තරු තොරතුරු | Page 3 | සිළුමිණ

තරු තොරතුරු

ගායනයයි රංගනයයි අයෝමියි

රණවිරු රියල් ස්ටාර්ස් තරගාවලියේ ජයග්‍රාහිකා අයෝමි පෙරේරා මේ දවස්වල ඇ‍ෙග් නවතම ගීතය රසිකයන් අතට පත් කර තිබෙනවා. ඇය මෙම ගීතය සඳහා අපූර්වත්වයෙන් යුතු රූපාවලියක් ද නිර්මාණය කරලා. එම රූපවලියේ අලුතින්ම රංගනයට එකතුවන සොඳුරු යුවතියකුත් වෙනවා. ඒ ඇයම තමයි. අයෝමි තමා හඬ දෙන ගීතයේම රංගනයටත් දායක වෙනවා. ගායිකාවක ලෙස කිරුළු පළන් අයෝමි තමාගේම මියුසික් වීඩියෝවේ රඟපාන අයුරු දකින බොහෝ දෙනෙක් පවසන්නේ ඇය නිළියක ලෙසත් කිරුළු පළදීවිදෝ කියලයි. එතරම්ම සුන්දරව තාත්විකව ඇය එම රූප රචනාවේ තමාට හිමි භූමිකාව නිරූපණය කරනවා.

කොහොම වුණත් සංගීත ලෝකය වගේම රංගන ලෝකයත් ජය ගන්න ඇයට හැකි වෙන්න කියල අපි සුබ පතනවා.

 


 සුන්දරත්වයේ කිරුළු පළඳින සොඳුරු යුවතියෝ

කලා ලෝකය බබළවන්නට පෙරමුණගත් තරු කලා ලෝකයට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරිපත් වෙනවා. ඒ ආකාරයට සුන්දරත්වයෙන් ඔබ්බට යන්න තේමා පාඨය කොට ගනිමින් කලා ලොවට පායා එන තරු රැසකට මං පෙත් විවර කරන්නට පෙරමුණ ගත් ප්‍රකට ව්‍යාපාරිකයෙක් ලෙස 'ජැට් හෝල්ඩින්ග්ස් සමාගමේ'කළමනාකාර අධ්‍යක්‍ෂ ඊලියන් ගුණවර්ධන මහතා හඳුන්වන්න පුළුවන්. ඒ මෙවර 'ක්‍රවුන් මිස් ඉන්ටර්කොන්ටිනෙන්ටල් ශ්‍රී ලංකා 2017'තරගයට අනුග්‍රාහකත්වය සපයමින්. සුන්දරත්වයෙන් ඔබ්බට පිය නගන සොඳුරු යුවතියන් රැසක් අතුරෙන් ක්‍රවුන් මිස් ඉන්ටර්කොන්ටිනෙන්ටල් ශ්‍රී ලංකා ලෙස සොඳුරු යුවතියක අභිෂේක කරමින් රූ රැජනක් ලොවට හඳුන්වා දෙන්නට මේ වන විට සියල්ල සූදානම්. ඒ අනූව'ක්‍රවුන් මිස් ඉන්ටර්කොන්ටිනෙන්ටල් ශ්‍රී ලංකා 2017 'ජයග්‍රාහිකාවට ඔටුනු පැළදවීම මේ මස 24 වැනි දා කොළඹ හිල්ටන් හෝටලයේ දී උත්කර්ෂවත් අන්දමින් සිදු කිරීමට නියමිතයි. මේ පිළිබඳව ඊලියන් ගුණවර්ධන මහතා පවසන්නේ මෙවැන්නකි.

'මෙම තරඟාවලියේ මුලික අරමුණ වන්නේ කාන්තාව සවිබල ගැන්වීම වගේම ඔවුන් ලෝකයා හමුවට ශක්තිමත්ව පියනැගීමට අවකාශ සැලැසීමයි. ඒ වෙනුවෙන් 'ක්‍රවුන් මිස් ඉන්ටර්කොන්ටිනෙන්ටල් ශ්‍රී ලංකා 2017'ආකර්ෂණීය උත්සවයේ නාම අනුග්‍රාහකත්වය අපට (ජැට් හෝල්ඩින්ග්ස් සමාගමට) ලැබීම සතුටට කරුණක්. මෙලෙස ‍මෙම තරගාවලියට අනුග්‍රාහකත්වය ලබාදීමෙන් නව නායකත්වය අගය කොට පෙන්වීම පමණක් නොවෙයි අඩු වරප්‍රසාදලාභීන් උදෙසා හඬක්වීමට සහ අද කාන්තාවන් මුහුණ දෙන ගැටලුපෙන්වා දෙමින් ඔවුන් වෙනුවෙන් කතා කිරීමට මග සලසන මාවතක් ද වෙනවා. තවත් අතෙකින් සුන්දරත්වයේ සහ බුද්ධියේ සංකලනයක් වන වත්මන් ශ්‍රී ලාංකික කාන්තා බලය සංක්ෂිප්තව දක්වන තරුණ කාන්තාවන් පෙන්නුම් කිරීමට මෙම උලෙළ නිමිත්තක් වනවා. එලෙසම මෙම තරගකාරියන් අතුරින් විශ්වාසනීය, කාරුණික කාන්තා නායිකාවන් බිහිකිරීමට අවකාශ ලැබීම සහ සීමාමායිම් ඉක්මවා යන ඇතැම් පුරෝගාමී මූලාරම්භ රූ රැජින උළෙල සඳහා ද අවකාශ සකසන උළෙලක් ලෙසත් ක්‍රවුන් මිස් ඉන්ටර්කොන්ටිනන්ටල් ශ්‍රී ලංකා 2017 උළෙල” හඳුන්වන්න පුළුවන්.


