හිතේ අමා­රු­වට මොනවා කර ගනී­විද දන්නෙ නෑ | සිළුමිණ

හිතේ අමා­රු­වට මොනවා කර ගනී­විද දන්නෙ නෑ

මාස ගණනාවක් තිස්සේ වෙහෙස වී ලියන ලද පිටු දෙසිය ගණනකින් යුක්ත වූ පොත ගිනි බත් කිරීමට තරම් මල්ලී, අභීත දැඩි වීම අශ්විනීට සිතා ගත නොහැකි තරම් විය. එදින ලොකු අක්කා ද, මද්දු අක්කා ද නිවසට පැමිණ සිටියත්, ඔවුන් හෝ අම්මා හෝ එය වැළැක්වීමට කටයුතු නොකළේ මන්දැයි කාමරයට ගොස් දොර වසා ගත් අශ්විනී සිතුවාය. පළමුව පියවතීත්, ඉන්පසු අක්කලා දෙදෙනාත් දොර අරින ලෙස ඉල්ලා සිටිය ද, දැඩි සිතින් යුතුව යහන මත හිඳගෙන සිටි අශ්විනී දොර අරින්නට නොසිතුවාය.

“බොරු කියලා අරූ එක්ක රට වටේ රෝන්දෙ ගියා මදිවට දැන් හිතුවක්කාරකම් කරනවා. අරිනවා දොර. ‘‘

ලොකු අක්කා පවසන හඬ ඇසිණ.

“සජීවයි අල්ල ගන්න තියෙන්නෙ. දානෙට එවන්න කියලා නොවඳිනා වැඳුම් වැඳලා මෙයාව එක්ක ගිහින් තියෙන්නෙ දානෙට නෙමෙයි. ‘‘

“යාළුවන්ගෙ හැටි තමයි. ආයෙම සජීවා ආවදෙන්කො මේ වලව්වට. අනේ අම්මා. ඔය ගෑනු ළමයට ආයෙ මෙහේ එන්න එපා කියන්න.‘‘

“අරිනවා දොර. අභීතව යකෙක් කරලා දැන් සුදනා වෙන්න දොර වහගෙන ඉන්නවා.‘‘

අක්කලා දෙදෙනාගේ කටහඬවල් මාරුවෙන් මාරුවට කාමරයට පිටතින් ඇසිණ. අශ්විනී නොහැඬුවාය. තම සිත ගලක් බවට පත් වෙමින් ඇති බව ඇයට දැනිණ. මාස ගණනාවක් දුක් විඳ ලියූ පොත අහිමි වීමෙන් ඇති වන සිත් වේදනාව ඕනෑම දැඩි තීරණයක් ගැනීමට සූදානම් බව පවසයි.

“අභීත වුණත් කළේ ඕනනැති දෙයක්. ‘‘

අම්මාගේ කටහඬ යන්තමින් ඇසිණ.

“චූටි කුමාරි ඔය පොත ලියන්න කොච්චර මහන්සි වුණාද? ‘‘

අශ්විනීට දොර හැර අම්මා බදා වැළඳ ගන්නට සිත් විය. අම්මා මෙතරම් උපේක්ෂාවෙන් සියලු දෑ දෙස බලද්දී අක්කලා දෙදෙනාත්, මල්ලීත් කුඩා සිදුවීමක් මහමෙරක් බවට පත් කරගෙන කරන පෙරළිය පිළිබඳව ඇති වන්නේ තරහකි.

“අරින්නෙ නැද්ද දොර? ‘‘

දොර කැඩෙන තරම් වේගයෙන් දොරට ගසන්නේ ලොකු අක්කා විය යුතු යයි අශ්විනීට සිතිණ. ඔවුන් නිවසින් පිට වී යනතුරුම දොර නොහරිමියි යන තීරණයෙහි ඇය දැඩි ලෙස එල්බ ගෙන සිටියාය.

“ඔහොම හිටපුදෙන්. මම චූටි කුමාරිට කතා කරන්නම්.‘‘

ටික වේලාවකට පසු අම්මා පවසන හඬ ඇසිණ.

