නව පර­පුර පෙර නිර්මාණ අධ්‍යය­නය කළ යුතුයි | Page 2 | සිළුමිණ

නව පර­පුර පෙර නිර්මාණ අධ්‍යය­නය කළ යුතුයි

පොලිස් නිල කබාය පසෙකින් තබා සරස්වතියට පෙම් බැඳි මේ සෞන්දර්යවේදියා ගීතය, වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය හා ගුවන් විදුලි හඬ නළුව අතර දශක හයක් පුරා විරාජමානය. රංග ප්‍රතිභාව මෙන් ම ඔහුගේ හඬ පෞරුෂය මෙරට සුවහසක් රසික කැල යුග යුග සනහාලන්නක් ම වේ. ගුවන් විදුලි හඬ නළුවේ එකම භූමිකාවක් දශක පහකට අධික කාල පරාශයක් අඛණ්ඩ ජනප්‍රියත්වයෙන් නිරූපණය කරමින් සිටින වෙනත් ශිල්පියකු ලොව සිටී දැයි අපි නොදනිමු. එහෙත් ඒ අපූරු භාග්‍ය ලද ඒ විරල මිනිසා අද අපි ‘පැහැසර හමුව’ ට කැඳවන්නෙමු. ඔහු විජේරත්න වරකාගොඩයන් ය.

උපන් දිනය?

1933 නොවැම්බර් 21‍

* උපන් ගම?

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැල්ලව රංගම කියන මවගේ ගමෙයි මම ඉපදුණේ. නමුත් උපන්ගම වශයෙන් සලකන්නේ මහනුවර හාරිස්පත්තුවේ වරකාගොඩයි.

* උප්පැන්නයේ නම?

රාජකරුණා නවරත්න අතපත්තු මුදියන්සේලාගේ විජේරත්න බණ්ඩා වරකාගොඩ

* දෙමවුපියන්?

මද්දුම බණ්ඩා වරකාගොඩ මගේ අප්පච්චි මෑණියන් බස්නායක මුදියන්සේලාගෙ රන්මැණිකා

* මුලින් ම පාසල් ගියේ?

මාරවිල කතෝලික පාසලට

* ඉන් පසුව?

අප්පච්චි පොලිසියේ සාජන්ට්වරයෙක් නිසා නිතර මාරුවීම් ලැබුණා. ඒ නිසා දිවයිනේ පාසල් ගණනාවකට ගියා.

* ඒ ගැන සඳහන් කළොත්?

පුත්තලමේ ශාන්ත ඇන්ඩෲ කන්‍යාරාමය, කුලියාපිටිය ශාන්ත ජෝශප් විද්‍යාලය, ගලගෙදර ද්විභාෂා පාසල, කුරුණෑගල ශාන්ත ආනා විදුහල. එහිදී මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සමත් වුණා.

* ඉන් පසුව අධ්‍යාපනය නතර වුණා?

නෑ! විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු වුණා.

* එහිදී විශ්වවිද්‍යාල ප්‍රවේශය සමත් වුණා?

නෑනේ...! ඉන් පසුව 1954 මා නැවත කුරුණෑගල මලියදේවයට ඇතුළු වී විශ්වවිද්‍යාල ප්‍රවේශය ලිව්වා.

* එහිදී සමත් වුණා.

ඒත් නෑ.

* රැකියාවක් කරන්න තීරණය කළා?

ඔව්! රජයේ ආයතන පහකට ඉල්ලුම් පත්‍ර දැම්මා.

* මුල් ම රැකියාව?

ලංකා බැංකුවේ කුරුණෑගල ශාඛාවේ 1955 ජනවාරි සිට ජූනි දක්වා.

* ඇයි ජූනි දක්වා කිව්වේ?

ඉන් පසුව මම උප පොලිස් පරීක්ෂකයකු ලෙස පොලිසියට බැඳුණා. අදට වඩා එදා සම්පූර්ණ වෙනස්. රැකියාවට බඳවා ගන්නේ සුදුසුකම් මත පමණයි.

* කලා ක්ෂේත්‍රයට සම්ප්‍රාප්තවීම පිළිබඳ දැන් අපි කතා කරමු. මම 1960 ගුවන් විදුලියේ ‘ඒ’ ශ්‍රේණියේ සරල ගී ගායකයෙක් ලෙස සමත් වුණා.

* මොකක්ද ගායනා කළ පළමු ගීතය?

අනේ අපොයි මතක නෑ.

* පාසල් කාලයේ පටන් ගීත ගායනා කිරීමේ හැකියාව තිබුණා?

ඔව්! කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ මම ගීතිකා කණ්ඩායමෙත් සිටියා. එහිදී ගායනය සඳහා ත්‍යාග පවා ලබා තිබෙනවා.

