
ලංකා ගමනා ගමන මණ්ඩලයේ කළ සේවයට අකැමැත්තෙන් වුවද ආයුබෝවන් කියන්නට සිදුවිය. මා සේවය කළ ශාලිකා ශාලාව ව්‍යාපාරික ස්ථානයක් සේ දුටු ඇමැතිවරයාගේ පුත්‍ර රත්නය විසින් මට වහාම බලපවත්වන ලෙසට ස්ථාන මාරුවක් වේරහැර මධ්‍යම වැඩපළට දුන්නේ ය. මේ වන විට වර්ෂය 1986 යේ මුල් භාගයයි. කොන්ද පණ තියෙන අභිමානවත් කලාකරුවකු වශයෙන් මම ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන්නෙමි. අනිල් මුණසිංහ මහතාගේ සභාපතිත්වය යටතේ කළ සේවාවන් අතිමහත් ය.
දැන් මා රැකියා විරහිත විවාහකයෙකි. වේදිකා නාට්‍යවලින් හා ටෙලිනාට්‍යවලින් උපයන මුදලක් හැර වෙනත් ආදායමක් නොවී ය. එහෙත් ලැබෙන දෙයින් තෘප්තිමත්ව සතුටින් ජීවත්වීමට මානසික ශක්තියක් මට තිබුණි. ආදර සම්බන්ධයකින් විවාහය සිදු වුවද එය දෙපාර්ශ්වයේ මවුපියන්ගේ හා ඥාතීන්ගේ ආශිර්වාදයෙන් යුග දිවිය ආරම්භ වූ නිසා කාගේත් සහාය ලද්දේ ය. අපගේ පියා 1962 ඔක්තෝබර් මස 02 වෙනිදා අවුරුදු 59 දී අප හැර ගියේය.
සතිස්චන්ද්‍ර සංස්කෘතික සංසදය නමින් සංවිධානයක් පිහිටුවා නාට්‍ය හා රංග කලාව ඉගෙන ගනිමින්, උගන්වන්න පටන් ගත්තේ තනිව ම නොවේ. සෑම මසක ම පෝය දිනයේදී මෙම පාඨමාලාව නොමිලේ පැවැත්වීමට මට හැකි විය.
දේශන සඳහා ජනප්‍රිය මෙන් ම ප්‍රවීණයන්ගේ සහාය ද ලද්දෙමි. ත්‍රෛයිමාසික සඟරාවක් ‘රන්මුතු’ නමින් ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළෙමි. මා හට සහායට සිටියේ ජේ.ඒ.ඩී. පෙරේරා නම් නාට්‍ය රචකයා ය. මෙම සඟරාව දිගට ම පවත්වාගන යාමට අනුග්‍රාහක දැන්වීම් ලබාගත යුතු ය. අපේ ලොකු මල්ලී නිමල් රංජිත් එදිරිසිංහ සමඟ ගාමිණි දිසානයක ඇමැතිතුමා අමාත්‍යාංශයේ සේවයේ නියුක්ත එතුමාට සමීප අයෙකි.
දිසානායක මැතිතුමා මා කරගෙන යන කලා කටයුතු ගැන විපරම් කළේ ඉතා උනන්දුවෙනි. මා කරන විස්තරය සාවදානව අසා සිටි එතුමා මට මෙසේ කීවේ ය. “සතිස්! ඔය සුළුවෙන් කරගෙන යන කලා කටයුතු මං මහවැලි ජනපදවල කරන්නයි හිතාගෙන ඉන්නෙ. කැමැතිද? අපිත් එක්ක එකතු වෙන්න?” මගේ පිළිතුර වූයේ “සර්! මං මහවැලි ව්‍යාපෘතිය ගැන දන්නේ නැහැ. ටිකක් කල්පනා කරලා බලන්නම්” යන්නයි. එවිට එතුමා යළිත් මට මෙසේ කීවේ ය. “මම සතිස්ට අවශ්‍ය සියලු ම පහසුකම් දෙන්නම්. යන්න සියලු ම කලාපවල ගිහින් බලන්න. මිනිස්සු හමුවන්න.”
කිසිම දේශපාලනඥයකුගේ ගෝලයෙක් වීමට, හෙංචයියෙක් වීමට මා තුළ කැමැත්තක් නොවීය. දේශපාලන පක්ෂය කුමක් වුවත් ඔවුන් සමඟ මහජන සේවය සඳහා කැපවීමට අදත් කැමැත්තෙමි.
