වි දෙ ස් චි ත්‍ර­ ප ­ට ය | සිළුමිණ

වි දෙ ස් චි ත්‍ර­ ප ­ට ය

බොලිවුඩයේ මුන්නා බායි හෙවත් සංජේ දත් සිරගත දිවියට සදහට ම ආයුබෝවන් කියා අවසන් ය. ඔහු තෙවසරකට පසු යළි බොලිවුඩයට පිවිස ඇත.

පියකු හා දියණියක අතර පවතින සදාතනික ළබැඳියාව ‘භූමි’ (Bhoomi) පවතින සදාතනික ළබැඳියාව ‘භූමි’ සිනමා නිර්මාණයේ සිත්තම් කරමින් සංජේ සිනමාවේ දෙවැනි ගමන අරඹන්නේ දිගු නිහැඬියාවකට පසුවය.

සංජේ දත් අරුන් / බබා ලෙසත් අදිති රාඕ හයිදාරී ‘භූමි’ දියණිය ලෙසත් මෙහි ප්‍රධාන භූමිකා නිරූපණය කරති. ඔහුට පළමු විවාහයෙන් හා වර්තමාන විවාහයෙන් ද දියණිවරු සිටිති. ත්‍රිශාලා වැඩිමල් දියණියක වන අතර ‘භූමි’ සිනමා ට්‍රේලරය නිකුත් කෙරුණේ ඇයගේ උපන් දිනය යෙදී තිබුණු අගෝස්තු 10 වැනි දිනටය. දියණිය හදිසියේ සතුටට හා පුදුමයට පත් කිරීමට වර්තමාන බිරිය මාන්යාතා සේම සිනමා පටයේ අධ්‍යක්ෂ ඕමන්ග් කුමාර් ද ඊට සහාය විය මුලින් ම ට්‍රේලරය නිකුත් කිරීමට නියමිතව තිබුණේ සංජේ දත්ගේ පනස් අටවැනි උපන් දිනය යෙදී තිබුණු ජූලි 29 වැනි දිනටය. එහෙත් සැබෑ ජීවිතයේත් දියණියක හා බැඳී පියකුගේ සෙනෙහස කුළු ගන්වමින් ඔහු ත්‍රිශාලා දියණියගේ උපන් දිනය වෙනුවෙන් ට්‍රේලරය නිකුත් කරන දිනය කැප කළේය. ට්‍රේලරය නිකුත් කර පැය 24 කදී මිලියන 8 කට වැඩි පිරිසක් එය නරඹා තිබේ.

‘භූමි’, ‘මේරි කොම්’, ‘සර්බිජිත්’ සත්‍ය චරිත ඇසුරින් නිර්මාණය වුණු සිනමා පට ද්විත්වය අධ්‍යක්ෂණය කළේ ද ඕමන්ග් කුමාර් අධ්‍යක්ෂවරයාය. මෙය දෛවය විසින් දෙතැනකට වෙන් කරන ලද පියකුගේ හා දියණියකගේ කතාවයි. ඕනෑම පියකු මෙන්ම අරුන් ද සිය දියණියට ලොව හොඳ ම සැමියා සොයා දීමේ සිහිනයේ ජීවත් විය. දියණියගේ සොඳුරු මංගල දිනය වෙනුවට අවසානයේදී ඔහුට සිය පුංචි පවුලේ සතුට ද අහිමි විය. පියකුගේ හා දියණියකගේ ඉරණම අවාසනාවන්ත ලෙස ලියන්නේ දෝලි (සාරද් කෙල්කර්) නම් පුද්ගලයා විසිනි. ඔහුගෙන් අරූන්ගේ දියණිය භූමි ලිංගික අඩන්තේට්ටම්වලට ලක්විය. දියණියගේ ජීවිතය විනාශ කළ පාපතරයාට එරෙහිව ඔහු නැඟී සිටින්නේ සමාජයෙන් දියණිය ගේ චරිතයට එල්ලවන අභියෝග වලට ද මුහුණ දෙමිනි.

සිනමා පටයේ පිටපත රාජ් ෂාන් දිල්යා විසින් රචනා කර තිබේ. මුල දී රාජ් ගැන විශ්වාසයක් සංජේට නොතිබුණු නමුත් ඔහු පිටපත ‍කියවූ පසු සංජේ දෑස් කඳුළින් තෙත් කරගෙන ඔහුව වැලඳ ගෙන තිබේ.

2014 වසරේ පීකේ සිනමා පටයට පසු සංජේ දත්ව ප්‍රේක්ෂකයන්ට දක්නට ලැබෙන්නේ ‘භූමි’ සිනමා පටයෙනි. සිනමා පටයේ සියයට හතළිහක් පමණ නැවත නැවතත් අධ්‍යක්ෂවරයා විසින් රූගත කර ඇත්තේ ප්‍රේක්ෂකයන්ට එහි ප්‍රචණ්ඩත්වය හා අඳුරු බව වැඩි යැයි හැඟුණ නිසාය.