* ඔබ ගුවන් විදුලි හඬ ශිල්පියෙක් වෙන්නේ?

ඒත් 1960

* සිනමාගමනය ගැන මතක් කරමු?

රොබින් තම්පෝ එවකට මගේ මිත්‍රයෙක්. එයා මාර්ගයෙන් මගේ පළමු චිත්‍රපටයට දායක වෙනවා.

* මොකක්ද පළමු චිත්‍රපටය?

‘සුහද දිවි පිදුම’ 1962 එය රූපගත කළේ කිරුළ පාරේ පිහිටි ලංකා චිත්‍රගාරයේ.

* පළමු චරිතය?

නීතිඥයකුගේ චරිතයක් මට එය රඟපෑමට කිසිම අපහසුවක් වුණේ නෑ.

* ඒ ඇයි?

එතකොට මම පොලිසි‍ෙයනේ. මට නිතරම වගේ උසාවි යෑමට සිදුවෙනවා. නීතිඥ චරිත නිතර දෙවේලේ ඇසුරු කරන්න ලැබුණා.

* සිනමා ගම‍ෙන් තවත් විස්තර ටිකක් දැනගන්න කැමැතියි.

මගේ තව මිත්‍රයෙක් හිටියා හර්බට් අමරවික්‍රම කියලා. ඔහු මාව ලෙස්ටර් මහත්තයා ළඟට එක්ක ගියා. එතකොට ‘ගම්පෙරළිය’ වැඩ පටන් ගන්න ආසන්න කාලේ.

* ලෙස්ටර් මහත්තයාගේ ප්‍රතිචාරය?

අයියෝ දැන් ප්‍රමාද වැඩියි ‘ගම්පෙරළියට’ නළු නිළියන් තෝරාගෙන අවසන් කිව්වා.

* හැරිලා ගෙදර ආවා?

නෑ! ලෙස්ටර් මහත්තයා අපව හිස් අතින් එව්වේ නෑ පුංචි චරිතයක් තියෙනවා දෙන්නම් කිව්වා.

* මොකක්ද ඒ පාර චරිතය?

දොස්තර චරිතයක්! ජිනදාසගේ මිනිය බලන්න නන්දව එක්ක යනවා. රෝහලේ මෝචරියට. එහිදී රෙදි කඩ ඉවත් කරලා ජිනදාසගේ සිරුර පෙන්නනවා. එච්චරයි.

* එකම වචනයක්වත් කතා කරන්න නෑ?

නෑනේ!

* වචනයක් කතා කරන්න නැතත් ‍ඔබේ රංගනය ගැන ලෙස්ටර් මහත්තයා පැහැදුණා ද?

ඔව්! පසුව මා ඔහුගේ අනෙක් චිත්‍රපට සඳහා ගත්තා.

* වේදිකා සම්ප්‍රාප්තිය?

1963 දී අජාසත්ත නාට්‍යයෙන්.

* එහි චරිතය?

‘බිම්බිසාර’ චරිතය එය ශෛලිගත නාට්‍යයක්.

* එය ඔබ අප‍ූරුවට කළා?

අපූරුවට කළාද කියන්නේ 1963 හොඳම ශෛලිගත නළුවාට හිමි රාජ්‍ය සම්මානය පවා ලැබුණා.

* වේදිකාව ගැන තව ටිකක් කතා කරමු?

මේ නාට්‍ය උලෙළේ අජාසත්තට ලැබුණ එකම සම්මානය තමයි මට ලැබුණේ. අනෙක් සම්මාන සියල්ලම ලැබුණේ හෙන්රි ජයසේනගේ ‘කුවේණි’ නාට්‍යයට.

* ඔබ එතරම්ම වාසනාවන්ත වුණා?

වාසනාවන්ත වුණා ද කියන්නේ! ඉන්පසුව හෙන්රිගේ ‘කුවේණි’ නාට්‍යයේ පොතේ ගුරු චරිතයත් ලැබුණා.

* පසුව?

‘මනමේ’, ‘ප්‍රේමතෝ ජයති ශෝකෝ’, ‘අපට පුතේ මඟක් නැතේ’, ‘හුණුවටයේ කතාව’, ‘කාලගෝල’ ආදී වශයෙන් තමයි වේදිකාවේ ගමන.‍..!

* ඔබ මේ සියල්ල සඳහා කාලය කළමනාකරණය කරගත්තේ කොහොමද?

පසු ක‍ාලයේ මා පොලිසියේ පැය අටක සේවා ස්ථානයකට මාරුවීමක් ලැබුණා. එය මගේ කලා කටයුතුවලට විශාල රුකුලක් වුණා. කොහොම වුණත් අන්තිමට මම 1964 පොලිස් සේවයෙන් ඉවත් වුණා.

* හේතුව?

