බට­හිර අහස වර්ණ­වත් කළ සරුං­ගල් සැණ‍ෙ­ක­ළිය | Page 3 | සිළුමිණ

බට­හිර අහස වර්ණ­වත් කළ සරුං­ගල් සැණ‍ෙ­ක­ළිය

'දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ ආව් ආව් ආපි ඔන්න සෙල්ලම් කාලේ'

මේ පාසල් නිවාඩු කාලයක් එනවිට පාසල් යන වයසේ පුංචි දරුවන්ගේ මුවගට නැගෙන ගීතයකි.අගෝස්තු, සැප්තැම්බර් මාසවල යෙදෙන පාසල් නිවාඩු කාලය එනතෙක් පුංචි දරුවන් ඇඟිලි ගනිමින් සිටින්නේ සරුංගල් උඩයවමින් විනෝද වීමටයි. සරුංගල් ගැන කතා බහ කරමින් මෙම සටහන ආරම්භ කරන්නේ පසුගිය තුන්වැනිදා ගම්පහ දී පැවැත්වුණු අපූරු සරුංගල් තරගාවලියක් පිළිබඳව කියන්නටයි.

දින කිහිපයක් පුරා වැසිබර කාලගුණයක් පැවතුණු නමුත් මෙදින සවස් භාගය හිරු රැස් වැටී අහස පැහැබර වූයේ පුංචි දරුවන්ගේ මෙන්ම වැඩිහිටි සැමගේම සිත් වලට සැනසිල්ලක් උදාකර දෙමින්. මෙදින ගම්පහ අවට පමණක් නොව දිවයිනේ නන්දෙසින් සරුංගල් යැවීමට මෙන්ම සරුංගල් නැරඹීමට උනන්දුවක් දක්වන දහස් ගණනක් ජනතාව ගම්පහ නගරයට එක් රොක් වි සිටි අතර , සවස වනවිට ගම්පහ නගරයේ ඉහළ අහස විවිධ ප්‍රමාණයේ , විවිධ හැඩයේ, විවිධ වර්ණයේ සරුංගල් වලින් පිරී තිබෙනු දක්නට ලැබුණි. සාමාන්‍යයෙන් ගම්පහ නගරයේ ගුවන්පාලම අවසන්වී ආරම්භ වන නව මිනුවන්ගොඩ පාර බොහෝ පිරිසක් විවේකීව ගත කරන ස්ථානයක් වන අතර අගෝස්තු මාසයේ සරුංගල් යවන පිරිසට හොඳ තෝතැන්නකි.මෙදින මෙම ස්ථානය එකම හිස් ගොඩක් බවට පත්ව ඇත්තේ සරුංගල් තරගාවලියට පැමිණි තරග කරුවන්ගෙන් මෙන්ම එය නැරඹීමට පැමිණි පිරිසගෙනි.

J C I සංවිධානයේ ගම්පහ පර්ෂදය මෙහෙයවූ මෙම සරුංගල් තරගාවලිය මෙවර පැවැත්වූයේ 9 වැනි වරටවීම විශේෂත්වයක්. මෙය 2009 වසරේ මුලින්ම ආරම්භ කෙරෙන්නේ රට අභ්‍යන්තරයේ පැවැත්වූ පළමු සරුංගල් තරගාවලිය බවට පත්වෙමින්. එසේම මෙම සරුංගල් තරගාවලිය අපේ රටේ රට අභ්‍යන්තරයේ පැවැත්වෙන එකම තරගාවලියද වනවා. 'Peace is possible'යන තේමාව මූලික කරගනිමින් වයස අවුරුදු 15 න් පහළ සහ විවෘත යන අංශ දෙකක් යටතේ තරගය පැවැත්වුණු අතර ඒ සඳහා සිය ගණනක් ළමා හා වැඩිිහිටි තරග කරුවන් ඉදිරිපත් වී සිටියහ. ඔවුන් අතරින් 15 න් පහළ ළමා අංශයේ පළමු ස්ථානය හිමිකර ගනිමින් රුපියල් 10,000 ක මුදල් ත්‍යාගය නෙත්මල් කවිශ්ක විසින් දිනාගත් අතර දෙවැනි ස්ථානය සදෙව් මිහිසරත්,තුන්වැනි ස්ථානය වුෂාන් ශර්මන් විසිනුත් දිනාගන්නා ලදී.විවෘත අංශය යටතේ විවිධ නිර්මාණ සිය ගණනක් අතරින් උකුස්සකුගේ හැඩය ගත් ඉතා අලංකාර සරුංගලයක් නිර්මාණය කළ දිල්හාන් ජලින්ත පළමු ස්ථානය දිනාගනිමින් මුදලින් රුපියල් 30,000 ක් දිනාගත්තේය.එසේම මාළු වැලක හැඩය ගත් සරුංගලයක් නිර්මාණය කළ වයි.පී. මිල්ටන් ප්‍රේමතිලක මුදලින් රුපියල් 20,000 සමඟ දෙවැනි ස්ථානයත්, මකරකුගේ හැඩය ගත් සරුංගලය නිර්මාණය කළ එල්. ජී. එල්. සඳරුවන් විසින් තුන්වැනි ස්ථානය සමඟ මුදලින් රුපියල් 15,000 ක් දිනාගන්නා ලදී.එසේම මෙම අංශ දෙක යටතේම සැනසිලි තෑගි 3 බැගින්ද පිරිනැමිණි.

J C I සංවිධානයේ ගම්පහ පර්ෂදයේ නියමුවා වන J C අරුණ ද සිල්වා ගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම සරුංගල් තරගාවලියේ ව්‍යාපෘති සභාපතිවරයා වූයේ J C පුබුදු රණසුන්දරයි.ව්‍යාපෘති ලේකම් ලෙස J C සවින්ද්‍යා සීනිගම සමඟ ගම්පහ පර්ෂදයේ සාමාජික සාමාජිකාවන් සියලුම දෙනා සහයෝගය දැක්වූ අතර මෙය සාර්ථක කරගැනීමට ගම්පහ නගර සභාව, ගම්පහ පොලීසිය ද සහාය දැක්වීය.

සරුංගල් තරගාවලිය අවසානයේ D J නලීන්ගේ මියුරු සංගීතයට රැස්ව සිටි දහස් ගණනක් තරුණ තරුණියන්ට නටමින් විනෝද වීම සඳහා ද අවස්ථාව උදාවිය. 

Comments