හිම තාරකා චිත්‍ර­ප­ට‍යෙන් යළි හමු­වන ‍රොඩ්නි විදා­න­ප­ති­රණ | සිළුමිණ

හිම තාරකා චිත්‍ර­ප­ට‍යෙන් යළි හමු­වන ‍රොඩ්නි විදා­න­ප­ති­රණ

රොඩ්නි විදානපතිරණ යන නම ‍බො‍හෝ අය හඳුනන්නේ ප්‍රවීණ මාධ්‍යවේදියකු, පුවත්පත් කතුවරයකු ‍ලෙසිනි. ඒ හැරුණ විට ඔහු ‍ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු, ගීත රචකයකු ‍ලෙසද දස්කම් ‍‍පෙන්වා ඇත. මෑතක සිට ඔහු‍ගේ නම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ‍ලෙසද කියැ‍වේ. ඔහු මුලින්ම අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය වූ‍යේ මීට වසර විස්සකට පමණ ‍පෙර නිර්මාණය කළ ‘ශිල්ප ‍දෙනු මැන‘යි. එ‍හෙත් එම චිත්‍රපටයේ දළ ‍සේයාපට විනාශ වීම නිසා එම චිත්‍රපටය පසුකාලයකදි නිම කර ගැනීමට ‍නොහැකි විණ. ඒ අතරතුර ‍ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වශ‍යෙන් හ‍තේ වසම,‍ සාප ‍නොකරව් දරුව‍නේ, ‍හේමන්තේ වසන්තයක් ආදි ‍ටෙලිනාට්‍ය දහයක් පමණ ඔහු‍ ජනප්‍රිය ‍ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු බවට පත් ක‍ළේය. ඒවා‍යේ රඟපෑ රාජා සුමනපාල, විමල් අලහ‍කෝන් සම්මානයටද පාත්‍ර විණි. රොඩ්නි ඉන්පසුව චිත්‍රපට අධ්‍යක්ෂණයට යළි පිවි‍සෙන්නේ ‘ඉර ‍සේවය‘ චිත්‍රපටය හරහායි. එහි වි‍ශේෂත්වය වන්නේ මුල් වරට එහි රඟපෑ ඉෂාර වික්‍රමසිංහ පසුගිය සරසවි චිත්‍රපට උ‍ලෙ‍ළේදී ‍හොඳම නැගී එන නළුවා ‍ලෙස සම්මානයට පාත්‍ර වීමයි.

රොඩ්නි විදානපතිරණ අධ්‍යක්ෂණය කරන ලද දෙවැනි චිත්‍රපටය වන‘හිම තාරකා‘, මේ දිනවල තිරගත වේ. ජගත් චමිල, අමරසිරි කලංසූරිය, නදී චන්ද්‍රසේකර,විමල් අලහකෝන්, වසන්ති ගුණරත්න, මියුරි සමරසිංහ, මානෙල් වානගුරු, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න ආදී ජනප්‍රිය නළු නිළියෝ රැසක් මෙහි රඟති. නිෂ්පාදනය කාන්ති අලහ‍කෝන් විසිනි.

‍කෙ‍සේ වුවද රොඩ්නි,කලා ලොවට පිවිසෙන්නේ සිනමා පුවත්පත් කලාවේදියෙකු හැටියටයි. ඒ ආතර් යූ. අමරසේනයන්ගේ සුරතුර පුවත්පත ඔස්සේය.

එහිදී බොහෝ කලාකරුවන් හමුවීමට ඔහුට අවස්ථාව ලැබේ. සුරතුරින් පසුව ඔහු,අමරසේනයන්ගේම සිත්සර පුවත්පතට සිනමා ලේඛකයකු ලෙස සම්බන්ධ වූයේය . කෙටි කලෙකින්ම සිනමා පුවත්පත් කතුවරයකු ලෙස සලරුව පුවත්පතින් ඉදිරියට ආ රොඩ්නි ඉන්පසුව තරුණයා පුවත්පතට සම්බන්ධ වන්නේ එහි කතුවරයා ලෙසය. දශක තුනකට වැඩි කාලයක් පුවත්පත් කලාවේදියෙකු ලෙස කටයුතු කරන රොඩ්නි,දැන් ලංකාදීප පුවත්පතේ විධායක පුවත්පත් කලාවේදියෙකු ලෙස සේවය කරයි.

ගීත රචකයකු ලෙසද ජනප්‍රිය ගීත ගණනාවක් රචනා කර ඇති අතර සාගර තරංගා, සද රාජිනී, කරඹ යායේ, ප්‍රේම මායා දැලේ, සියොතුන් ඉගිල ගියා, පෙම් සිහිනේ, මහ පාරේ එකට ගයනා, කඳුකරයේ මල් සැණකෙළියේ ආදිය ඒ අතරින් කිහිපයකි.

රොඩ්නි, මුලින්ම සහය අධ්‍යක්ෂවරයකු ලෙස සිනමාවට සම්බන්ධ වන්නේ සේන සමරසිංහයන්ගේ චංචල රේඛා චිත්‍රපටයෙන්ය. ඉන්පසුව ෂර්ලි පී. විජේරත්නගේ වැල්ලේ තැනූ මාලිගා චිත්‍රපටයට සම්බන්ධ වෙයි. රොඩ්නි ඔහු‍ගේ ‍දෙවැනි චිත්‍රපටය වන ‘හිම තාරකා‘ පිළිබඳව රොඩ්නි අප සමග පැවසුවේ මෙම චිත්‍රපටය ගැප් චිත්‍රපටියක් හැටියට ප්‍රදර්ශනය කිරීම අරමුණ බවයි.

නිර්මාණකරුවෝ හැටියට අපිට යමක් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා.ඒත් අපට මුහුණපාන්න තියෙන අභියෝග නිසා ඒ අවශ්‍යතාවයට විවිධාකාරයෙන් සීමා පැනවෙනවා.

විශේෂයෙන්ම නිෂ්පාදන වියදම්. විශාල ගණන් වියදම් කරලා චිත්‍රපට නිෂ්පාදනය කළාට එම චිත්‍රපට විශාල ආදායම් ලැබුවත් වියදමේ හැටියට ලාබ ලැබෙන්නේ නැහැ.ඒ නිසයි ආදායම් වාර්තා තැබූ චිත්‍රපට නිෂ්පාදකවරු පවා ආපහු චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට කලින් දෙපාරක් හිතන්නේ.

හිම තාරකා අඩු වියදමකින් නිපද වූ චිත්‍රපටයක් නිසා විශාල ලාභයක් ලැබීමේ අරමුණක් නැහැ. මෙම චිත්‍රපටයේ අපේ රටේ සිටින දක්ෂ කලාකරුවන් රැසක් රංගනයේ යෙදෙනවා. බොහෝ කාලයක් ගියා මෙහි රූපගතකිරීම් කරන්න. මම හිතනවා මෙම චිත්‍රපටය ලාංකික රසිකයන්ට හොඳ අත්දැකීමක් වෙයි කියා. 

Comments