තියෙන නඟුලෙන් හා ඉන්න හරකාගෙන් කුඹුර හා ගෙන බිත්තර වී ටික වගා කරන්නේ නැතිව බත් කන්නට බැරි බව මම දනිමි. තරුණ තරුණියන්ට නිකම්ම කලා විෂයන් උගන්වා කිසි පලක් නොවන බව මම තරයේ වටහාගෙන ද සිටියෙමි. මනස සංවර්ධනය නොකොට ජීවිත දැනුම ලබා නොදී විෂය දැනුම දුන්නාට පිරිපුන් කලාකරුවකු බිහි කරන්නට නොහැක. සතර සවිය යනු කුමක්දැයි වටහා දී නෙළුමක් ලෙසින් පිරිසුදුව සමාජය නමැති පොකුණේ විකසිත වීමට ඉගැන්විය යුතු ය.
මට සියලු ම පහසුකම් ලැබුණි. සප්ත කලාපවලට සංචාර කළෙමි. තත්වය අවබෝධ කර ගත්තෙමි. ව්‍යාපෘති වාර්තාව සැකසීමට අවශ්‍ය පසුබිම තරයේ අධ්‍යයනය කළෙමි. පසුදිනක ගාමිණි දිසානායක මැතිතුමා හමුවීමට ගියෙමි. එතුමා සුහද ශීලීව සිනාමුසු මුහුණින් යුතුව එක්වරම “කොහොමද මහවැලිය?” “ඔක්කොම හොඳයි. එකක් අඩුයි” “මොකක්ද?” “සර් කලාපවල ගමනාගමන පහසුකම් මදි!” එවිට එතුමා තරමක් වෙනස් හඬකින් “ඒවා මන්ත්‍රීලාගේ වැඩ” යනුවෙන් කීවේ ය. ඒ ප්‍රකාශ කළ විලාසය අනුව මම නිහඬ වූයෙමි. ඒ මොහොතේදී එතුමා මගෙන් ඊට හේතුව කුමක්දැයි විමසුවා නම් මගේ අදහස් මහවැලි කලාපවල මිනිසුන්ට ප්‍රයෝජනවත් වෙනවා නිසැකය. අද ලංකාවේ මහවැලි කලාපවල පමණක් නොව මුළු රටේ ම ඇත්තේ දුක්ඛදායක ප්‍රවාහන සේවයකි.
හෙළ සිනමාවේ ස්වර්ණමය යුගය ඩී.බී. නිහාල්සිංහ යුගයයි. ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සේවයේ ස්වර්ණමය යුගය අනිල් මුණසිංහ යුගය යි. මහවැලියේ ස්වර්ණමය යුගය ගාමිණි දිසානායක යුගයයි.
1986 මැයි මස 1 වැනි දින සිට මහවැලි කේන්ද්‍රයේ මාධ්‍ය උපදේශක වරයෙක් ලෙසින් මට අස්ථිර පත්වීමක් ලැබිණ.
පළමු අවුරුදු දෙකේදී මා කළ සේවය නිසා ම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි ආර්ථික ඒජන්සියේ සංස්කෘතික කටයුතු පිළිබඳ කළමනාකාරධුරය ස්ථිර වශයෙන් ම ලද්දෙමි. 1988 පෙබරවාරි මසදී තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ප්‍රථම ආසියානු ජන කලා උලෙළට ශ්‍රී ලංකාව නියෝජනය කළ නර්තන කණ්ඩායම සැදුම් ලද්දේ සාම නර්තන ශිල්පීන් සමඟ සප්ත කලාපීය මහවැලි සංස්කෘතික බළකායේ ශිල්පීන් හා ශිල්පිනියන් අට දෙනෙක් සමඟිනි. එම කණ්ඩායමේ කළමනාකාර ධුරය හොබවන ලද්දේ ම විසිනි. එම කණ්ඩායමට මුදියන්සේ දිසානායක සහ රවිබන්දු විද්‍යාපති ද ඇතුළත් විය.
එවකට මහවැලිය බෙදා තිබුණේ කලාප හතකට ය. මේ වන විට කලාප දහයකි. කලාප හතෙන් ම තෝරා ගත් සුවිශේෂි දක්ෂකම් දැක්වූ ගොවි දරු දැරියන් 105 ක පිරිසකට සංගීත අංශයෙන් ගායනය, වාදනය, නැටුම් කලාව හා බෙරවාදනය මෙන් ම නාට්‍ය හා රංග කලාව ප්‍රගුණ කිරීමට අවශ්‍ය පරිසරය විවිධ බාධක මැද ඉටු කළෙමි.
