මිය යමුද වරක්... | සිළුමිණ

මිය යමුද වරක්...

ඔබට කිසිදිනක හෝ මිය යෑමට සිතී තිබේද? කලබල වන්නට එපා, මා ඔබට පවසන්නේ ජීවිතයෙන් සමු ගැන්ම ගැන නොවේ. ජීවිතය ගැන කලකිරුණු බොහෝ අවස්ථාවල ඔබට මියැදෙන්නට සිතුණු වාර අනන්ත අප්‍රමාණ වන්නට ඇති. ඒත් ඇත්ත වශයෙන් ම ඔබේ සිතිවිල්ල ගොනු වූයේ මිය යෑමට නම් නොවේ. ඒ අවස්ථාවේ ජීවිතයෙන් පලා යන්නට නොවේද? ඊළඟ මොහොතේ ඔබට මැරෙන්නට සිතුණා යැයි කියා අමතක වන තරමට ම ඔබේ සිතිවිලි විසරණය වන්නටත් ඇති. ටික කාලයකට මිය ගොස් නැවත පෙර පරිදි ම ඉපදෙන්නට ඔබට සිතී නැත්ද? එයත් අනන්ත වාරයක් ඔබට සිතී ඇතිවාට සැක නැහැ. මිය යෑම ජීවත්වීම තරම්ම අපේ ජීවිතවලට බද්ධ වී තිබෙනවා නොවේද?

ඔබ, මම, අප සෑම දෙනාම ජීවත්වන්නේ චින්තනය පාදක කරගනිමිනි. චින්තනය අපේ ජීවිතවලට ඉමහත් බලපෑමක් එල්ල කරනු ලබයි. එහෙත් චින්තනය කිසිවිටෙකත් අලුත් නොවන්නේ නම්... චින්තනය ලෙසින් අදහස් කරන්නේ මතකයේ අඛණ්ඩ පැවැත්මයි. ඔබේ චින්තනය ගැන ඔබ අවදියෙන් නම් එහි අඛණ්ඩ පැවැත්ම හඳුනා ගැනීමට අපහසු නැත. සත්‍ය ලෙසින් ම චින්තනය නිරන්තරයෙන් ම නිමා වූ දෙයක ඵලයක් ලෙසින් ගොඩනැඟී තිබේ. ඔබ අසාවි නිසැකයෙන් ම ඇයි නව චින්තනයක් තිබිය නොහැකි ද කියා. අලුත් යමක් ඇතිවිය හැක්කේ අවසානයක් ඇති දෙයක පමණී; තවත් සරල ව කියන්නේ නම් අඛණ්ඩ නොවන දෙයක පමණී... පිළිගන්නවාද ඔබ...එබැවින් නිවැරදි අවබෝධයක් ලබා ගැන්මට නම් මරණයට පත් විය යුතුව ඇත.

කුමක්ද ඔබ මේ කියන්නේ කියා ඔබ අසන බව මට ඒකාන්තයි. මඳක් පැහැදිලි ව සිතන්න... ඔබ මිය යෑම යනුවෙන් සිතන්නේ භෞතික ශරීරය හැර යෑම පමණක් ම ද? එසේ නොවේ, උත්සාහ කර බැලුවහොත් ඔබේ වත්මන් චින්තනයට මිය යෑමට සැලැස්විය හැකි බැව් ඔබට වැටහෙනු ඇත. ඔබ කවදා හෝ එයට උත්සාහ කර තිබේද? එක් මොහොතකට... ඔබේ දැනුමෙන් නිදහස් වීමට; මතකයෙන් නිදහස් වීමට; බැඳීම්වලින් නිදහස් වීමට ඔබ උත්සාහ කර තිබේද? ඔබේ පවුලට, නිවෙසට, නමට එක් මොහොතක් මිය යෑමට ඉඩ දෙන්න... ඔබට ප්‍රචණ්ඩත්වයක් නැති, සාහසිකත්වයක් නැති, සරල සුන්දර මිනිසකු විය හැක්කේ සම්පූර්ණයෙන් ම ඔබට, ඔබ අතහැරිය හැකි නම් පමණී. එබැවින් උත්සාහ කර බලන්න දිනපතා මිය යන්න; නැත්නම් ඉඳහිට හෝ එසේ කරන්නට...

අපි, අපේ ජීවිත කාලය ඇතුළත බොහෝ දේ එකතු කරගෙන ඇත්තෙමු. මුදල්, ගේ දොර ඉඩකඩම්, යාන වාහන, පොත්පත්, ඇඳුම් පැලඳුම් ආදී බාහිර දේ පමණක් නොව; නින්දා, අපහාස, ප්‍රශංසා, ආදරණීය සැමරුම්, නොතකා හැරීම් ආදී අභ්‍යන්තර සිතිවිලි පවා එකතු කරගෙන ඇත්තෙමු. ඉදිරියේදී ඔබට ලැබෙන දේ, තව කෙනකුට ඇති ඔබට නැති දෙයක් පිළිබඳ බලාපොරොත්තුව, තනතුරු තානාන්තර පිළිබඳ ආශාව ආදී බොහෝ දේ මම මෙන් ම ඔබ ද එකතු කරගෙන ඇති බවට සැක නැත. ඔබට හැකිද මේ සියල්ල ම කිසිදු විවාදයකින් තොරව ම අතහැර දමන්නට.. ඒ සියල්ලට ම මිය යෑමට ඉඩ හරින්නට. යම් වේලාවක එසේ කර බලන්න, ඔබට ම වැටහේවි කොතරම් සරල සුන්දර සන්සුන් බවක් ඔබේ සිතට දැනෙනවාද කියා.

අභ්‍යන්තර වශයෙන් කිසිවකට ඇලීමක් නැති වීම සිතට අසාමාන්‍ය සුන්දරත්වයක් ඇති කරයි. ඔබ දන්නවාද ආදරය කියන්නේ එයට කියා... ආදරය යනු ඇලීම නොවෙයි. ඇලීම ඇති හැම තැන ම බිය ඇත. ඒ බිය විසින් ඔබට, ඔබ මට, මම නැති කරන්නේ ය; අපේ සිත පාලනය කරන්නට පටන් ගන්නේ ය.

තමා අභ්‍යන්තරයේ ඇති සියලු ම දේ මිය යෑමෙන් ඔබට අප්‍රමාණ සැනසිල්ලක් ලැබෙනු ඇත. ඔබේ සිතට පීඩා කරන, බිය කරන කිසිවක් එහි නැත. ඇත්තේ නැවුම් පිවිතුරු බව ම පමණී. ඒ නැවුම් බව ඔබේ, මගේ සිතේ ඇති කරන පූර්ණ නිහඬ බවට නිශ්චලත්වයට ආදේශක නැත. එවිට ඔබ සිතෙහි ඇතිවන සියලු සිතිවිලි නැවුම් ය; අලුත් ය. එය වදන්වලින් ඔබ්බෙන් පවතින දෙයකි. අප සෑම විට ම, සදාකාලික ව සොයන සැපය එයයි. එය ඔබ ම, මම ම සොයා ගන්නවා විනා වෙන කෙනකුට ලබාදිය නොහැකිය. නව චින්තනයක්, නැවුම් පිවිතුරු බවක් ළඟාවීමට ඔබේ සිතේ ආදරය දෝරේ ගැලිය යුතුය. උත්සාහ කර බලමුද, වරක් හෝ අභ්‍යන්තර වශයෙන් මිය ගොස් බැලීමට...

[email protected]

Comments