‘අලි මරණපරීක්ෂණයකින්’ ලේඛන කලාවට පිවිසි නොයෙල් නඩේසන් | සිළුමිණ

‘අලි මරණපරීක්ෂණයකින්’ ලේඛන කලාවට පිවිසි නොයෙල් නඩේසන්

පාලම

පැටි වියේදී ඔහුගේ අනාගත ජීවිතයට බලපෑ පරමාදර්ශී චරිත දෙකක් විය. ඉන් එක් අයෙක් වූයේ ගුරුවරයකු වූ සිය පියතුමා ය. විදුහල්පතිවරයකු ලෙස සේ ම ගමේ ප්‍රභූවරයකු ලෙස ද භූමිකාවක් ඉටු කළ ඔහුගේ කිරිඅත්තා, එනම් ආදරණීය මෑණියන්ගේ පියා, අනෙක් පරමාදර්ශය විය.

“අරක කරපන් මේක කරපන් කියලා අපෙ තාත්තා මට කවදාවත් නියෝග නිකුත් කරලා නැහැ. ඔහු අනුන්ට උපකාර කරන කරුණාවන්ත පුද්ගලයෙක්. ගමේ ලොකු පිළිගැනීමක් තිබුණා. පක්ෂ භේදයකින් තොරව ප්‍රදේශයේ සෑම දේශපාලන නායකයෙක් ම තාත්තට ගරු කළා. තාත්තා ගුරුවරයෙක් නිසා ‍නොයෙක් පළාත්වලට ස්ථාන මාරු ලැබුණා. මම කිරිඅත්තට ළං වූයේ තාත්තා එහෙම ඈතට ගිය අවස්ථාවලයි. කිරිඅත්තත් විදුහල්පති වරයෙක්. ඔහු දුප්පත් ධීවරයන්ට බෝට්ටු ලබාදෙන ව්‍යාපෘතියක් පවත්වාගෙන ගියා. ඉන්දියාවෙ සිට ලංකාවට පැන එන කල්ලතෝනින්ට නවාතැන් දීලා කන්න බොන්න පවා දුන්නා. ඔවුන්ට නීතියේ පිළිසරණ ලබාදුන්නා. මේවා තමා මම පුංචි කාලයේ වැඩිහිටියන්ගෙන් ලබපු ආදර්ශ. එදා මේ චරිත දෙකම මගේ පරමාදර්ශ බවට පත් වුණා.”

අද ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවකු වන ලේඛක නොයෙල් නඩේසන් සිය ජීවිත ගමනේ සන්ධිස්ථාන සිහිපත් කළේ ඒ අයුරෙනි. 1954 වසරේ දෙසැම්බරයේ දී යාපනයේ උතුරු ප්‍රදේශයේ පිහිටි එළුවෛතීව් ගමේ නොයෙල් නඩේසන් උපත ලබන්නේ පවුලේ කුලුදුල් පුත්‍රයා වශයෙනි. මුලින් ම ගමේ කුඩා පාසලට යන ඔහු අනතුරුව මුරුගවෙල් විද්‍යාලයට හා නාගදීපයේ දෙමළ මහා විදුහලටත් ඇතුළු වන්නේ ය. ඔහු උසස් පෙළ හදාරනුයේ යාපනයේ හින්දු විද්‍යාලයෙනි. ඉනික්බිති ඔහුට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයට ප්‍රවේශවීමට වරම් ලැබෙයි.

නොයෙල්ගේ මෑණියන් තැපැල් ස්ථානාධිපතිවරියකි. කාලයේ හැටියට යාපනයේ ඉහළ මැද පන්තිය නියෝජනය කිරීමට හැකියාවක් ලැබී තිබූ නොයෙල් ඇතුළු පවුලේ සොහොයුරු සොහෝයුරියන් හය දෙනාට කිසිදු ආර්ථික අපහසුතාවකින් බැට කන්නට සිදුවූයේ නැත. එහෙත් ඔවුන්ගේ මේ සාමකාමී නිදහස් දිවි පෙවෙතට කණකොකා හැඬුවේ ඊළාම් අරගලය වර්ධනය වීමත් සමඟය.

