ශකුවි ගේ ගීයක් දිවු­ල්ග­නේගේ හඬින් | Page 2 | සිළුමිණ

ශකුවි ගේ ගීයක් දිවු­ල්ග­නේගේ හඬින්

ශකුවි (ශාන්ත කුමාර විතාන) ලියූ නවතම ගීතය 'කඳුළු අහවර වී' ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ විසින් පසුගියදා ගායනය කරනු ලැබිණි. ආචාර්ය රෝහණ වීරසිංහ මෙහි තනුව සහ සංගීතය නිර්මාණය කර ඇත. ප්‍රථම ප්‍රේමය වේවා,නොඑසේනම් අතර මැදි ප්‍රේමයක් වේවා අන් සරණක ගිය ප්‍රේමවන්තිය අහම්බෙන් හමුවීම - පෙරසේම සිනාසීම සහ සංවේදී සිතක කැළඹුම නිරූපණය කරන මෙම ගීතය ඔවුහු යළි හමුවේදැයි යන ප්‍රශ්නාර්ථයකින් කෙළවර වේ.

මීට දශක දෙකකට පෙර ගායක සමන් පතිරණට පාරමී පුරන්නේ නෑ ගීතය ලියමින් ගීත රචනයට පිවිසි ශාන්ත කුමාර විතාන ලියූ ලක්ෂ්මන් හේවාවිතාරණ ගැයූ මල් කැකුළකට ආදරය කියන්න සහ විශාරද දීපිකා ප්‍රියදර්ශනී ගැයු ආයුබෝවන් පෙම්බරාණෙනි ගී අතිශයින්ම ජනප්‍රියත්වයට පත් විය. ඒ හැරුණුවිට විශාරද නන්දා මාලිනී ගයන මුතු අහුරක් විහිදෙව්වා වාගේ, විශාරද නෙලූ අධිකාරි ගැයූ හන්තානේ කඳු මුදුන වගෙයි ඔබ, සමන් ජයනාත් ජිනදාස ගැයූ යහන පාළුයි, කීර්ති පැස්කුවල් ගැයූ තරු පොකුරු වලින් මග සලකුණු, රෝහන් ශාන්ත බුලේගොඩ ගැයූ මල්

උයනයි ඔබ, විශාරද එඩ්වඩ් ජයකොඩි ගැයූ රතු පාට වූ හිරු, ජගත් වික්‍රමසිංහ ගැයූ මනරම් අති මනරම් ඇතුළු ගීත සියයකට වැඩි ගණනක් ශකුවි අතින් රචනාවී ඇත.

ඔහුගේ ගී පද මාලා වැඩිම ගණනක් ගැයූ ගායකයා ලක්ෂ්මන් හේවාවිතාරණ ය. පෙම්වතා මම, අපි අපේ වී ඉපදෙමුද ආයෙත්. අනුරාග තරු රෑන. හදේ ගැඹුරුම තැන රැඳී. රතු රෝස මල් රූපයක් ඔහු ගැයූ ශකුවිගේ ගීතයි.

කරුණාරත්න දිවුල්ගනේ ගැයූ කඳුළු අහවර වී ගීතය යූ ටියුබ් ඔස්සේ ද සවන් දිය හැකිය. මේ එහි පද වැලයි.

 

කඳුළු අහවර වී දෙනෙත්වල

තිබුණු පෙර වියැළී

සෙනේසිත කැළඹී සුසුම්වැල්

පාව යන නික්මී

ඔබේ ළඟ නැවතී

මගේ නෙත් මානෙන් වෙන්ව ඔබ

සරණ ගිය දවසේ

හඬා අවසන් වී තැවුල් සිත

හදා ගත් දුකසේ

යළිත් ඔබ හමු වී සිනා වී

සයුර සේ වැළපේ //

නැවත ඔබ වෙන් වී දුරස් වී

දුරක යන මොහොතේ

වසත් කල ළංවී තුරුළු වූ

මතක හද තෙරපේ

යළිත් කවදා හෝ අපේ ඇස්

හමුවේද දිගැසී // 

Comments