හරි වහර | සිළුමිණ

හරි වහර

සිංහලයෙහි යෙදෙන සංස්කෘත තත්සම කිහිපයෙක නිවැරැදි වහර විමැසිල්ලට ලක් කරමු.

1. ඝටිකා - මෙහි මුල (මහාප්‍රාණ) ‘ඝ’ යෙදෙන අයුරු ද ඉක්බිති වැ (අල්පප්‍රාණ) ‘ටි’ යෙදෙන අයුරු ද කෙරෙහි මැනැවින් සැලැකිල්ල යොමු කළ යුතු ය. ඇතැමුන් මෙහි (මහාප්‍රාණ) ‘ඨි’ යෙදුව ද ඒ ඉඳුරා වැරැදි වේ. ඝටික යනු පැය යි. පෙර කල පැයින් පැයට වේලාව දැක්වූ යන්ත්‍රයට ඝටිකා යන්ත්‍ර යන නම යෙදිණ.

2. ඝර - ඝර යනු සංස්කෘතයෙහි මෙන් ම පාලියෙහි දු තත්සම වැ යෙදේ. මුල යෙදෙනුයේ (මහාප්‍රාණ) ‘ඝ’ යනු යි. ගෘහය හෙවත් නිවෙස යනු මෙහි අරුත යි. නිවෙසෙහි වසන්නිය යන අරුතින් කාන්තාව හෙවත් ගෘහිණිය ‘ඝරණී’ නමිනුදු හැඳින්වේ. සිංහලයෙහි මේ හා අනුරූප වැ (අල්පප්‍රාණ) ‘ග’ සහිත ‘ගර’ යන්න යෙදේ. එහෙයින් ‘ඝර’ මෙන් ම ‘ගර’ ද නිවැරැදි ය. එහෙත් සිංහල වදන් සමඟ ‘ගර’ යනුත් පාලි හෝ සංස්කෘත හෝ වදන් සමඟ පමණක් ‘ඝර’ යනු යෙදීමෙන් සැලැකිලිමත් විය යුතු ය.

3. ඝර්ම - මෙහි දු මුල (මහාප්‍රාණ) ‘ඝ’ යෙදීම කෙරෙහි අවධානය යොමු කළ යුතු යි. රේඵය යොදා ලියන පොත් ඝර්‍ම, ඝර්‍මම යන දෙ අයුරින් ම ද ලිවිය හැකි ය. එවුව ද අද වහරට වඩාත් ගැළැපෙනුයේ ‘ඝර්ම’ යනු ම ය. මෙහි අරුත නම් උෂ්ණ, අධික තාපය ඇති යනු යි. ඝර්ම කාලය, ඝර්ම කලාපය ආදිය මේ හා සබැඳි ව යෙදෙන යෙදුම් වේ.

4. ඝාත - මේ සංස්කෘතයෙහි මෙන් ම පාලියෙහි දු සමාන වැ යෙදෙන වදනෙකි. මෙහි මුල (මහාප්‍රාණ) ‘ඝ’ මෙන් ම ඉන් පසු (අල්පප්‍රාණ) ‘ත’ යෙදෙන සැටි කෙරෙහි සැලැකිලිමත් විය යුතු ය. ඇතැමුන් මෙහි (මහප්‍රාණ) ‘ථ’ යොදන නමුදු ඒ වරදෙකි. ‘ඝාත’ පහර දීම නොහොත් නැසීම යි. අද්‍යතන ව්‍යවහාරයෙහි හුදු මරණාර්ථයෙන් ම මේ ‘ඝාත’ යනු යෙදේ. මේ හා සබැඳි ව ඝාතන (මැරීම), ඝාතක (මරන්නා) වැනි වදන් ව‍හරෙහි යෙදේ. ඒ සියලු තන්හි යට කී ලෙසින් ම අක්ෂර වින්‍යාසය යෙදිය යුතුය.

5. ඝටන - මෙහි දු යට කී වදන්වල මෙන් ම මුලින් (මහප්‍රාණ) ‘ඝ’ ද ඉක්බිති වැ (අල්පප්‍රාණ) ට ද යෙදේ. ඉනුත් ඉක්බිති වැ යෙදෙනුයේ (දන්තජ) ‘න’ යි. ‘ඝටනා’ යනු ද යෙදේ. මෙහි අරුත නම් ගැළැපීම, පෑස්සීම යනු යි. ‘පද ඝටනාව’ වැනි තන්හි ඒ අරුත යෙදෙයි. මෙහි ම අතීත කාල පදය ලෙස ‘ඝටිත’ යනු ද ව‍හරෙහි යෙදෙනු දක්නා ලැබේ.

6. ඝූර්ණ - මේ සංස්කෘත තත්සමයෙහි දු මුල (මහාප්‍රාණ) ඝ යනුත් ඉක්බිති වැ (හල්’ ‘ර්’ හා ඉනුත් ඉක්බිති වැ (මූර්ධජ) ‘ණ’ යෙදිය යුතු අයුරු පැහැදිලි ය. මෙ ද රේඵය යොදා ‘ඝූර්‍ණ’ හෝ ‘ඝූර්‍ණණ’ හෝ ලෙසින් ලිවිය හැකි ය. ද්විත්ව ‘ණ’ කාර යොදතොත් ‘ණ’ යනු දෙක එකට බැඳ ලිවිය යුතු ය. භ්‍රමණය හෙවත් කැරැකීම යන අරුත ඝූර්ණ යන්නෙන් ලැබේ. ‘සූර්ණිත’ යනුවෙන් මෙහි අතීත කාල පදය ද පෙර කල්හි වහරෙන් යෙදුණු සේ පෙනේ.

 

Comments