පෙර­දිග සංගී­තය පිළි­බද හසල දැනු­මැති ආචාර්ය ප්‍රේම­දාස මුදු­න්කො­ටුව | Page 2 | සිළුමිණ

පෙර­දිග සංගී­තය පිළි­බද හසල දැනු­මැති ආචාර්ය ප්‍රේම­දාස මුදු­න්කො­ටුව

නිසල දිය ගැඹුරුය. ගැඹුරුම දේ මතුපිටින් සරලය.නමුදු ඇතුළාන්තය ගැඹුරුය. එතුමන්ද එලෙසමය. ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා වූ කලි කෘතහස්ත

සංගීතාචාර්යවරයෙකි. සම්භාව්‍ය සංගීතඥයෙකි. එතුමන් සංගීතය තම ජීවිතය බවට පත්කරගෙන ආ ගමන් මගේ ගෙවීගිය කාලය දශක හයක් තරම් දිගු කාලයකි. එම ගමනේදී එතුමන් අභිමානවත් පෙරගමන් කරුවකු වූයේ එදා මෙදා තුර බිහිකර ඇති විශාල ගෝල පරම්පරාවකට හිමිකම් කීම නිසාවෙනි. ඒ ගමන් මඟේ ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ ඔහුගේ නාමය රනින් සනිටුහන් වී ඇත්තේය.

ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා1933 ඔක්තෝම්බර් මස 06 වැනි දින උපත ලබා ඇති අතර තව නොබෝ දිනකින් 85 වැනි වියට එළඹෙයි. අවිස්සාවේල්ල කොස්ගම සිය උපන්ගම කරගත් ඒ මහතා කො/ කනම්පැල්ල මහා විද්‍යලයේත්,කො/කොස්ගම සුමේද විද්‍යාලයේත් මූලික අධ්‍යාපනය ලැබුයේය.හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූ මුදුන්කොටුව මහතා සිය 1957 වර්ෂයේ සංගීත උපදේශකවරයකු ලෙස තම සංගීත සේවාව ආරම්භ කළේය.සංගීත ගුරුවරයකු ලෙස සිය අත්දැකීම් මත සංගීතයේ නවමං සෙවීමට එතුමන් උත්සුක විය.

1960 දශකයෙහි එවක රජයේ සංගීත අධ්‍යක්ෂවරයාව සිටි ඩබ්ලිව්.බී .මකුලොලුව මහතාණන්ගේ මඟපෙන්වීම යටතේ රවීන්ද්‍රනාත් තාගෝර් තුමන්ගේ ශාන්ති නිකේතන් විශ්ව භාරතී වීශ්ව විද්‍යාලයට ඇතුළු විය.ගැයුම්.වැයුම් හා නැටුම් පිළිබඳව සිව් අවුරුදු පාඨමාලාව නිමකොට අනතුරුව ලක්නව් හි භාත්ඛණ්ඩයේ සංගීත විද්‍යා පීඨයෙන් සංගීත විශාරද හා වාද්‍ය විශාරද(සිතාර්) යන උපාධි දෙකද සංගීත නිපුන් උපාධියද, අලහබාද් හි ප්‍රවයාග් සංගීත විශ්වවිද්‍යාලයෙන් සංගීත ප්‍රභාකර් හා වාදය ප්‍රභාකර් යන උපාධීන්ද අනතුරුව බරණැස හින්දු විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති හා සංගීත්පති උපාධීන්ද ලබාගත්තේය.පසු කලෙක ශ්‍රී ජයදේවයන්ගේ ගීත ගෝවින්දය අලලා සැකසුණු ‘THE PHILOSOPHY OF THE GITAGOVINDA’නම් පර්යේෂණ නිබන්ධය සඳහා එතුමාට කල්කටාවේ යාදවපූර් විශ්වවිද්‍යාලයෙන් සංගීත විද් හෙවත් ආචාර්ය උපාධිය පිරිනැමිණි.මේසා සුදුසුකම් ලත් සංගීතවේදියෙක් එවක ලංකා සංගීත ක්ෂේත්‍රයෙහි නොසිටි තරම්ය.පුරා පසළොස් වසරක් භාරතීය විද්‍යාස්ථානයන්හි තම හැකියාවන් ප්‍රගුණ කළ එතුමන් මෙරටදී සිය ලාංකීය සංගීතයට සිදුකළ සේවය අපරිමානය.