වේදිකාවට නඟින 'ගරු හොරු'

දශක ගණනක් පුරා කලා‍ලොවේ සැරි සරමින් කලාව වෙනුවෙන් කාලය කැප කළ කලා කරුවෙකු ගේ පැතුම වන්නේ තමන්ගේම නිර්මාණයකින් ප්‍රේක්ෂකයා උසස් රසවින්දනයක් කරා ගෙන යාමයි. එලෙස දශක කිහිපයකට පසු තම පැතුම් ඉටු කර ගත් කලා ශිල්පියෙක් ලෙස රෝහණ හඳුන්නෙත්ති හඳුන්වා දෙන්න පුළුවන්. රෝහණ තමන්ගේ කුළුදුල් වේදිකා නාට්‍යය 'ගරු හොරු'ලබන මස 06 වැනා දා ලුම්බිණි රඟහලේ දී සවස 6.30ට වේදිකා ගත කිරීමට නියමිතයි. 'ගරු හොරු මේ මස 29 දා මගේ පළමු වේදිකා නාට්‍ය නිර්මාණයයි. වර්තමාන දේශපාලනික සමාජ පසුබිම හාස්‍යෝත්පාදකව මේ නාට්‍යයෙන් විග්‍රහ වෙනවා. මේ නාට්‍යය මම නිර්මාණය කළේ මා දශක ගණනක් පුරා වේදිකාවෙන් ලැබූ පන්නරයත් සමඟයි. මම වේදිකාවට සම්බන්ධ ව‍න්නේ 1990 දී පමණ. එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයාගේ හැම නාට්‍යයකම වගේ මම රඟපෑවා. ඒ අතර දයානන්ද ගුණවර්ධන මට අමතක කරන්න බැහැ. නමුත් කාලයත් සමඟ මගේ රැකියාවේ වැඩකටයුතුත් සමඟ මට කලාවේ නිතරම නියැලී සිටින්නට අවකාශ ලැබුණේ නැහැ. නමුත් එහෙම වුණා කියලා කලාවෙන් ඉවත්ව හිටියෙත් නැහැ. මගේ 'ගරු හොරු ' නාට්‍යයේ වි‍ශේෂත්වය තමයි මේ නාට්‍යයේ තිර රචනය සංගීත නිර්මාණය පසුතල නිර්මාණය ඇඳුම් නිර්මාණය වගේම අධ්‍යක්ෂණයත් මගේම වීම.මෙය නිෂ්පාදනය කරන්නේ විජේරත්න මහතා. ඒ වගේම මේ නාට්‍යයේ මමත් ඇතුළුව දමයන්ත පෙරේරා,රොහාන් විජේතුංග ( හාර කෝටියේ රංජියා),වැනි ජනප්‍රිය නළු නිළි පිරිසක් රඟපානවා.

 


ඩොනල්ඩ්ට යළිත් ගෞරවනාමයක්

රටෙන් ලෝකයෙන් ලැබෙන උපහාර ඇගයුම්වලට වඩා තමා උපන් ගමෙන්ම උපහාර ලබන්නට හැකි නම් එය කලාකරුවෙක් ලබන ලොකුම වාසනාවක්. එවන් වාසනාවක් හිමි කරගත් කලා කරුවෙක් තමයි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ හා සහාය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත කියන්නෙත්. පසුගිය මාසයේ ඩොනල්ඩ් ජයන්ත කලාව වෙනුවෙන් සිදු කරන මෙහෙවර අගයා ඔහුට යළිත්වතාවක් ගෞරව නාමයකින් වගේම උපහාර උළෙලකින් සම්මානනීය වන්නට අවස්ථාව හිමි වුණා. ' පසුගිය මාසේ යළිත් වතාවක් මා වෙනුවෙන් උපහාර උළෙලක් පවත්වා ගෞරව නාමයකින් මා සම්මානනීය කිරීම ගැන මම ස්තූතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මගේ ගම් පළාතේ ස්වාමීන් වහන්සේලා ඇතුළු ප්‍රදේශවාසීන්ට. එක්සත් බෞද්ධ රාජ්‍යයේ මහා සම්මේලනයෙන් තමයි මේ උපහාර උළෙල සංවිධානය කොට තිබුණේ. ඒ අනුව 'කලා කීර්ති ','ශ්‍රී ලංකා පුත්‍ර ', 'දේශමාන්‍ය ' ගෞරව නාමය මට මෙවර ප්‍රදානය කළා. මේ අවස්ථාවට මගේ රසිකයන්, හිතවතුන් වගේම කලා ලොවේ නළු නිළියන් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියා. ඒ හැම දෙනාටම මම ස්තූතිවන්ත වෙනවා.

 

Comments