කලා කටයුතු සඳහා පූර්ණ කාලීනව කැපවීමට. ‘හිරු පායනවා මල් පිබිදෙනවා මැණිකේ හිනැහෙනවා’ ගීතය මා ගයන්නෙත් 1964 දී.

* පද රචනා කර සංගීතය නිර්මාණය කළේ?

එය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පෙරමුණේ තිලක මහතාගේ කවි පන්තියකින් සකසා ගත් පද වැලක් ෂෙල්ටන් ප්‍රේමරත්නයන් සංගීතය නිර්මාණය කැර මට දුන්නා.

* ඔබ වේදිකාවට පොතේ ගුරු වගේ ම මේ රටේ ජනතාවට කෝරළේ මහත්තයා අපි ‘මුවන්පැලැස්ස’ පිළිබඳව කතා කරමු.

ගුවන් විදුලියේ තිබෙන මුදලිනායක සෝමරත්නයන්ගේ සමරුවට අනුව ‘මුවන්පැලැස්ස’ ආරම්භ වෙලා තිබෙන්නේ 1964 මාර්තු 12 වැනිදා. එදා පටන් මම මුවන්පැලැස්සේ ඉන්නවා.

* ඒ කියන්නේ ඔබ එදා මෙදා තුර කෝරළේ මහත්තයා?

නෑ! මුල් මාසවල මම රඟපෑවේ ‘‍ජෝන් මැක්වුඩ්’ කියන ඉංග්‍රීසි ජාතික නිලධාරියකුගේ චරිතය. පසුව තමයි මුවන්පැලැස්සේ චරිත මතුවන්නේ.

* ඒ කියන්නේ?

මේ සුදු ජාතික නිලධාරියා ඇතුළු කණ්ඩායමක් මුවන්පැලැස්සට යනවා සමීක්ෂණයක් කරන්න. ඒක තමයි මුවන්පැලැස්සේ ආරම්භය. ඉන්පසුව තමයි මුවන්පැලැස්සේ චරිත මතුවන්නේ.

* මොනවද ඒ චරිත?

වෙද මාමා, බිනරමලී, එතනහාමි, වෙඩික්කාරයා, ආරච්චිල.

* මේ චරිත පසු කාලයේ අතුරුදන් වෙනවා?

ඔව්! ඒක දිග කතාවක්.

* කෙටියෙන් දැන ගන්න කැමැතියි?

මුවන්පැලැස්ස රචනා කළ මුදලිනායක 1971 දී ඇමෙරිකාවේ පදිංචියට ගියා. පසුව එය රචනා කිරීමේ අවස්ථා‍ව ලැබුණේ වික්ටර් මිගෙල්ට.

* වික්ටර් මිගෙල්ගේ රචනාවක් ජනප්‍රිය වුණා.

ඔව්! ඔය අතරවාරයේ මුදලිනායක ඇමෙරිකාවේ ඉඳලා එන්තරවාසියක් එව්වා එයාගේ නිර්මාණයක් අවසරයක් නැතිව ප්‍රචාරය කරනවා කියලා.

* ගුවන් විදුලි බලධාරීන්ගේ ප්‍රතිචාරය වුණේ?

ඔවුන් කලබල වුණේ නෑ. ඔවුන් කිව්වා මුදලිනායකට මුදල් ගෙවලා අපි මෙය අරගෙන තියෙන්නේ කියලා. ඒ කොහොම වුණත් මේකේ චරිත ටිකක් වෙනස් කරමු කියලා තීරණය කළා.

* ඒකයි සිදුවීම?

ඔව්! මේ අනුව ආරච්චිල කෝරළේ මහත්තයා වුණා. එතනහාමි මැණිකේ වුණා. වෙද මාමා ඩිංගි ගුරුන්නාන්සේත් වෙඩික්කාරයා කදිරාත් වුණා.

* එදා මෙදා තුර ඔබ කෝරළේ මහත්තයා?

ඔව්නේ!

* එතකොට පිනා?

ආ... පිනා! පිනා අලුතෙන් එකතු වුණ චරිතයක්.

* ඔබ රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව?

සියයකට වැඩියි.

* ටෙලිනාට්‍යය?

සියයකට වැඩියි.

* වේදිකා නාට්‍යය?

ඒත් සියයකට වැඩියි. මා රඟපෑ නිර්මාණවල එකතුවක් මා ළඟ නෑ. මම අනෙක් කලාකරුවන්ගේ වතගොත යන ලිපි පොත් පත් කියවලා මම සිටි නිර්මාණ පිළිබඳ දැනගන්නවා. (සිනා)

* නමුත් එසේ එකතුවක් තිබුණා නම් හොඳයි නේද?

එහෙම කිරීමට මට වුවමනාවක් තිබුණේ නෑ. වෙලාවක් තිබුණෙත් නෑ.

