ගිනස් පොතට ගිය වැලි මාලි­ගාව | Page 4 | සිළුමිණ

ගිනස් පොතට ගිය වැලි මාලි­ගාව

සැන්දෑ කාලයේ මුහුදු වෙරළකට වී කාලය ගත කරනවා කියන්නේ වයස් භේදයකින් තොරව අපි සියලුදෙනාම ප්‍රිය කරන ක්‍රියාවක්. මුහුදු වෙරළේ සිටින විට වැලි මාලිගා සෑදීමට තමයි කුඩා දරුවන් වැඩිපුරම කැමැත්තක් දක්වන්නේ. නමුත් වැලිමාලිගා තැනීම කුඩා දරුවන්ට පමණක් සීමා වන්නේ නෑ. විනෝදයට පමණක් නොව පරිසර සංවිධාන වැනි තරුණ ක්‍රියාකාරීන් විසින් ගෝලීය උණුසුම ඉහළ යෑම වැනි මාතෘකා ජනයා වෙත රැගෙන යාමට වැලි මාලිගා වැනි වැලි අනුරූ සාදන අයුරු දක්නට ලැබෙනවා. මීට අමතරව සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට හා ලෝක වාර්තා පිහිටවීමටත් මෙවැනි නිර්මාණ ලොවපුරා නිමවෙනවා.

මෙවර 15 වැනි පිටුව වෙන්වන්නේ ලෝකයේ උසම වැලි මාලිගාව ලෙස මීට දින කිහිපයකට පෙර වාර්තා පොත් අතරට එක්වුණු සුවිසල් වැලි නිර්මාණයක් පිළිබඳ තොරතුරු ගෙනඑන්නයි.

ලෝකයේ උසම වැලි මාළිගාව යන වචනය දුටු සැනින්ම මුහුදු වෙරළක් අසබඩ තැනූ සුවිසල් මාළිගයක් ඔබ වෙත මැවෙන්නට ඇති නමුත් මෙම මාළිගය නම් සාදා තිබෙන්නේ මුහුදු වෙරළක් අසළ නොවේ. ජර්මනියේ ඩුයිස්බර්ග් නම් රට තුළ පිහිටි නගරයක තමයි අඩි 54.7ක් එනම් මීටර 16.68ක් උස මාලිගය පිහිටා තිබෙන්නේ.

මේ සඳහා වැලි ටොන් 3500 ක් පමණ මාසයක පමණ කාලයක් මෙම සඳහා රැස්කර වැලි මාලිගය තනා තිබෙනවා. ජර්මනියේ සංචාරක කටයුතු මෙහෙයවන ආයතනයක් මගින් සංචාරක ආකර්ෂණය අරමුණ කරගනිමින් තමයි මෙම නිර්මාණය සිදු කර තිබෙන්නේ. මෙම මස මුල දී ප්‍රදර්ශනයට විවෘත වූ මෙම වැලි මාලිගයට ගිනස් වාර්තාව ලැබීමට පෙර එය හිමිවී තිබුණේ අපේ අසල්වැසි ඉන්දියාවටයි.

ප්‍රසිද්ධ කලාකරුවකු වන සුදර්සන් පට්නයික් විසින් මෙම වසරේ පෙබරවාරියේදී ලෝක සාමය උදෙසා තැනූ මීටර් 14.84 ක් උස වැලි මාලිගය සතුව තිබූ ලෝක වාර්තාව දැන් අයත්වන්නේ ජර්මනියේ වැලි මාලිගයටයි.

සැප්තැම්බර් 1දා ප්‍රදර්ශනය ඇරැඹුණු මෙම මාලිගාව මෙම මස 24 දක්වා ජර්මනියේ ඩ්යිස්බර්ග් හි Landschaftspark හිදී මහජනයා වෙත දැක බලාගත හැකියි. මෙම වැලි මාලිගය සෑදී තිබෙන්නේ ලෝකයේ ප්‍රසිද්ධ ස්ථාන හි කුඩා අනුරූ රැසක් මගිනි.

මේ අතර ග්‍රීසියේ ඇතන්ස් නුවර ඇක්‍රොපොලිස් වැනි නිර්මාණ, බාසිලෝනා ගෘහ නිර්මාණ ශිල්පයට අයත් ගොඩනැගිලි, ඊජිප්තුවේ පිළිම හා ඉතාලියේ පීසා හි ඇළවෙන කුළුණ කැපී පෙනෙනවා. සංවිධායකයන් පවසන්නේ ලක්ෂ දෙකකට ආසන්න ජනතාවක් මෙය නැරඹීමට පැමිණෙනු ඇති බවයි.

 

[email protected] 

Comments