
රටක් වටින මිනිසකු රටකට බිහිවන්නේ ඉතා කලාතුරකිනි. එබඳු මිනිසකු ඉතා ටික කලකින් ඒ රටට අහිමිවන්නේ නම්, එය එම රටේ සමස්ත ජනතාවගේ ම අවාසනාවකි. සිරි ගුනසිංහ යනු එලෙස අපේ රටට අහිමි වූ මානව සම්පතකි. ඔහු කලා ක්ෂේත්‍රයේ බහුවිධ අංශයන්හි කුසලතා දැක්වූ නිර්මාපකයෙකි. බී.ඒ. ශ්‍රියාරත්න ගුනසිංහ යනු එතුමාගේ උප්පැන්න සහතිකයේ ඇතුළත් වූ මුල් නම ය. ඔහුගේ මෑණියන් විසින් තම පුතණුවන් ‘සිරි’ යන නාමයෙන් අමතන ලදී. එම නිසා, ඔහු ‘සිරි ගුනසිංහ’ යන නමින් පසුකලෙක ප්‍රචලිත වෙයි. ගුනසිංහ 1925 පෙබරවාරි මස 15 වැනි දින රුවන්වැල්ල, බුලත්කොහුපිටිය ගමේ උපත ලැබුවේ ය. ඔහුගේ පියා දකුණු පළාතේ සිට රුවන්වැල්ලට පැමිණ වෙළහෙළදාම් කටයුතුවල නිරත වූයේ ය. පියා රුවන්වැල්ල ප්‍රදේශයෙන් විවාහ වී එහි පදිංචි වෙයි. ඔවුනට ලැබුණ වැඩිමහල් දරුවා සිරි ගුනසිංහ ය. පියාගේ ඥාතීහු ගුනසිංහයන් ගාල්ලට කැඳවා ගෙන ගියහ. එය ඔහුගේ ජීවන ගමන් මාර්ගයේ සන්ධිස්ථානයක් විය. මුලින් ම ගුනසිංහ අක්මීමන නාගබෝධි විද්‍යාලයට ඇතුළු වෙයි. පසුව, ගාල්ලේ මහින්ද විද්‍යාලයට ප්‍රවේශවීමේ අවස්ථාව ඔහුට ලැබිණ. එම විද්‍යාලයේ ඉගෙන ගන්නා අවධියේදී මේ ශිෂ්‍යයා කාව්‍ය නිර්මාණය කිරීමටත්, කතන්දර ලිවීමටත් රුචියක් දැක්වූයේ ය. ළමා අවධියේ සිට ම චිත්‍ර ඇඳීමට ද හෙතෙම යොමු වෙයි. එකල දීප ව්‍යාප්ත ව පැවති පාලි විභාගයෙන් දිවයිනේ ප්‍රථමයා වීමට තරම් හේ හපනෙක් වූයේ ය. පාසල් සමයේ දී ඔහුගේ සමීපතම මිතුරා වූයේ එඩ්වින් ආරියදාස සිසුවා ය. ‘බාස්’ යන විරුද නාමයෙන් ගුනසිංහයන් ප්‍රචලිත වූ අතර ‘දාස්’ යන විරුද නාමයෙන් ආරියදාස ප්‍රචලිත විය. එකල මහින්ද විද්‍යාලයේ විදුහල්පති වූ ඊ.ඒ. විජේසූරිය මහතා ගුනසිංහයන් කියවීමට අභිප්‍රේරණය කළේ ය. පාසලේ පීටර් තේනබඳු ගුරුතුමාගෙන් ඔහු ඉතා ආශාවෙන් සිංහල විෂය හැදෑරුවේ ය.
විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයෙන් ඉහළින් සමත් වූ ගුනසිංහ1945 දී කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළු වූයේ ය. සිය ගජ මිතුරා වන එඩ්වින් ආරියදාසයන් සමඟ ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක හෙතෙම නවාතැන් ගනියි. පසු කලෙක විනී විතාරණ ද ඔවුන් සමඟ එකතු වූයේ ය. විනී විතාරණ හෙළ හවුල අනුගමනය කළේ ය. ගුනසිංහ හා ආරියදාස එම මඟ ප්‍රතික්ෂේප කළහ. ගුනසිංහ සංස්කෘතික භාෂාව ප්‍රධාන විෂය වශයෙන් තෝරාගෙන ගෞරව උපාධියක් සඳහා සූදානම් වූයේ ය. ඊට අමතරව සිංහල, පාලි, බෞද්ධ ශිෂ්ටාචාරය යන ඉන්දු - ආර්ය විෂයයන් ඉගෙනීමට ද, තරුණ ගුනසිංහ යොමු විය. එකල එම අංශයේ ප්‍රධානියා වූයේ ගුනපාල මලලසේකර සූරීහු ය. එම විද්වතාගේ ආභාසය මේ විද්‍යාර්ථියාට ලැබිණ. ලංකා විශ්වවිද්‍යාලයේ අවසාන පරීක්ෂණයෙන් ප්‍රථම පන්තියේ සාමර්ථ්‍යයක් ලබාගැනීමට ගුනසිංහ සමත් විය. ප්‍රාචීන භාෂා පීඨයේ ඉහළම ලකුණු ලබාගැනීම නිසා, එම පීඨයෙන් පිරිනැමෙන ශිෂ්‍යත්වය ද, ගුනසිංහට ප්‍රදානය කෙරිණ.
