රාහුලගේ අභියාචනය! | සිළුමිණ

රාහුලගේ අභියාචනය!

හිත රිදෙන කවි

කවියා අප ඉදිරියෙහි ඓතිහාසික චරිත දෙකක් මවයි. ඒ බුදුන් වහන්සේ හා රාහුල පුතණුවෝ ය. එක අතෙකින් බුදුන් වහන්සේ පිළිබඳ අප්‍රමාණ භක්තිය හා ගෞරවය පවතී. තව අතෙකින් රාහුල පුතණුවන් පිළිබඳ අනුකම්පාව හා ආදරය පවතී. මේ අතර කවියේ මුඛ්‍යාර්ථය බවට පත්ව ඇත්තේ දරුවකු අපේක්ෂා කරන පීතෘ ස්නේහය උත්කර්ෂයට නැංවීම ය. රාහුලට පීතෘ ස්නේහය උත්කර්ෂයට නැංවීම ය. රාහුලට පීතෘ ස්නේහය පිළිබඳ සුන්දර අත්දැකීම විඳින්නට ලැබෙන්නේ නැත. එබැවින් ඔහු එය ලබා දෙන්නැ’ යි බුදුන් වෙත අභියාචනයක් ඉදිරිපත් කරයි‍. රාහුලගේ ඉල්ලීම යුක්ති සහගත ය. එය මනුෂ්‍යත්වයේ තවත් එක් පැතිකඩක් ලෙස ද සැලැකිය හැකි ය.

මේ කාව්‍ය ප්‍රබන්ධය උපුටා ගත්තේ ‘රාහුල පුතු ඉල්ලයි’ යන පද්‍ය සංග්‍රහයෙන් ය. පද්‍ය සංග්‍රහයක් යැයි කිය‍ූව ද ගීත හා කවි යන දෙක ම එහි අඩංගු ය. මීට අට වසරකට පෙර එනම්; 2009 දී කෘතිය එළිදක්වා ඇත. එහෙත් එහි එන බොහෝ නිර්මාණ එදාට - අදට මෙන් ම මතු අනාගතයටත් වලංගු ය. එම සංග්‍රහයේ ඇති හොඳම නිර්මාණය ලෙස ද, විවාදාපන්න ප්‍රබන්ධය ලෙස ද මේ කවිය හඳුන්වන්නට පුළුවන.

චන්ද්‍රසේන කවියා සිය ප්‍රස්තුතය ශක්තිමත් කිරීම සඳහා ද එහි සංවේදීතාව තීව්‍ර කිරීම සඳහා ද උපාය මාර්ග කිහිපයක් භාවිත කරයි. එක; ඓතිහාසික පවුලක් පාඨකයා වෙත ඉදිරිපත් කිරීම ය. එම පවුල රාජකීය - ලෝක ප්‍රකට මෙන් ම ගෞරවනීය ද වන්නේය. එනම්; ක්‍රි.පූ. පස්වන සියවසෙහි ශාක්‍ය ජනපදය කේන්ද්‍ර කොට මහා භාරතයෙහි තහවුරු ව‍ූ ශුද්ධෝදන රජ පරම්පරාව ය. මේ අනුව කවියා සිය වස්තු බීජය වපුරන්නේ සාරවත් හා ශක්තිමත් පසුබිමක් තුළ ය.

දෙක: ලෝකයේ අසමසම ශාස්තෘවරයා හා දාර්ශනිකයා ප්‍රශ්න කිරීමට ඉදිරිපත් වීම ය. එය විස්මය දනවන්නකි. කවියා රාහුල පුතු ලවා බුදුන් වෙත ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් කරවයි. එය සිදුවන්නේ බුදු ගෞරවයට හානියක් නොවන අයුරින් ය. හර්මන් හෙස ‘සිද්ධාර්ථ’ නම් ප්‍රබන්ධය ඔස්සේ ගෞතම බුදුන් වහන්සේ ද, එම දර්ශනය ද ප්‍රශ්න කිරීමට ලක් කරයි. බුදුන්ගේ උපදේශනය වන්නේ ද විචාරයකින් තොරව කිසිවක් එකවර නොපිළිගනු යන්න ය.

තුන; කවියා සිය ප්‍රබන්ධයෙහි රමණීයත්වය ගොඩනැඟීම සඳහා සුරතල් - ලද - බොළඳ - හුරුබුහුටි දරුවකු අප ඉදිරියෙහි තබයි. ඒ රාහුල පුත්‍රයා ය. කවියේ මුළු මහත් ආකර්ෂණීය රැඳී ඇත්තේ රාහුල පුත්‍රයා මත ය‍.‍ ඔහුගේ ඉල්ලීම්, හැඟීම් හා ප්‍රශ්න අප කිසියම් කම්පනය කට ලක් කරයි. දරුවන් ගැන නැවත - නැවත සිතා බලන්නට ද, පීතෘ ස්නේහය විමසා බලන්නට ද අප පොලඹවයි. සිද්ධාර්ථ තම කුටුම්බය උදෙසා වූ වගවීම් ඉටු කර තිබේද යන ගැටලුවක් ද අප හමුවෙහි

ඉතිරි වෙයි. කවියා අපගේ හැඟීම්වලට පමණක් නො ව; බුද්ධියට ද තට්ටු කරන බවක් පෙනෙයි.