අපේ අම්මයි තාත්තයි, කිරිඅත්තයි හොඳ උගත් අය වුණත්, පවුලේ අනිත් සහෝදර සහෝදරියන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඔවුන්ට බැරි වුණා. ඒකට ප්‍රධාන හේතුව තමා සටන් ඇවිළීම. ඒ වෙනකොට මට උසස් අධ්‍යාපනයට ඇතුළු වී නොසිටියා නම් මටත් සිද්ධ වෙන්නේ තරුණ සටන් කණ්ඩායමකට එකතු වෙන්න. එහෙම වුණා නම් මගේ ජීවිතය පවා අහිමි වෙන්න ඉඩ තිබුණා. අපේ සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වුණා. ඒ අය දිවි ගලවා ගත්තේ තැන් තැන්වල හැංගී සිටිමිනුයි.”

නොයෙල් එදා උතුරු නැගෙනහිර පළාත්වල තරුණ පරපුරට අත් වූ ඉරණම විස්තර කළේ වේදනාබර හඬකිනි. ඔවුන්ගේ කුටුම්බයට පමණක් නොව සමස්ත ජනතාවට ම යුද්ධය විසින් අත්පත් කර දෙනු ලැබූ නීතිය හා වේදනාව මුසු දිවි පෙවෙත පිළිබඳ සිහිපත් වන විට ඔහුගේ මුහුණ අඳුරු පැහැ ගැන්විණ.

ලේඛන කලාව දෙසට ඔහු යොමු වූයේ කෙසේ දැයි මා විමසා සිටියේ ඔහුගේ අඳුරු අතීතය අමතක කරවනු රිසියෙනි.

“එහි ගෞරවය වැඩි වශයෙන් ම හිමිවිය යුත්තේ අපේ කිරිඅත්තාට. ඒ කාලේ ඔහු මට සත දෙකක් නැත්නම් සත පහක් දීලා කියනවා පත්තර අරන් කියවපන් කියලා. මමත් ගිහින් වීරකේසරී හරි ඉන්දියන් සඟරාවක් හරි ගෙනත් කියවනවා. ඒ කාලේ කියවපු දේවල් මගේ හිතේ තදින් කා වැදුණා. ලේඛන කලාව මගින් මිනිස් සමාජයට විශාල මෙහෙවරක් කරන්න පුළුවන් බව මට වැටහුණා. යාපනයේ මහජන පුස්තකාලයත් මගේ කියවීමේ පිපාසය සන්සිඳවපු තැනක්. ඒකට ගිනි තියපු එකනම් මහා අපරාධයක්. ඉතා දුර්ලභ ගණයේ වටිනා පොත් රැසක් ඉන් විනාශ වුණා. ආසියාවේ හොඳම පුස්තකාලවලින් එකක් එහෙම විනාශ කිරීමෙන් සිදු වුණේ අනාගත පරම්පරාවේ දැනුම මොට කර දැමීමක්.”

පේරාදෙණියට ගිය පසු අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දීමට සිදුවූ නිසා ඔහුගේ බාහිර කියවීම තරමක් අඩාළ විය. පශු වෛද්‍යවරයකු වශයෙන් ඔහුගේ මුල් පත්වීම ලැබෙනුයේ උතුරු මැද ප්‍රදේශයේ ප්‍රධාන ගම් ප්‍රදේශයක් වන මැදවච්චියට ය. එවිට ඔහුගේ වයස අවුරුදු 24 කි. මේ තරුණ පශු වෛද්‍යවරයාට ගම්වාසීහු හොඳින් සැලකූහ. එය සිංහල ජනයා බහුලව වසන ප්‍රදේශයක් වුව ද කිසිදු කරදරයක් හිරිහැරයක් වීමට ඔවුහු ඉඩ නොතැබූහ. වෙඩි වැදී මිය ගිය අලියකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට ලැබුණු අවස්ථාව මැදවච්චියේදී ඔහු ලද අමතක නොවන අපූරු අත්දැක‍ීමක් විය.