වර්ෂ 1948 දී ලංකා විශ්වවිද්‍යාලයේ (කොළඹ) සහකාර කථිකාචාර්ය ධූරයක් ගුනසිංහට ලැබිණ. ටික කලකට පසුව, හේ ලන්ඩන් නගරයේ පිහිටි ප්‍රාචීන භාෂා පිඨයට ආචාර්ය උපාධිය හැදෑරීමේ අරමුණෙන් ගියේ ය. එහිදී උපදේශක මහාචාර්යවරයා සංස්කෘත ව්‍යාකරණය ගැන නිබන්ධයක් ලිවීමට ඔහුට නියම කළේ ය. එහෙත්, ගුනසිංහ ලලිත කලා විෂයයක් තෝරා ගැනීමට කැමැත්ත පළ කළේ ය. එයට අනුමැතිය නොලැබුණ බැවින් ගුනසිංහ ප්‍රංසයේ සෝර්බෝන් සරසවියට පිවිසියේ ය. තත් සරසවියේ ප්‍රාචීන අංශයේ මහ ඇදුරන්ගේ මග පෙන්වීම අනුව සිය ආචාර්ය උපාධි නිබන්ධය සඳහා හෙතෙම පර්යේෂණ කටයුතු කළේ ය. ඔහු සිය පර්යේෂණය කළේ ඉන්දීය කලා ශිල්ප ඇසුරින් චිත්‍ර කලාවේ විධි නියම පිළිබඳවයි. ගුනසිංහගේ පර්යේෂණ නිබන්ධය විශිෂ්ට ගණයේ නිබන්ධයක් විය.
ගුනසිංහ යළි ලංකා විශ්වවිද්‍යාලයට පැමිණෙයි. 1955 වර්ෂයේදී මේ කුසලතා පූර්ණ ආචාර්යවරයාණන් ලංකා විශ්වවිද්‍යාලයේ පේරාදෙණි මණ්ඩපයට අනුයුක්ත කෙරිණ. එහි ද ඔහු සංස්කෘත අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කළේ ය. 1980 වර්ෂයේදී ගුනසිංහ සප්ත වාර්ෂික නිවාඩු ලබාගෙන වසර දෙකක් සඳහා ආරාධිත මහාචාර්යවරයකු වශයෙන් කැනඩාවේ වික්ටෝරියා විශ්විද්‍යාලයට පිටත්වූයේ ය. ඔහු විශිෂ්ට නවකතාකරුවෙකි; පෙරළිකාර කවියෙකි; සාහිත්‍ය විචාරකයෙකි; චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි; චිත්‍ර ශිල්පියෙකි; බහු භාෂා උගතෙකි; පුරාවිද්‍යාඥයෙකි; රංග වස්තු නිර්මාණ හා වේශ නිරූපණ ශිල්පියෙකි; එමෙන් ම මානවහිතවාදියෙකි.
ගුනසිංහයන් නවකතාකරුවකු වශයෙන් ප්‍රකට ය. 1960 දී පළ කළ ‘හෙවනැල්ල’ සරසවි මහ ඇදුරකු විසින් රචිත දෙවැනි සිංහල නවකතාවයි. මෙය විඥානදාරා රීතියෙන් රචිත ප්‍රථම සිංහල නවකතා නිර්මාණයයි. පසුකලක දී ගුනසිංහ ‘මන්තුරම’ හා ‘මිරිඟුදිය’ යන නවකතා දෙක පළ කළේ ය. ගුනසිංහ පෙරළිකාර කවියෙක් ද වෙයි. 1949 දී හෙතෙම අරුණ සඟරාවේ ‘ආපසුව’ නමින් නිසඳැස් පද්‍ය පන්තියක් පළ කළේ ය. 1951 දී හේ පියවර සඟරාවේ ‘ඊයේ සොඳුර’ කාව්‍ය නිර්මාණය පළ කළේ ය. 1956 දී ‘මස් ලේ නැති ඇට’ නමැති නිසඳැස් කාව්‍ය සංග්‍රහය ඔහු විසින් පළ කරන ලදී. අනතුරුව, ගුනසිංහ අබිනික්මන (1956), රතු කැකුල (1962) හා ආලකමන්දාව (1998) යන කාව්‍ය සංග්‍රහ පළ කළේ ය. ගුනසිංහයන්ගේ කවි කිහිපයක් තෝරාගෙන හේමමාලි විසින් ‘Beyond Words’ නමින් ඉංග්‍රීසියට පරිවර්තනය කර තිබේ. සිංහල කවියේ වස්තු විෂයය, දෘෂ්ටිය, භාෂාව, ආකෘතිය නව මගකට ගෙන යාමට ගුනසිංහ සමත් විය.
