් වෙත ඡායාරූප ශිල්ප දැනුම බෙදා දීම උදෙසා 1961 වර්‍ෂයේ සිට මේ දක්වා අඛණ්ඩව විධිමත් අධ්‍යාපනික පාඨමාලාවන් නොමිලයේ පවත්වාගෙන යන අතර ප්‍රායෝගික වැඩමුළු, සම්මන්ත්‍රණ,චාරිකා, ඡායාරූප ප්‍රදර්ශන ආදිය ද එම වැඩ සටහන යටතේ පැවැත් වේ. රජයේ අනුමත පුණ්‍යායතනයක් සහ සංස්ථාපිත ආයතනයක් වන සංගමය ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනයේ ශ්‍රී ලාංකීය නිල නියෝජිත වශයෙන් ද කටයුතු කරයි.


සිනමාවේ දේශපාලනය කතිකාව 19දා

ජාතික චිත්‍රපට සංස්ථා සභාපති සිනේන්ද්‍ර සේනාරත්න මහතාගේ උපදේශකත්වය යටතේ සංස්ථා සිනමා සංස්කෘතික අංශය සංවිධානය කරන සිනමා කතිකාව වැඩසටහන් පෙළ යටතේ 'සිනමාවේ දේශපාලනය ' පිළිබඳව කෙරෙන කතිකාව මේ මස 19දින ප.ව3.00ට ශ්‍රි ලංකා ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදි චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි, සිනමා විචාරක ගාමිණී වේරගම, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 

Comments