“අම්මා කතා කළාට වැඩක් නෑ. අභීතට කියන්න දොර කඩලා, මෙයාගෙ කම්මුලට දෙකක් දීලා පොරොන්දුවක් ගන්න කියලා. ආයෙමත් ඌ එක්ක කිසිම ගනුදෙනුවක් කරන්නෙ නෑ කියලා.‘‘

“අභීත ප්‍රශ්න වැඩි කරනවා.‘‘

අම්මා සන්සුන් ලෙස පැවසුවාය.

“මම ගජබාට කතා කරන්නම්.‘‘

“අයියට? අනේ නිකන් ඉන්න අම්මා. අයියා මෙයාව හුරතල් කරනවනෙ. චූටි කුමාරිගෙ කැමැත්තනෙ. ඔන්න ඕකට ඉඩ දෙන්න අම්මා කියලා එයා කියාවි. ̃

අක්කලා දෙදෙනා සමච්චල් කර සිනාසෙන්නේ අම්මාට ද, නොඑසේනම් අයියාටදැයි අශ්විනී තරහෙන් සිතුවාය. අයියා ගජබා සන්සුන්ය. ඔහු ද අම්මා මෙන්ම ප්‍රශ්න දිහා බලන්නේ උපේක්ෂා සහගත ලෙසය. අයියා පමණක් නොවේ. ඔහුගේ බිරිඳ වූ ස්වේතා ද බෙහෙවින් තැන්පත්ය. කාරුණිකය. සැබෑවටම ඔවුන් හමු වී මෙම ප්‍රශ්නය පිළිබඳව කතා කළ හැකිනම් යයි අශ්විනී සිතුවාය.

“මෙයා දොර අරින්නෙ නෑ. අම්මා හුරතල් කරාට ගල් හිතක් තියෙන්නෙ. අපි යන්නම්. ටිකක් හෙවිල්ලෙන්

ඉන්න. හිතේ අමාරුවට මොනවා කර ගනීවිද දන්නෙ නෑ.‘‘

අශ්විනීගේ මුවග සිනාවක් නැගිණ. අක්කලා සිතන ආකාරයෙන් දිවි නසා ගැනීමට තරම් හේතුවක් තමාට නොවන බව ඇය දැන සිටියාය. සිත් වේදනාවට හේතු වූ එකම කරුණ වන්නේ මෙතරම් වෙහෙස වී ලියූ පොත අභීත ගිනි බත් කිරීම පමණකි. තවත් ටික වේලාවකින් සියල්ල නිහඬ විය. අක්කලා දෙදෙනා නික්ම යන්නට ඇතැයි සිතුණද, කාමරයේ දොර හරින්නට ඇයට නොසිතිණ.

“චූටි කුමාරි...‘‘

ඒ සැන්දෑවයි. කාමරයේ ජනෙල් අතරින් අඳුර කාමරයට ගලා එද්දී අම්මාගේ කටහඬ පිටතින් ඇසිණ.

“චූටි කුමාරි. දොර අරින්න පුතේ. ‘‘

අම්මාගේ කාරුණික කටහඬට පිටුපෑමට අශ්විනීට කිසිසේත්ම නොසිතිණ. ඇය වහා නැගිට ගොස් දොර හැරියාය. අම්මා කාමරයට ඇතුළුවූවාය. කාමරය තුළ වූ අඳුරට ඇගේ මුහුණ පැහැදිලිව නොපෙනිණ.

“කළුවරත් වැටිලා. නින්ද ගියාද? ̃

පැය ගණනාවක් තිස්සේ නෙතින් කඳුළක් නොහෙළුවද, අම්මාගේ කාරුණික වදන් අශ්විනීගේ දෙනෙත් වලට කඳුළක් නැංවීමට සමත් විය. අම්මා විදුලි පහන දැල්වූවාය. මෙතෙක් අඳුරට හුරු වී තිබූ දෙනෙත් වලට විදුලි එළිය පීඩාවක් වූ බැවින් ඇය දෙනෙත් හැකිළුවාය.

