
තමුසෙට මොකක්ද මිස්ට නිසලවිලත් එක්ක තියෙන කතාව
අරවින්ද් ගේට්ටුව අසළ සිටගෙන සිටින ආකාරය දුටු ෆියෝනා විමතියට පත් වූවාය. මෙම නිවසට පැමිණ මෙතෙක් කලක් ගත වුව ද, අසාර් හා ඔහු අතර, සමීප ඇසුරක් නොවීය. අසාර් හා අරවින්ද් කිසි දිනෙක එකිනෙකා හා කතා බහ පවා කරනු පවා ඇය දැක නොතිබිණ. තමා උඩු මහලේ සිටියදී අසාර් ජනෙල් තිර ඇද දමන්නේ අඩුම තරමේ ඔහු ගේ රූපය පවා දැක ගැනීමට නොහැකි වන ලෙසිනි. අරවින්ද්ගේ මුහුණ හරි හැටි නොදුටුවද, සෑම රාත්‍රී කාලයකම ඔහු වයලීනය හෝ සිතාරය හෝ පියානෝව වාදනය කරන හඬ ඇසිණ. රාත්‍රී නින්දට බාධා වීම පිළිබඳව මුල් කාලයේ අසාර් අරවින්ද්ට දොස් නගමින් සිටියද, පසුව ඔහු ද රාත්‍රී කාලයේ ඇසෙන වාදනයන්ට සවන් දීම පුරුද්දක් කර ගත්තේය.
“මිසිස් ජැෆර්ජි. ඇයි මේ බය වෙලා වගේ ඉන්නෙ?”
අරවින්ද් අසන හඬ ඇසිණ. ෆියෝනා ලජ්ජාශීලී සිනාවක් නැගුවාය.
“නෑ.. මේ... මේ...”
කිසිවක් පැවසීමට උත්සාහ කළ ද, ෆියෝනාගේ මුවට කිසිදු වදනක් නොනැගිණ. ඔහු කිසිවක් නොපවසාම කුඩා බෑගයක් දිගු කළේය. එය අතට නොගත් ෆියෝනා ඔහුගේ මුහුණ දෙස බැලුවාය.
“ගන්න.”
අරවින්ද් කාරුණික ලෙස පැවසුවේය.
“මොනවද?”
බෑගය අතට ගත් ෆියෝනා ඇසුවාය.
“සමෝසා. මං හිතුවා මිසිස් ජැෆර්ජි බඩගින්නෙ ඇති කියලා. ඒකයි අරන් ආවෙ.”
බෑගයෙහි තැනින් තැන තෙල් පැල්ලම් විය. කුසගිනි අවුලවන මිහිරි සුවඳක් ද එතුළින් වහනය විය.
“ස්තුතියි.”
ෆියෝනා පැවසුවාය.
“මේ සමෝසා රසයි. ගොඩක් දවස් වලට මාත් කන්න ගන්නවා. මං යන්නම් මිසිස් ජැෆර්ජි. මොනවා හරි උවමනාවක් වුණොත් මට කතා කරන්න.”
“මා ළඟ නම්බර් එකක් නෑ.”
ඇයට කියවිණ. කලිසම් සාක්කුව තුළින් ගත් විසිටින් කාඩ් පතක් අරවින්ද්, ෆියෝනා අත තැබුවාය. නිසල විල සංගීත ආශ්‍රමය යන වදන් කිහිපය කාඩ් පත ඒ මේ හරවා බලන ඇය දුටුවාය.
“මං යන්නම්.”
“හොඳයි. බොහොම ස්තුතියි.”
“ඕක මොකක්ද?” යි රතු කරගත් මුහුණින් යුතුව පැවසූ අරවින්ද් සිය නිවෙස දෙසට යන අයුරු බලා සිටි ෆියෝනා ගේට්ටුව වසා දැමුවාය. ඇය නිවස තුළට ගොස් අරවින්ද් දුන් කුඩා බෑගය හැර බැලුවාය. සමෝසා සුවඳ ස්මිතා සිහියට නැංවීය. රාඝව්ගේ ප්‍රියතම ආහාරය වූ බැවින් ස්මිතා නිතර නිතර සමෝසා සෑදුවාය. නිවසෙහි සිටින අවස්ථා වල දී ඉවුම් පිහුම් කටයුතු වලට සිය සොයුරියට උදව් කරන රාඝව්, ස්මිතා සාදන සමෝසා බැද දුන්නේය.