ගුනසිංහ සාහිත්‍ය විචාරකයෙක් ද වෙයි. ඔහු සංස්කෘත සාහිත්‍ය විචාර සිද්ධාන්ත ඇසුරින් සිංහල සාහිත්‍ය ග්‍රන්ථ විචාරයට ලක් කළේ ය. සරසවියේදී එතුමා ‘මේඝ දූතය’ සිසුනට රස විඳීමට සැලැස්වූයේ සංස්කෘත විචාර සිද්ධාන්ත භාවිත කරමින් ය. 1986 දී ගුනසිංහයන් විසින් ‘චිරන්තන සම්ප්‍රදාය හා ප්‍රගතිය’ නමින් සාහිත්‍ය විචාර ග්‍රන්ථයක් පළ කරන ලදී. ගුනසිංහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ද වන්නේ ය. ඔහු ඇමෙරිකාවේ කැලිෆෝනියාව ගොස් චිත්‍රපට කලාව පිළිබඳ අධ්‍යයනයක් කළේ ය. ගුනසිංහ ‘සත් සමුදුර’ චිත්‍රපටයේ තිර රචනයත්, අධ්‍යක්ෂණයත් කරයි. වර්ෂ 1967 දී චිත්‍රපටය තිරගත කෙරිණ. වර්ෂ 1968 දී පැවැති සරසවි සම්මාන උලෙළේදී සත් සමුදුරට සම්මාන කිහිපයක් ලැබිණ. හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් ගුනසිංහට සම්මානයක් හිමි විය.
ගුනසිංහ පෙරදිග චිත්‍ර කලාව පිළිබඳ විශේෂඥයෙකි. එම නිසා ඔහුට අන්තර්ජාතික පිළිගැනීමක් ඇත. ඔහු නුවර චිත්‍ර හා සීගිරි චිත්‍ර ගැන පර්යේෂණ කළේ ය. ඒවායේ වටිනාකම ගුනසිංහ පෙන්වා දුන්නේ ය. ඔහු චිත්‍ර ශිල්පියෙකි. ඔහු වරින් වර ලංකා විශ්වවිද්‍යාලයේ චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වූයේ ය. ගුනසිංහ භාෂා කිහිපයකද ප්‍රවීණයෙක් විය. සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත ජර්මන් හා ප්‍රංශ භාෂා පිළිබඳ පටුත්වයක් ඔහුට තිබිණ. ඔහු සිංහල ජර්මන්, ප්‍රංශ හා ඉංග්‍රීසි යන භාෂාවලින් ජාත්‍යන්තර සම්මන්ත්‍රණවලට පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කළේ ය.
ගුනසිංහ පුරාවිද්‍යාඥයෙක් ද වන්නේ ය. ඒ සම්බන්ධයෙන් හෙතෙම නව මතවාද ඉදිරිපත් කළේ ය. ඔහු සංස්කෘත අධ්‍යයනාංශයෙන් ඉවත් වී පුරාවිද්‍යා අධ්‍යයනාංශයට අනුයුක්ත වීමට කැමැත්ත ප්‍රකාශ කර තිබිණ. එහෙත් එම අපේක්ෂාව මුදුන් පමුණුවා ගැනීමට ඔහු සමත් නොවූයේ ය. වේශ නිරූපණ ශිල්පියකු හා රංග වස්තු නිර්මාපකයකු වශයෙන් ද, ගුනසිංහ කටයුතු කළේ ය. මනමේ නාට්‍යයේ රංග වස්තු නිර්මාණය, වේදිකා සැරසිලි හා නළුවන්ගේ වෙස් ගැන්වීම් (ආරම්භක යුගයේ දී) කරන ලද්දේ ඔහු විසිනි.
වසර දෙකක කාලයකට කැනඩාවට ගිය ගුනසිංහ තවත් වසරකින් සේවා කාලය (වැටුප් රහිත නිවාඩු මත) දීර්ඝ කරගැනීම සඳහා ලිපියක් මෙරට සරසවි බලධාරීන් වෙත එවුවේ ය. ඒ සඳහා අනුමැතිය වෙනුවට ගුනසිංහට ලැබුණේ සේවය අතහැර ගිය බවට ලිපියකි. මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ තිබෙන නිලධාරිවාදය නිසා අපේ රටට අත්‍යවශ්‍ය ම ප්‍රාඥයෙක් අහිමි විය. ගුනසිංහ යනු දැවැන්ත පෞරුෂයක් හා ඥාන සම්භාරයක් තිබුණ බුද්ධිමතෙක් පමණක් නොවේ; මිත්‍රශීලි බවෙන් පිරුණු, නිහතමානී ගුණයෙන් යුත්, සරල මිනිසෙක් ද විය. 2017 මැයි මස 24 වැනි දින මේ විශිෂ්ට ගණයේ මහාචාර්යවරයා කැනඩාවේදී අවසන් හුස්ම හෙළුවේ ය. වසර අනූ දෙකක් ජීවත්වූ මේ මහ කලාකරුවාගේ ජීවිත කාලයෙන් වසර තිස් හතක් දැයට අහිමිවීම මේ රටේ ජනතාවගේ අභාග්‍යයක් නො වේ ද?