* ඔබේ පුද්ගලික ජීවිතේ පිළිබඳ දැන ගන්න කැමැතියි.

සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මාහිමිපාණන් වහන්සේ මගේ ඥාති සහෝදරයෙක්.

* ඒ මතකය කොහොමද?

මහනායක හිමිපාණන් වහන්සේ කුඩා කල ගිහි අවධියේ මම වඩාගෙන පවා ඉඳලා තිබෙනවා.

* ඔබේ විවාහ ජීවිතය?

චිත්‍ර මට හමු‍වුනේ ‘කුවේණි’ නාට්‍යයෙන්.

* කුවේණි නාට්‍යයට ඇගේ සම්බන්ධය?

ඇය එහි රඟපෑවා.

* මොකක්ද චරිතය.

කුවේණියගේ දියණිය ‘දිසසලා’ ගේ චරිතය. ඇය එතකොට පාසල් ශිෂ්‍යාවක්.

* දුටු මුල් දවසෙම ඔබට ඇය ගැන සිතක් පහළ වුණා?

නෑ! ඇය එතකොට පාසල් ශිෂ්‍යාවක්නේ.

* හරි මේ පාසල් සිසුවිය කොහොමද ඔබගේ ප්‍රේමවන්තිය වෙන්නේ?

‘කුවේණි’ නාට්‍ය නිසා චිත්‍රාගේ ගෙදර උදවිය දැන හඳුනගන්න ලැබෙනවා. මේ දැන හඳුනා ගැනීම තමයි මුල.

* එතකොට ඇගේ අධ්‍යාපනය?

1966 දී ඇය කොළඹ විශ්වවිද්‍යාලයට තේරුණා. 1969 දී තමයි පිටවුණේ 1970 ජනවාරි 28 දින අපි විවාහ වුණා.

* කොහොමද ඔබේ තේරීම?

අතිවිශිෂ්ටයි (සිනා)

අපට කවරදාවත් වැරැදිලා නෑ.

* කොහොමද එදිනෙදා ජීවිතය?

ගෙදරට අවශ්‍ය එදිනෙදා බඩු ගේන්න ‘මාකට්’ යන්නේත් මම. කවදාවත් චිත්‍රා කඩේ යවලවත් නෑ! අපි ඉතා සතුටින් ඉන්නවා.

* ඔබේ දරුවන්?

දුව කැලිපෝනියා විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය පිළිබඳ පශ්චාත් උපාධිධාරීනියක්. දැන් මෙහේ උපදේශන සේවාවක් කරනවා. පුතා ජනනාත් කවුරුත් දන්නවනේ. තාල තරංග වාද්‍ය ශිල්පියෙක් බව.

* අපේ කලා ක්ෂේත්‍රයේ අලුත් පරපුර ගැන යමක් සඳහන් කරන්න?

නව පරපුරේ දක්ෂයෝ සිටිනවා. නමුත් සැබෑ නිර්මාණ බිහිවන්නේ නැති තරම්. ඔවුන් පෙර කාලයේ හරවත් නිර්මාණ අධ්‍යයනය කැර හෝ නිර්මාණ ගුණය වඩවා ගත යුතුයි.

* ඇයි ඔබ එසේ කියන්නේ?

අද බොහෝ නිර්මාණවලට පාදක වෙන්නේ බොළඳ ප්‍රේමය. ගීතය ගත්තත් ටෙලි නාට්‍යය ගත්තත් මේ බොළඳ ප්‍රේමය ළඟ නතර වෙලා.

* ඇයි එහෙම වෙලා තියෙන්නේ?

ඔබට පුදුම හිතේවි අද ඇතැම් ටෙලිනාට්‍ය සඳහා පිටපත ලියවෙන්නේත් රූපගත කරන අතරතුර නාළිකා වැඩියි තරගය මිසක් ගුණාත්මක බවක් නෑ‍.

* ශ්‍රී ලංකාවට රූපවාහිනිය පැමිණි මුල් කාලයේ යහපත් ටෙලිනාට්‍ය සංස්කෘතියක් ගොඩනැ‍ඟෙමින් තිබුණා?

ඔව්! මා කලින් කිව්වා වගේ නාලිකා වැඩියි! තරගය වැඩියි බොළඳ රසිකත්වය ඉලක්ක කැර ගනිමින් මොකක් හරි කරනවා. ඒත් එදා එහේම නෙවෙයි.

* අපේ අලුත් පරපුරට ඔබට දිය හැකි උපදේශය කුමක්ද?

තමන් පිළිබඳ අධිතක්සේරුවක් නැතිව අනෙකා ගැනත් සිතමින් නිහතමානීව හරි දේ තෝරා බේරාගෙන කැපවීමෙන් කටයුතු කළොත් වරදින්නේ නෑ. 

Comments