සමීප රූප | Page 3 | සිළුමිණ

සමීප රූප

ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතරට සෙල්ලම් කරන දඟකාර පුංචි ළමයින්ගෙ සමීපරූපයක් එකතු වෙනවා. ඒ ගොල්ලො සිංදුවක් කියමිනුයි නටන්නෙ. අහල පුරුදු අපි ආස කරපු සින්දුවක්. දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ - හායි හායි ආපි ඔන්න සෙල්ලම් කාලේ... මතකයිනේ සින්දුව? ඉන්ද්‍රචාපට ඒ සින්දුවත් එක්ක මතක් වෙච්ච දෙයක් තමයි සින්දුවක් නෙවි. ඒත් මේ දවස්වල පේන, කියවන දෙයක් සාහිත්‍ය උත්සව සාහිත්‍ය සම්මාන ප්‍රතිඵල දකින කොට කියවන කොට මතක් වෙන්නෙ.

හායි හායි ආපි ඔන්න සම්මාන කාලෙ වගෙ සිංදු කෑල්ලක්. සම්මාන ප්‍රතිඵල සමීප රූප ඇ‍ඳෙනවා රජත පුස්තකේ ඉඳලා. කෙටි කතා කවි මුලින් ම, ඊට පස්සෙ පහුගිය සතියෙ ඉවුර වුණු සම්මාන රාත්‍රිය, රාජ්‍ය සාහිත්‍ය සම්මාන. එතෙන්දි ආපහු නවකතා, කෙටිකතා, කවි ප්‍රතිඵල. ඉන්ද්‍රචාපට වගේ ම 2016 කවි කෙටිකතා නව කතා ලියපු බොහෝ දෙනාට අදහගන්න බැරි ප්‍රතිඵල සමීප රූපෙ ඇ‍ෙඳන්නෙ. නවකතා ප්‍රතිඵල බැලුව ම මුලින් ම අමුතු රූප ඉන්ද්‍රචාප දකිනවා. Fairway සම්මාන උලෙළෙ කෙටි ලැයිස්තුවෙ පේනවා නවකතාවක්. පණ්ඩක පුත්‍ර වස්තුව. ඉන්ද්‍රචාප බැලුව ඒක වෙන මොන සම්මාන උලෙළකද තියෙන්නෙ කියලා. කෝ නිර්දේශ වෙච්ච ලැයිස්තු කීපයක ම නෑ නේ.

ස්වර්ණ පුස්තකේ, රාජ්‍ය සාහිත්‍ය නිර්දේශ වෙච්ච නවකතාවල පණ්ඩක පුත්‍ර වස්තුව පේන්න තිබුණෙ නෑ. නවකතා ගැනමයි මේ සමීප රූපෙ. ස්වර්ණ පුස්තක සම්මානෙ, පළවෙනි වතාවට දීපු 750,000.00 ක මුදල් තෑග්ගට හිමිකම් කියන්නෙ නිශ්ශංක විජේමාන්නගෙ හඳ පාළුව තනිතරුව නව කතාව. සම්මානවලට පොත් තේරීමෙ පුදුමෙ කියන්නෙ, හඳ පළුව තනි තරුව රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රතිඵල අතරවත්, ගොඩගේ ෂෝට් ලිස්ට් එකට වත් ආවෙ නැත්තෙ කොහොමද කියන එක? නිර්දේශයක්වත් නොලැබෙන පොතක් ස්වර්ණ පුස්තයක් වෙනවා. ඉන්ද්‍රචාප කියන්නෙ සම්මානවල හැටි ඔහොම තමයි කියල මෙන්න මේ වගේ දේ නිසා. රසයභින්න රුචිකයි. ගිය අවුරුද්දෙ ගොඩගේ අත්පිටපත් තරගයෙ හොඳ ම පිටපත දූල්වල අලංකාරෙ, අවසාන නවකතා අතරටත් එන්නෙ ඒ සම්මාන උලෙළෙම. නවකතා ගැන සමීප රූපෙ ඇ‍ඳෙන මේ වගේ පින්තූර එක්ක, කවි, ප්‍රතිඵල දෙකක ම සමීප රූප ඇ‍ෙඳනවා නිර්දේශවෙච්ච ප්‍රතිඵලයකුත් එක්ක. කවිපොත අනුරාධා නිල්මිණිගෙ මඳහසක මැදියම. මඳහසක මැදියම පළමුවතාවට පවත්වපු රජත පුස්තක කවි කෙටිකතා සම්මාන උලෙළෙ හොඳම කාව්‍ය සංග්‍රහ හතර අතරට නිර්දේශ වෙලා සම්මාන ලබන පින්තූරෙ සමීප රූපයට එකතු වෙනවා.