සිය වෘත්තීය ජීවිතය සංගීත ගුරැවරයකු ලෙස ඇරැඹි එතුමන් සංගීත ශාස්ත්‍රය පිළිබඳ ඵතෙක් කිසිවකු නොලත් ඥාන සම්භාරයන් සිය අධ්‍යයනයන් ඔස්සේ ලබා ගනිමින් පසුව ශ්‍රීපාලි කලායතනයෙහි විදුහල්පති ලෙස තම ඥානය දැයේ දරුවන් වෙනුවෙන් ප්‍රදානය කළේය.1978 දී ශ්‍රීපාලි ආයතනය ලංකා විශ්වවිද්‍යාලයට පවරා දුන් පසුව මුදුන්කොටුව මහතා හොරණ එරන්දතී ලලිත කලායතනාධීපති ලෙසද පත් වුයේය.ඒ අතර කැලණිය විශ්වවිද්‍යලයීය සෞන්දර්ය අධ්‍යාපන ආයතනයේ ආචාර්යවරයකු වශයෙන් සිය විශ්ව විද්‍යාලීය ආචාර්ය ජීවිතය ආරම්භ කළේය.පසුව එහි කථීකාචාර්යවරයකු හා අංශාධීපතිවරයකු වශයෙන්ද සේවය කර විශ්‍රාම යන තුරුම සංගීතය පිළිබඳ පෙරදිග සංගීතය පිළිබඳ හසල දැනුමැති

උසස් අධ්‍යාපනය ප්‍රදානය කළේය.එමෙන්ම ශ්‍රී ජයවරධනපුර විශ්ව විද්‍යාලයේ සංගීතය පිළිබඳ බාහිර ජ්‍යෙෂ්ඨ කථීකාචාර්යවරයකු වශයෙන්ද .ඉන්දීය සංස්කෘතික කේන්ද්‍රයේ ගායනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වශයෙන්ද සේවය කළේය.

මේ සියල්ලටම වඩා එතුමා කළ ජාතික මෙහෙවරක් හා නාමය ඉතිහාසගත වූ කාර්යය වූයේ භාරතයට ගොස් සංගීතය හදාරන්නට ශක්තියක් නැති දැයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට භාත්කණ්ඩේ සංගීත් විද්‍යාපීඨයේ සංගීත හා වාද්‍ය විශාරද උපාධි ලබා ගැනීමට හැකිවන සේ අනුබද්ධ ආයතන දෙකක් 1970 මෙරට පිහිටුවීමයි.එමගින් මෙරට සංගීත ශාස්ත්‍රාලෝලීන්ට අත් වූ සෙත කියා නිම කළ නොහැක.අද කොයිකවුරුත් තැනින් තැන පිහිටුවාගනු ලැබූ සංගීත ආයතනයන්හි පදනම හා මුල් බීජය මෙරට සිටුවනු ලැබුයේ එතුමන් විසිනි.එතුමන් විසින් මෙරට සංගීත ක්ෂේත්රුයට සිදු කළ සේවය අගයමින් 2002 වර්ෂයේ රාජ්‍ය සංගීත උළෙලේදී සංගීත අධ්‍යාපනය සඳහා වූ රාජ්‍ය සම්මානය පිරිනැමිනි.

පෙරදිග සංගීතය පිළිබද හසල දැනුම් සම්භාරයක් ඇති එතුමන් විද්‍යාර්ථයින්ගේ දැනුම සඳහා සංගීතය පිළිබද සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම කෘති මාලාවක් සකස් කළේය.1997 දී සම්බාව්යම සංගීත ප්‍රවේශිකා නමින් කෘතියක්ද,සම්භාවය සංගීත ප්‍රථමා,සම්භාව්‍ය සංගීත ඩිප්ලෝමා,විශාරද තබ්ලා පරිචය සිංහල හා ඉංග්‍රීසි ,ආදි වශයෙන් කෘති මාලාවක් සංගීත ප්‍රේමීන් වෙනුවෙන්ම ලේඛණය කළේය.

තම ස්වකීය ජිවිතය සංගීතය වෙනුවෙන්ම කැපකළ මේ කලාකරුවා දුර්ලබ ගණයේ මිණි පහනකි.මෙවන් උතුම් සේවාවක් කළ එතුමන්ගේ ජිවිතයට දීර්ගායුෂ පතමින් අප එතුමන්ගෙන් සමුගන්නේ එතුමාගේ හඩ මෙලෙස සනිටුහන් කරමිනි. “සංගීතය විශ්ව භාෂාවකි.බුද්ධියට හා දර්ශනයට ප්‍රබල ආධයාත්මික ප්‍රකාශනයකි.කටුක යථාර්ථයෙන් මිදී ඔබ හා මා එක්වන තැන සංගීතයයි”වචන වලට කිව නොහැකි දහසක් දේවල් සංගීතය අපට පවසයි.” 

 

Comments