ඩී. එස්. හමු­වීමට පෙර ඩේවිඩ් හමු­වන්න | සිළුමිණ

ඩී. එස්. හමු­වීමට පෙර ඩේවිඩ් හමු­වන්න

කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඒ අවට වූ ගොඩනැඟිලි රාශියක් කඩා බිඳ දමන ලදී.

අලුත්කඩේ සාංචි ආරච්චි වත්තේ පදිංචිව සිටි ජැක්සන් දකුණු පළාතෙන් පැමිණියෙක් වුවත්, ඔහුට අයත් කුඩා කාමරයක් නීති විද්‍යාලය ඉදිරිපිට තිබිණි. එම කඩ කාමරයට නුදුරින් ප්‍රකට නවකතාකරුවකු වූ කේ. ජයතිලක මහතා කුඩා කාර්යාලයක් පවත්වාගෙන ගියේ ලන්ඩන් විද්‍යාලය නමිනි. උසාවි සංකීර්ණය පුළුල් වීම නිසා එම ගොඩනැඟිල්ලද විනාශ විය.

විනාශ වූ දේපොළ වෙනුවට විකල්ප ඉඩම් ලබා දීමට ආණ්ඩුව කටයුතු කෙළේය. තමාගේ විනාශ වූ දේපොළ සඳහා විකල්ප ඉඩමක් ලබා ගැනීම ප්‍රමාද වනු දුටු සාංචි වත්තේ ජැක්සන් ආර්. ප්‍රේමදාස අගමැතිතුමාට දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළේය. එහි පිටපතක් දවස පත්‍රයේ කතුවරයාටත් එවා තිබිණි.

ඔහු එය විශේෂාංග කර්තෘ හියුබත් දිසානායක මහතාට දුන්නේය. හියුබත් දිසානායක මහතා එම ලිපිය මට දුන්නේය.

දිසානායක මහතා කුමාරතුංග පඬිවරයාගේ ගෝලයෙකි. එහෙත් ඔහු තමාට පුරුදු යුරෝපීය ඇඳුමින් කාර්යාලයට ආවේය. ඇතැම් විටෙක කලිසම සහ කෝට් බෑය පාට දෙකකි. ඉතා හොඳ ඉංග්‍රීසි උගතෙක් වූ ඔහු සුනිල් සාන්තයන් සඳහා ගීත රාශියක් ප්‍රබන්ධ කෙළේය. ඒ මහතා මගේ ප්‍රධානියාය.

“මේ ලියුම ගැන සොයා බලන්න” කියමින් ඔහු මට අර ලිපිය දුන්නේ ඒ දිනවල මා දවස පාඨක පිටුව සංස්කරණය කළ නිසාය.

සාංචි ආරච්චි වත්තේ ජැක්සන් ආර්. ප්‍රේමදාස මහතා මුණ ගැසීමට වරක් සුචරිතයට ගොස් තමාගේ ඉඩම් අවුල ගැන කරුණු කියා ඇත. එවිට ප්‍රේමදාස මහතා කියා ඇත්තේ මේ ඉඩම ඔහුට අයත් වූ අන්දම ලියා දන්වන ලෙසය. එසේම සියලු බලකඩදාසි ද රැගෙන එන මෙන් ද ප්‍රේමදාස මහතා ජැක්සන්ට පවසා ඇත.

ජැක්සන් තමාට ඉඩම අයත් වූ අන්දම පැහැදිලිව දක්වා තිබුණේ මෙසේය.

“කොළඹට බෝම්බ දැම්ම දිනයේ මරදානේ, මරියකඩේ, අලුත්කඩේ, කොස්ගස්හන්දියේ චීන්නු, ජපන්නු කඩවල් වහල දමල පැනල ගියා. මා මේ භුක්ති විඳින කඩේ අයිතිව තිබුණේ චීනෙකුට ද ජපනෙකුට කියා නොදනිමි. ඔහු කුප්පියාවත්තේ පන්සලේ හැංගුණා.

මරදානේ මරියකඩේ චීන ජපන් කඩ සිංහලයො ගිහින් අල්ල ගත්තා. අපේ තාත්තා මා භුක්ති විඳින කඩේ අල්ල ගත්තා. අද මරදානෙ ලොකු මුදලාලිලා බවට පත්ව සිටින (ඔහු නම් රාශියක් ලියා ඇත) අයත් එදා කඩ අල්ලා ගත්තා.

පසුවදා ඉංග්‍රීසි ආණ්ඩුව කිව්වා කඩ අල්ලාගත් එවුන්ට වෙඩි තියනවා කියලා. ඒ අනුව කඩ අල්ලගත් උදවිය මරදානට ගිහින් පැවිලියන් හෝටලයේ පන්දම් ඩේවිඩ් මුදලාලි හමුවෙලා දුක්ගැනවිල්ල ඩී. එස්. සේනානායක මහත්තයාට දැනුම් දෙන්න කියල ඉල්ලුවා. තාත්තත් ඒ අනුව ගියා.