සංජේගේ උපන් දිනය දා ට්‍රේලරය නිකුත් නොකෙරුණ ද සිනමාපටයේ පෝස්ටරය එදින නිකුත් කෙරිණි. මෙය 2012 ලියම් නීසන්ගේ ‘ද ග්‍රේ’ සිනමා පටයේ පෝස්ටර් නිර්මාණය මංකොල්ල කෑමක් බවට ද රාවයක් පැවතිණි. ‘ද ග්‍රේ’ පමණක් නොව ලොගන්, ෆ්‍රී ස්ටේට් ඔෆ් ජෝන්ස්, ගේම් ඔෆ් ත්‍රෝන්ස්, සිනමා පෝස්ටරය ද මීට සමාන මුහුණුවරක් ගනී. ‘භූමි’ පෝස්ටරයට වැඩිපුර ම චෝදනා එල්ල කළේ දත් සමඟ ‘දස්’, ‘තතාස්තු’, ‘රාවන්’ සිනමා පටවල එකට වැඩ කළ අධ්‍යක්ෂ අනිභව් සිංහය.

‘භූමි’ සිනමා පටය තිරගත වන දිනයේදී තවත් සහෝදර නිර්මාණ ශිල්පියකුගේ නිර්මාණයක් දොරට වඩිනු දැකීමට සංජේ ඇකැමැති වූ නිසා මුලින් මෙය තිරගත කිරීමට නියමිතව තිබුණේ අගෝස්තු 4 වැනි දිනටය. එහෙත් දැන් එය සැප්තැම්බර් 22 වැනි දින තිරගත කෙරෙන්නේ ශ්‍රද්ධා කපූර්ගේ ‘හසීනා පාකර්’ තිරගත කෙරෙන දිනයේදීමය.

සංජේ දත් හා අදිති රාඕ හිදාරී රිදී තිරයේදී ප්‍රධාන තරු යුවළ ලෙස හමුවන්නේ ප්‍රථම වරටය. තිස් හැවිරිදි අදිති ‘භූමි’ චරිතය රංගන ජීවිතයට ලැබුණු ආශිර්වාදයක් ලෙස සලකති. වැසුණු තැන්වල සිටීමට බියක් දක්වන (ක්ලොස්ට්‍රොෆෝබියා) සුරූපී අදිති ‘භූමි’ චරිතය වෙනුවෙන් සමහර ක්‍රියාදාම සහ ජල දර්ශනවලට පෙනී සිටියේ භූමිකාවට ඇති කැමැත්ත නිසාමය. අදිතිගේ චරිතයට මුලින් ම තෝරාගෙන තිබුණේ ආලියා බාත්ය.

‘භූමි’ නමට ද අදිති කැමැතිය. භූමි යනු පෘථිවියට නමකි. දියණියක පවුලට, පියාට මිහිතලය වැනි බව ඇය පවසන්නීය. අදිති මෙන්ම සිධාන්ත් ගුප්තා (නීරජ්) ද සංජේ දත්ගේ නොමඳ ප්‍රශංසාවට පාත්‍ර විය.

සිනමා පටයේ ‘විල් යූ මැරී මී’ ගීතය රූගත කිරීමෙන් පසු සංජේ දත් දුරකථනයෙන් ඔහුට මිනිත්තු 10 ක් පමණ කතා කර සුබ පතා රෑ කෑමකට ද ආරාධනා කර තිබේ. නවකයකුට මෙතරම් ශක්තියක් තවත් නැති බව ඔහු පවසන්නේය.

භූමි සිනමා පටයේ පූරු චිබර්, වීර් ආර්යන්, විභා චිබර්, ශේකර් සුමන් සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරති. මෙහි සනි ලියෝන්ගේ ‘ට්‍රිප්පි ට්‍රිප්පි’ ගීත අංකයක් ද (අයිටම් නම්බර්) ඇතුළත්ය. විභා හා පූරු සොයුරන්ය.

සිනමා පටයේ සංගීතය සචින් - ජිගර්, ඉස්මයිල් දර්බර් ගෙනි. ප්‍රියා සාරයියා සහ වායු ගීත රචනයෙන් ද, පසුබිම් සංගීතයෙන් ඉස්මයිල් දර්බර් ද දායක වී තිබේ. ගීත හතක් සිනමා පටයට අඩංගුය.

සිනමා පටයේ සංජේ දත්ගේ තවත් අපූරු හැකියාවක් ප්‍රේක්ෂකයන්ට හඳුනා ගැනීමට ලැබේ. ඒ ඔහුගේ ගායන කුසලතාවයි. 

Comments