“කවදා හරි මෙයා කසාද බඳින ගෑනු ළමයා හරි වාසනාවන්තියක් වේවි.”
එවන් අවස්ථා වල ස්මිතා පවසන බව ෆියෝනාට සිහිපත් විය.
“අපේ හස්බන්ඩ් ගෙදර ආවමවත් චූටි හරි උදව්වක් කරන්නෙ නෑ. ඒකට අපේ මල්ලි. සමහර වෙලාවට මට උයලා දෙන්නෙත් මල්ලි තමයි.”
ස්මිතා දෑස් වල කඳුළු පුරවාගෙන පවසන අයුරු ෆියෝනාට සිහිපත් විය. දුර බැහැර සේවය කරන ඇගේ සැමියා සති අන්තයන්හිදී පමණක් නිවසට පැමිණියේය. ඒ පැමිණියද ඔහු බොහෝ විවේකීව පසුවෙද්දී ස්මිතා අපහසුවෙන් නිවසෙහි වැඩ පළ කරන ආකාරය ෆියෝනා දැක තිබිණ. ගැබිනියක වූ මුල් කාලයේ ආහාර අරුචියෙන් පෙලෙද්දී තමාට ප්‍රිය වූයේ රාඝව් පිළියෙල කර දුන් ආහාර පමණක් බව ස්මිතා දිනක් පැවසූ අයුරු, ෆියෝනාට සිහිවිය.
“රාඝව් හොඳම හොඳ කෙනෙක්.”
තමාටම පවසා ගත් ෆියෝනා බෑගය තුළින් ගත් සමෝසාවක් කන්නට වූවාය. තවමත් උණුසුම් බවින් යුක්ත වූ එම සමෝසා අරවින්ද් පැවසූ පරිදිම බොහෝ රසවත් බවින් යුක්ත විය.
“පව්. මේ දෙක මං පස්සෙ කනවා.” යි බෑගය පසෙක තැබුවද, රසවත් බව නිසා අවසානයේ සමෝසා තුනම නොදැනුවත්ම ඇය අනුභව කර තිබිණ.
ෆියෝනා කඩිනමින් නිවස අතු ගා දැමුවාය. ඇය නාන කාමරයට වැදුනේ දහඩියෙන් පෙඟුන ගතින් යුතුවය. නාන කාමරය තුළ වු අසාර්ගේ කමිසයක පුස් බැඳී තිබෙන අයුරු ඇය දුටුවාය. ඔහු කිසිවිටෙක තම ඇඳුමක් පමණවත් සෝදා ගන්නෙක් නොවේ. නිවසින් පිටව යන දින ගලවා දැමූ කමිසයෙහි තෙතමනය නිසා එහි පුස් බැඳෙන්නට ඇතැයි ඇයට සිතිණ.
නෑමෙන් පසුව ඇති වූ ප්‍රාණවත් බවත් සමගම දැඩි නිදිමතක් ෆියෝනාට දැනිණ. හිසකෙස් වියලනය භාවිතා නොකරම තෙත් හිසකෙස් පිටින්ම යහනට වන් සැනින් ඇයගේ දෙනෙත් වලට නින්ද ළඟා වන්නට ඇත.
ෆියෝනා නින්දෙන් පිබිදෙද්දී අඳුර වැටී තිබිණ. නිවස ද මුළුමනින්ම අඳුරු වී තිබිණ. ඇය වහා නිවසෙහි විදුලි පහන් දැල්වූවාය. දහවල් කාලයේ දී නොදැනුන බියක් රාත්‍රියෙහි සිතට දැනෙයි. ෆියෝනා සඳැල්ලෙහි හිඳ ගත්තාය.