“මං කවදාවත් මෙහෙම පරීක්ෂණයන් පවත්වලා තිබුණේ නැහැ. ඉස්සෙල්ලාම ඒ අය මට දුන්නේ අලියාගේ මොළේ. මං ඇහැව්වා අනිත් කොටස් කෝ කියලා‍. ඒ පාර තමා ඔළුවයි තව කොටස් කිහිපයකුයි දුන්නේ. මට වෙන හරි අපූරු අත්දැකීමක් වුණා. මම ඒක පසුබිම් කරගෙන රහස් පරීක්ෂක කතාවක් ලිව්වා. ඒක තමා මගේ පළවෙනි කතාව. ඒක හරි ජනප්‍රිය වුණු නිසා දිගටම ලියන්න උත්තේජනයක් ඇති වුණා. ඒකෙන් පස්සෙ තමා මම වන්නානිකුලම් කියන නවකතාව ලිව්වේ. දැන් ඒක ඉංග්‍රීසියට හා සිංහලට පරිවර්තනය වී තිබෙනවා.”

වාලුම් සුහදුහල් නම් ප්‍රථම මුද්‍රිත පොත ඔහු එළිදැක්වූයේ 2001 දී ය. පශු වෛද්‍ය දිවියේ අත්දැකීම් පසුබිම් කරගෙන ලියූ මේ කතා පෙළෙහි කොටස් 3 ක් දැන් සම්පූර්ණ වී ඇත. 2001 පටන් මේ වනතෙක් ඔහු අතින් ලියවුණු සෙසු පොත් මෙසේ ය.‍ ‘වන්නානිකුලම්’ නමැති ඔහුගේ ප්‍රථම නවකතාව මඩුළුගිරියේ විජේරත්න විසින් ‘සමනල වැව’ නමින් සිංහලට නඟා ඇත. ‘අසෝකනින් වෛක්‍යසාලෙය’ හා ‘උනයේ වයියල්කොන්ධු ඔහුගේ සෙසු නවකතා ය. ‘මැලේසියන්ස් එයා ලයින්ස් 370’ නමැති කෙටිකතා සංග්‍රහය ද ‘උමතු වූවත් ඔහුත් පිරිමියෙකි’ නමින් මඩුළුගිරියේ විජේරත්න සිංහලට නැඟීය. විනෝද චාරිකා උපකාර පොතක් ලෙස ‘නයිල් නදී කරෛයිල්’ නමින් ද ඔහු පොතක් ලියා තිබේ. මෙම පොත් අතරින් වැඩි ප්‍රමාණයක් ඉංග්‍රීසියට ද නැඟී ඇත.

නොයෙල් නඩේසන් මෙන් ම දෙමළ හා සිංහල ලේඛක ලේඛිකාවෝ රැසක් පසුගිය කාලයේ මවුබිම අතහැර විදෙස් ගත වූහ. මේ අය අතරින් බොහෝ දෙනකුට බලපෑවේ වාර්ගික හා දේශපාලන ප්‍රශ්නය. නොයෙල්ට ලංකාව හැර යාමට සිදුවූයේ මන්දැයි විමසූ විට ඔහු ඊට පිළිවදන් දුන්නේ මෙසේ ය.