හතර; මේ කවියෙන් මූලික ලෙස සාකච්ඡා වන්නේ නූතන සමාජ අර්බුදයකි. දැනට අපි එය අත් විඳිමින් සිටිමු. මාපිය දූ දරු සබඳතා ගිලිහී යන්නට පටන්ගෙන තිබේ. එය ම නොයෙක් ආකාරයෙන් සංවාදයට ලක් වෙයි‍. මෙහි දෙපැත්තක් තිබේ. එක අතකට මාපියෝ දරුවන් උදෙසා වූ වගවීම් අත් හරිති. තව අතකට දරුවෝ මාපියන් උදෙසා වූ වගකීම් අත් හරිති. මෙය සමාජ අර්බුදයක් බවට ද, සංස්කෘතික ගරා වැටීමක් බවට ද පත්ව තිබේ. මේ අනුව බලන විට කවියා අතිශය කාලීන මාතෘකාවක් සංවාදයට ගනී.

රමණීයත්වය ගොඩනඟන අතර සමාජ ගැටලු සියුම් සංවාදයකට යොමු කිරීම කවියාගේ එක් විලාසයක් ලෙස සැලැකිය හැකි ය. රමණීයත්වය හා බුද්ධිමය සංවාදය යන දෙකම කවියකුට සිය නිර්මාණ ඔස්සේ ගොඩනැඟිය හැකි නම්; එය සාර්ථක අභ්‍යාසයක් සේ සැලැකිය හැකි ය.

නූතන දරුවාගේ මානසික ආතතියට, ප්‍රචණ්ඩත්වයට හා අකීකරුකමට බලපාන ප්‍රධාන මානසික තත්ත්වයක් ලෙස සෙනෙහස අහිමිවීම දක්වා තිබේ. ධනපති සමාජ ක්‍රමය තුළ මවුපියෝ අවිවේකී වෙති. ඔවුනට දරුවන් උදෙසා කැපකිරීමට කාලයක් නැත. මේ තත්ත්වය තුළ ගෘහමූලිකයා හෙවත් පියා ඉතා ඉක්මනින් පවුලෙන් දුරස් වෙයි. අපේ සම්ප්‍රදාය තුළ ඇත්තේ ද පියා පවුලේ සංවාදයෙන් ඈත් වන ප්‍රවණතාවකි. පියා නිහඬ ය. ගැඹුරු ය. ප්‍රතාපවත් ය. ඔහු දරුවන් හා කතාවට යන්නේ අවශ්‍ය ම තැනෙක දී පමණි. එහෙත් දරුවන් විෂයයෙහි ලා සලකන විට මෙය හොඳ තත්ත්වයක් නොවේ.

බණ කතා සාහිත්‍යයෙන් ද අපට උගන්වා ඇත්තේ මවුපිය - දූ දරු සබඳතාවල වැදගත්කම ය. සාම ජාතක ය. සෝණනන්ද ජාතකය ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය. සාම ජාතකයෙහි ප්‍රධාන චරිතය වන සාම කුමාරයා සිය අඳ මවුපියන් රකින ආකාරය කියවන කෙනකුගේ හද කම්පා වෙයි. සෝණනන්ද ජාතකයෙන් කියැවෙන්නේ තවුස්දම් පුරමින් තම මාපියන් රක්ෂා කරන ආකාරයයි. පුළුල් අර්ථයකින් ගතහොත් චන්ද්‍රසේන කවියා පවුලක සාමූහිකත්වය, ආදරය බෙදී යෑම ගැන ද කතා කරයි. එය ඇත්තේ කවියේ යටි පෙළ තුළ ය.

රාහුල පුතු පිය සෙනෙහස ඉල්ලා සිටින ආකාරය තුළ ඇත්තේ ශූර නිරූපණයකි. පළමුව කවියා නිරූපණය කරන්නේ හුදෙකලාවේ බලා සිටින රාහුල පුත්‍රයා ය. රාහුල පුත්‍රයා යැයි කියූව ද ඒ කුඩා සාමණේර හිමි නමකි. ඒ හිමියන්ට ආදරය හා රැකවරණය පිළිබඳ හැඟීම් ඇතිවීම අරුමයක් නො වේ.

චන්ද්‍රසේන කවියා මේ පැදි හතර ඔස්සේ වෘත්තාන්තයකට අවශ්‍ය සිදුවීම් පෙළක් නිරූපණය කර දක්වයි.

I. විහාරයක හුදෙකලා වූ රාහුල හිමි

II. සුදොවුන් රජ‍ුගේ උකුෙළ් සිට කතා අසන රාහුල පුතු

III. සිය පියාණන් වෙත ආයාචනය කරන පුංචි රාහුල

රාහුල පුත්‍රයාට සතරමහ නිධාන අවශ්‍ය නැතැ’ යි ඔහු කියා සිටී. සිය පියාගේ ඇ‍ඟෙහි දැවටෙමින් සුරතල් කතා කියන්නට, ඔහුගේ උකුළට පැන ප්‍රශ්න කරන්නට අවස්ථාවක් රාහුල පුත්‍රයා ඉල්ලා සිටී. අවසන් ලෙස ඔහු ඉල්ලා සිටින්නේ මා එක වරක් හෝ සුරතල් කරන්න යන්න ය. පුංචි දරුවකු සිය පියාගෙන් අපේක්ෂා කරන ආදරය ප්‍රකාශ කල හැකි වෙනත් ආකාරයක් නැති තරම් ය.

කවියේ රිද්මය ඔස්සේ මතුවන්නේ ද ශෝකයකි. අප වඩාත් ශෝකයට පත්වන්නේ රාහුල පුතු ගැන ය. හිත ‍රිදෙන්නේ ඔහු ගැන සිතන විට ය.

Comments