අවට නිවෙස් වල විදුලි පහන් දල්වා තිබෙන අයුරු දකිද්දී සිත තුළ ඇති වන බිය දුරු වී යන්නාක් මෙන් දැනේ. අරවින්ද්ගේ නිවස තුළ ද විදුලි පහන් දල්වා තිබෙන අයුරු දුටුවද, ඔහු පෙනෙන තෙක් මානයකවත් දක්නට නොවීය.
“පිස්සෙක්. තනියම ජීවත් වෙනවා. තනියම උයා පිහා ගන්නවා. මොකක්ද ඔය ජීවිතේ අරමුණ?”
අසාර් අරවින්ද් පිළිබඳව පවසන්නේ එසේය.
“ඔය ඉන්න ඉඳිල්ල මං හිටියානම් ඇත්තමයි ෆියෝනා. මට පිස්සු හැදිලා තියේවි.”
ඇතැම් උදෑසන කාලයේ අරවින්ද් ඔහු සතු කුඩා මිදුල අතු ගාන අයුරු දකින අසාර් පවසයි. අරවින්ද්ගේ කුඩා මිදුලෙහි මල් පෝච්චි රැසක් පේළියට තබා තිබිණ. ඒවායෙහි සිටුවා ඇති මල් ගස් වල මල් පිපී තිබෙන අයුරු ෆියෝනා දැක තිබිණ. මල් පෝච්චි පේළිය අසළ තනන ලද දිගු බංකුවක සංගීත ආශ්‍රමයට පැමිණෙන කුඩා සිසු සිසුවියන්ගේ මවුවරුන් වාඩි වී සිටින අයුරු සුපුරුදු දසුනකි.
“ෂ්... ෂ්...”
තිගැස්සුණු ෆියෝනා වටපිට බැලුවාය. අරවින්ද් සිය නිවසේ සඳැල්ලට පිවිස සිටින අයුරු ඇය දුටුවාය. ඔහු අභිනයෙන් කිසිවක් පවසන අයුරු දුටුවද, ඇයට එය වටහා ගත නොහැකි විය. අවසානයේ ඔහු සිය ජංගම දුරකතනය පෙන්වූයෙන් ඔහු පවසන දෑ ඇය වටහා ගත්තාය. අරවින්ද් පවසන්නේ ඔහුට දුරකතන ඇමතුමක් දෙන ලෙස විය යුතුය. ෆියෝනා තුළ ඇති වූයේ මහත් කැළඹීමකි. අසාර් නිවසෙහි නොමැති අතරේදී අරවින්ද් හා දුරකතන ඇමතුම් හුවමාරු වූ බව දැනගතහොත් ඔහු බෙහෙවින් කිපෙනු ඇත.
“තමුසෙට මොකක්ද මිස්ට නිසල විලත් එක්ක තියෙන කතාව?”
කෝපයට පත් ඔහු අසනු ඇත. එහෙත් අද නිවසට පැමිණි මොහොතේ සිටම ඔහු තමා කෙරෙහි දක්වන සැළකීම පහසුවෙන් අමතක කළ නොහැකිය. ගෙතුළට ගිය ෆියෝනා දුරකතනයත්, අරවින්ද් දුන් කාඩ් පතත් රැගෙන ආවාය. ඔහුගේ අංකය අංකනය කළ ඇය ඇමතුම ලබා ගත්තේ ගැහෙන හදවතින් යුතුවය.
“මිසිස් ජැෆර්ජිට නින්ද ගියා නේද?”
අරවින්ද් අසන හඬ ඇසිණ.
“ඔව්.”
ෆියෝනා පැවසුවාය.
“ගෙදරම කළුවරේ තිබුණු නිසා මං එහෙම හිතුවා. ඒකනෙමෙයි. රෑට මම මිසිස් ජැෆර්ජිටත් එක්ක කෑම උයනවා.”
“අනේ එපා.”
ෆියෝනා පැවසුවාය. කලබලයෙන් මෙන් දුරකතනය විසන්ධි කළ අරවින්ද් ගෙතුළට දිව යන අයුරු ෆියෝනා කුතුහලයෙන් බලා සිටියාය.
ලබන සතියට