“මැදවච්චියෙන් පස්සේ මට රාගලට යන්න සිද්ධ වුණා. රැකියාවේ වගකීමට අමතරව රාගල තේ වත්තක කිරි පට්ටියක් පාලනය කිරීමත් මට පැවරුණා. වත්තේ සහකාර වතු පාලකයි කංකානි කෙනෙකුයි අතර ඒ කාලේ ඇති වුණ ගැටුමක් ජාතිවාදී කෝලහාලයක් දක්වා දිග් ගැහුණා. අසූ තුනේ ජූලි කලබලේ ඇති වුණෙත් මේ කාලේ. මේ ප්‍රශ්න උඩ මාවත් පොලීසියට අරන් ගියා. ඒ අතරතුර වත්තේ ලයින් කාමරවලට ගිනි තිබ්බා. මට ලොකු කලකිරීමක් ඇතිවෙලා ලංකාව අතහැර ඉන්දියාවට ගියා. එහෙ සරණාගතයෝ සෑහෙන පිරිසක් හිටියා. මමත් අවුරුදු තුනක් ඒ අයත් එක්ක වැඩ කළා. පසුව තමයි මගේ බිරියගේ සහෝදරයකුගේ උදව් ඇතිව ඕස්ට්‍රේලියාවට ගියේ.”

නොයෙල් නඩේසන් වැනි මවුබිමට ආදරය කරන බොහෝ ලේඛකයන් ලක් මාතාවට අහිමි වූයේ ඒ ඇසුරෙනි. කෙසේ වුවත් ඕස්ට්‍රේලියාවට ගිය පසු නොයෙල්ගේ ලේඛන ජීවිතයට යළි පණ පෙවිණි. ඔහුට එහිදී මවෛ නිත්තියානන්දන් හා මුරුගපූපතී යන ලේඛකයන් හඳුනා ගන්නට ලැබිණි. තිදෙනා එක් වී ‘උදයන්’ නමින් පුවත්පතක් ඇරඹූහ. මුල් කාලයේ පත්තරයේ පරිපාලන කටයුතුවලට උරදුන්නේ නොයෙල් ය‍. මුරුගපුපති හා නිත්තියානන්දන් ලේඛන කටයුතුවල නිරත වූහ. කලක් යන විට නොයෙල් ද සිය පශු වෛද්‍ය ජීවිතයේ අත්දැකීම් අළලා ලිපි පෙළක් ලිවීම ඇරඹීය. ජ්‍යෙෂ්ඨ ලේඛකයන් දෙපළ ඔහුගේ ලිපිවල අඩුපාඩු පෙන්වා දී ඔහුට අගනා මාර්ගෝපදේශකත්වයක් ලබාදුන්හ.

ලංකාවේ අනාගතය පිළිබඳ කුමක් සිතන්නේ දැයි විමසූ කල නොයෙල් නඩේසන්ට ඊට දීමට තිබුණේ මෙවන් පිළිතුරකි.

“සිංහල, දෙමළ හා මුස්ලිම් කියන ජන කොටස් තුනටම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලංකාවේ ජීවත් වීමට සිදුවී තිබෙන බව අපි අමතක කරන්න නරකයි. වාර්ගික හා ආගමික වශයෙන් විවිධත්වයක් සහිත මේ ජනවර්ග තුනටම සාමකාමී ලෙස සාමූහිකව ජීවත්වෙන්න සුදුසු ක්‍රමයක් තවම සොයාගෙන නැහැ කියා සිතෙනවා. අනාගත පරපුර එහෙම ක්‍රමයක් සොයා ගනීවි. ලංකාවේ බොහෝ පිරිස් සාමයට කැමැතියි. ඒ අයත් සමඟ නව සාමකාමී මාවතකට අවතීර්ණ වීමට සූදානම් වෙන්න කියන එක තමා අනාගත පරපුරට මට දෙන්න තියෙන පණිවිඩය.”

(කෙටිකලකට ලංකාවට පැමිණි නොයෙල් නඩේසන් ලේඛකයා දෙමළ බසින් පළ කළ අදහස් සිංහලට පරිවර්තනය කළ හා මෙම සාකච්ඡාවේ සම්බන්ධීකාරකයා ලෙස කටයුතු කළ ප්‍රවීණ ලේඛක මඩුළුගි‍රියේ විජේරත්නයන්ට තුති)

Comments