ඒ එක්කම ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උලෙළෙ ප්‍රශස්තත ම පද්‍ය කාව්‍ය සංග්‍රහ අතරත් මඳහසක මැදියම තියෙනවා. මේ වෙනකොට ඒ කියන්නෙ 17 ඉරිදා වෙන‍කොට ගොඩගේ සම්මාන උලෙළෙ හොඳ ම කවිපොත මොකක්ද කියල ප්‍රකාශවෙලා ඇති. ඒත් සම්මාන හරි විනිශ්චය මණ්ඩල තීරණ පිළිබඳ පුදුමෙනුත් පුදුම ප්‍රතිඵලය තමයි අවසන් වෙච්ච රාජ්‍ය සාහිත්‍ය උලෙළ නිර්දිෂ්ට කවිපොත්, අවසාන වටය නියෝජනය කළ කවි පොත් පහළොවෙත් නැත්නම් දහසයක් අතරටවත් අනුරාධා නිල්මිණිගෙ මඳහසක මැදියම සමීපරූපයක් නොපෙනෙන එක. ඉන්ද්‍රචාප සම්මාන නම් ඔහොම තමයි ඉතිං කියල මුලින් ම කිව්වෙ ම් වගේ ප්‍රතිඵල දැක්කට පස්සෙයි.

ඉන්ද්‍රචාප අනුරසිරිගෙයි, අනුරාධගෙයි සමීප රූපත්, පණ්ඩක පුත්‍ර වස්තුවත් මඳහසක මැදියමක් අතර අතරමංවෙලා මොහොතකට. රසය මොනතරම් භින්න රුචික වුණත්, මේ වගේ විසාල වෙනස්කමක්, වෙන්න පුළුවන්ද? නිශ්ශංක විජේමාන්නගේ හඳ පළුව තනිතරුවක් ඉන්ද්‍රචාපගෙ සමීප රූප අතර. රාජ්‍ය සාහිත්‍ය නවකතා අතරවත් ගොඩගේ සාහිත්‍ය සම්මාන නවකතා අතරවත් හඳපළුව සමීප රූපයක් වෙන්නෙ නෑ, අනුරාධගෙ කවිපොත, අනුරසිරිගෙ නවකතා පොත නිශ්ශංකගෙ හඳ පළුව මේ නිර්මාණ තුන ම ඉන්ද්‍රචාපට කියවන්න ලැබුණ. එක උලෙළක නිර්දේශ වෙන්නත්, ලොකු ම සාහිත්‍ය සම්මානය ලැබෙන්නත් තවත් උලෙළ කීපයක ම නිර්දේශයට වත් නො ඒමත් ගැන මේ නවකතාකාරයො, කිවිඳියො වික්ෂෝප වෙන්න ඕන නෑ කියල ඉන්ද්‍රචාප විශ්වාස කරනවා. නිර්මාණ කෘතියක් කරන්නෙ සම්මානයක් ඔලුවෙ තියාගෙන නම්, එතන විශාල අවුලක් තියෙනව නේද? සම්මාන ලැබීම නොලැබීමට වඩා තමන්ගෙ හිතට තෘප්තිමත් නිර්මාණයක් කිරීමයි වැදගත් කියල ඉන්ද්‍රචාප හිතන්නෙ. ලංකාවේ සාහිත්‍ය සම්මාන උලෙළ ඉතිහාසය පුරා මේ වගේ ගිලිහී යෑම් ‍එහෙමත් නැත්නම් ඇදහිය නොහැකි ප්‍රතිඵල පිළිබඳ ඉන්ද්‍රචාපට අත්දැකීම් තියෙනවා ගොඩක්. සම්මාන ලැබුණා නොලැබුණා කියල හොඳ පොතකට පාඨකයන්ගෙ කැමැත්ත වෙනස් වෙන්නෙ නෑ. පාඨකයො සමහර වෙලාවට ඔය සමීක්ෂක මණ්ඩලවල විනිශ්චයකාරයන්ට විනිශ්චය කාරියන්ට වැඩිය ඉදිරියෙන් ඉන්නෙ. ඒ අය දන්නවා හොඳ නිර්මාණය මොකක් ද නරක නිර්මාණය මොකක් ද කියලා. 

Comments