මහවැලි නවක අංකුර ශිල්පීන් හා ශිල්පිනියන්ට මා ඉගැන්වූයේ ඉගෙන ගන්නා හැටිය යි. හැකිතරම් දේශන පවත්වමින් මා ඔවුනට ජීවිත දහම ලබා දුන්නෙමි. යහපත් දැක්මක් යටතේ ගොවි දරුවන්ගේ ආකල්ප වර්ධනය කොට සාරධර්ම වලින් පිරුණ පිරිසක් බිහිකොට යහපත් විනිශ්චය කුමක් දැයි කියා දුන්නෙමි. ඒ නිසාම ඔවුන් විනය ගරුක පිරිසක් විය. වසර 12 ක් අඛණ්ඩව ම විසින් පෝෂණය කළ ගොවි දරු දැරියන්ට කොළඹින් කැඳවාගෙන ගිය සෝමවීර සේනානායක, ෂෙල්ටන් ප්‍රේමරත්න, ධර්මසිරි ගමගේ, පිටිගල ජයසේන, අතුල සෝමසිරි, එම්.වී. හේමපාල, පී.ඒ.ඩී. ප්‍රේමදාස. හෙන්රි ජයකොඩි, රමණි ෆොන්සේකා, ඩෙරික් ද සිල්වා, රවිබන්දු විද්‍යාපති, ජැක්සන් ඇන්තනි, ප්‍රේමකුමාර එපිටවල සහ තවත් බොහෝ ප්‍රවීණයන්, සංගීත වේදීන්, සාහිත්‍යකරුවන් හා විද්වතුන්ගේ දැනුම් ද නොඅඩුව ලබා දුන්නේ ය. සප්ත කලාපී සංස්කෘතික බළකායේ නිරන්තර සංගීත ගුරුවරයා වූයේ රජිත් ගාමිණි විජේසේකර ය. ඔහුගේ පළමුවැනි වෘත්තිය එය විය. අද ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංගීත අංශ ප්‍රධානියා ය.
මාධ්‍යවේදී සුජීව දිසානායක කැලණියේ අයෙකි. ඔහුගේ සොයුරා වූ කෝලිත භානු දිසානායක සංගීතය හදාරා ලංකාවට පැමිණි වහාම ඔහුට උපකාර ලබා ගැනීමට කැඳවාගෙන ආවේ මා ළඟටය.
ඔහුගේ සංගීත නිර්මාණ කුසලතාවන්ගෙන් මුලින් ම ප්‍රයෝජනය ලබාගැනීමට මට හැකි විය. අද එතුමා සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සංගීත අංශයේ පීඨාධිපතිතුමාය. මහවැලි ක්‍රීඩා ගීතය රචනා කිරීමට ම විසින් පැවරුවේ සුනිල් සරත් පෙරේරා මහතාටය.
එදා එය ගායනා කළේ අමරසිරි පීරිස් ගායන වේදියා ය. රෝහණ වීරසිංහයන්ගේ සේවය ද වරින් වර ලබා ගත්තෙමි. නර්තන ඇඳුම් නිර්මාණයන් ලබාගත්තේ නර්තන වේදිනි රැජින සෙල්වනායගම් මහත්මියගෙනි.
සප්ත කලාපීය මහවැලි සංස්කෘතික බළකායෙන් බිහිවූ විදුහල්පතිවරයෙක්, ගුරු උපදේශකවරුන් හා සෞන්දර්ය විෂයන් පිළිබඳ ගුරු භවතුන් රාශියක් ජනතා සේවයෙහි නිරතව සිටිති. ඒ අතර ගායක ගායිකාවන් රංගන ශිල්පීන් හා සම්මානලාභී අංග රචනා ශිල්පි ප්‍රියන්ත වන්නිනායක, ජනප්‍රිය රංගන ශිල්පිනී ආශා එදිරිසිංහ, සෙනෙවිරත්න වන්නිනායක, නිමල් පද්මකුමාර (මානව සම්පත් කළමනාකාර) නිමල් පෙරේරා යන අය සඳහන් කළ හැකි ය.
මෙම බළකාය ගොඩනැඟීමට අමිත්ත වීරසිංහ, අනුර වරාගොඩ සහ බන්දුල ඇල්පිටිය ආරච්චි යන කලාකරුවන් උපකාර කළේය. මම කිසි දිනක රැකියාවක් කළේ නැත. මා කරන ලද්දේ සේවයකි. එම සේවය දැනීමෙන්, හැඟීමෙන්, වගකීමෙන් හා කැපවීමෙන් කළ යුතුය. මම එය කළෙමි.
ලබන සතියට