හෙට උදේ 9.00 වන විට මරදාන මරියකඩේට (දුම්රියපොළ ඉදිරිපිට) වරෙල්ලා එතනට මං එනවා කියලා සේනානායක මහත්තයා කියල තිබුණු නිසා තාත්තා එතනට ගියාම තාත්තාට සුද්දො බලකඩදාසියක් දුන්නා යුද්ධය හමාර වෙනකම් කඩය භුක්ති විදින්ඩ. මේ සමඟ නගර සභාව කුවිතාන්සි දුන්නා.”

ඉහත ලියා තිබෙන්නේ ජැක්සන් තමාට ඉඩම අයත්ව තිබුණු අයුරු විස්තර කර තිබුණු අන්දමය. මේ ලියුමේ සඳහන් කරුණු ගැන පසුව අධ්‍යයනයක් කෙළෙමි.

එහිදී හෙළි වූ අන්දමට චීන, ජපන් ජාතිකයන් ඉංග්‍රීසින්ට එරෙහිව ජපනුන්ට ඔත්තු දෙන බවට සැකයක් පහළ වූ නිසාම ඔවුන් කඩ සාප්පු අතහැර පලා ගොස් තිබේ. ඔවුනට රජය රැකවරණ දී තිබේ.

මේ අතර මරියකඩේ වෙළෙඳ පොළේ කඩ බක්කිවල සිටි ගැටවරයෝ අයිතිකරුවන් විරහිත ගොඩනැඟිලි අල්ලා ගත්හ. බලහත්කාරයෝ ගොඩනැඟිලි අල්ලාගත් පිරිස්වලට වෙඩි තබන බවට ඉංග්‍රීසි හමුදාව ප්‍රකාශ කළ විට මරණ භයෙන් තැති ගත් පිරිස් පැවිලියන් මුදලාලි සමඟ ඩී. එස්. සේනානායක මහතා හමුවී ඇති බව ද සත්‍යයකි.

පසුව මරදානේ දී මේ අවුල විසඳීමට ඩී. එස්. සේනානායක, සර් ජෝන් කොතලාවල, සර් ඔලිවර් ගුණතිලක සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බළසේනා ප්‍රධානි සර් ජ්‍යෙප්‍රිලේටන්ගේ නියෝජිතයකු ද සහභාගි වූහ.

කොළඹ නගරයේ ආහාර අහේනියක් ඇති නොවීම සඳහා ජපනුන් හා චීනුන්ගේ කඩවල් ප්‍රයෝජනයට ගැනීමට තීරණය විය. ඒ අනුව එම කඩ සඳහා තාවකාලික බලපත්‍රයක් ලබා දීමට ඉංග්‍රීසි ආණ්ඩුව ක්‍රියා කෙළේය. දෙපිරිස අතර වූ අවුල විසඳන සාකච්ඡාවේ භාෂා පරිවර්තකයා වූයේ සර් ජෝන් කොතලාවලය. මෙම කඩ සාප්පුවලින් රොටි, ආප්ප ආදිය සහ කහට තේ පමණක් මිලට ගත හැකි විය. යුද්ධය නිමා වීම සමඟ මේ කඩවල අයිතිය ඔවුනට ලැබිණි.

පැවිලියන් හෝටලයේ ඩේවිඩ් මුදලාලි ගැන ද අපූරු පුවත් රාශියක් සොයා ගතිමි. ඩී. එස්. සේනානායක මහතාගේ කිට්ටු හිතවතෙක් වූ නිසාම ඔහුට පන්දමා යැයි නමක් පටබැඳුණි.

ඩී. එස්. සේනානායක මහතා හමුවීමට කෙනෙකුට අවශ්‍යතාවක් වී නම් ඒ සඳහා ඩේවිඩ් මුදලාලි ඉදිරිපත් වූයේ කිසිදු ලාභයකින් තොරවය. ඔහුගේ පැවිලියන් හෝටලය පිහිටා තිබුණේ ටවර් රඟහලට කිට්ටුවෙනි.

ඩී. එස්. සේනානායක මහතා යන යන තැනට පස්සෙන් ගිය ඩේවිඩ් මුදලාලි වරක් සේනානායක මහතා විදේශ සංචාරයක නිරත වීම සඳහා රත්මලාන ගුවන් තොටුපළට යන විට ද පස්සෙන් ගියේය.

ගුවන් තොටුපොළේ දී සියලු දෙනාටම සමු දුන් ඩී. එස්. සේනානායක මහතා ඩේවිඩ් මුදලාලි දෙසට හැරී “ඩේවිඩ් මං ගිහින් එනකං ලංකාව බලාගනින්” යැයි කියා ඇත. “හොඳමයි සර්” යැයි ඩේවිඩ් මුදලාලි පිළිතුරු දී තිබේ.

විකල්ප ඉඩමක් ඉල්ලා ආර්. ප්‍රේමදාස මහතාට දුක්ගැනවිල්ල ඉදිරිපත් කළ ජැක්සන්ට ගුණසිංහ පුරයෙන් කඩ කාමරයක් ලැබී තිබිණි. 

 

Comments