“පියවතීට කියලා තේකක් හදලා දෙන්නද?‘‘අම්මා යහන මත වාඩි වූවාය.

“පස්සෙ බොමු. ‘‘

“මොකෝ චූටි කුමාරි මේ වෙන්නෙ? ‘‘

ඔසරි පොට දෙනෙත් මුලට ළං කරගනිමින් අම්මා ඇසූ ආකාරයට අශ්විනීට මහ හඬින් හැඬිණ. අම්මා ඇගේ හිස තම උරහිසට ළං කර ගත්තාය. අශ්විනී මහ හඬින් හැඬුවාය.

“මට කියන්න. මං දන්නවා චූටි කුමාරි මට බොරු කරන්නෙ නෑ කියලා. මොකක්ද වුණේ? ̃

අශ්විනී සිදු වූ සියල්ල මව හා පැවසුවාය. මෙතෙක් අසාර් සමග වූ සම්බන්ධය ප්‍රබල එකක් නොවන බවත්, සජීවාගේ නිවසෙහි පැවැති දානයෙන් පසු ඔහුට තමා හමුවීමට පැමිණෙන ලෙස ඉල්ලා සිටියේ තමා බවත් අශ්විනී පැවසුවාය.

“හරි. මං ඒ හැමදේම විශ්වාස කරන්නම්. ඇයි චූටි කුමාරි ඒ ළමයට එන්න කිව්වෙ? ‘‘

“මෙච්චර කාලයක් අපි දෙන්නා අතරේ තිබිච්ච සම්බන්ධය නතර කරන්න කියලා මට එයාව මුණ ගැහිලා කියන්න ඕනවුණා අම්මා. ‘‘

“ඒ කියන්නෙ ඔය දෙන්නා සම්බන්ධෙ නවත්තන්න එකඟතාවයකට ආවා? ‘‘

“ඔව්. ‘‘

“ඒ ළමයා කැමැති වුණාද? ̃

“ඔව්. අසාර්ට ගෙදරින් ගෑනු ළමයෙක්ව ප්‍රපෝස් කරලා තිබුණෙ. එයා ඒකට කැමැති වෙන්නම් කියලා කිව්වා. ‘‘

“ඔයාට දුක හිතුණෙ නෑ?‘‘

“ලොකු දුකක් නෑ. දුක හිතුණෙ හොඳ යාළුවෙක් නැති වෙන්න යනවා කියලා හිතෙනකොට විතරයි.‘‘

අම්මා බොහෝ වේලාවක් කල්පනා කළාය. ඇය හඬනු ඇතැයි අශ්විනීට සිතුණද, ඇගේ දෙනෙත් වල කඳුළු නොවීය.

“අභීත දුර දිග කල්පනා කරන කෙනෙක් නෙමෙයි. ‘‘

සෑහෙන වේලාවකට පසු ඇය තමාටම මෙන් පවසා ගත්තාය.

“චූටි කුමාරි. මමත් චූටි කුමාරි දැන් ඉන්න වයස පහු කළා. ආදරය කියන්නෙ මොකක්ද කියලා මම දන්නවා. ඒ නිසයි මම වුණත් කිසිම විදියක බලපෑමක් කරන්න නොහිතුවෙ.‘‘

“අම්මා...‘‘

“අක්කලා දෙන්නට නොකියපු කතාවක් මට චූටි කුමාරිට කියන්න තියෙනවා. මං කවදාහරි දවසක ඒක කියන්නම්. දැන් ඉතින් හිත සතුටෙන් ඉන්න.‘‘ ̃

“සතුටෙන් ඉන්නම්. මගේ පොත ආපහු දෙන්න කියලා අභීතට කියන්න. ‘‘

“දැවිලා අළුවෙලා ගිය දෙයක් ආයෙම දෙන්නෙ කොහොමද මගෙ මැණික? හැමදේම එහෙම තමයි. අහිමි වෙලා ගියාට පස්සෙ කොච්චර උත්සාහ කරත් ලබා ගන්න බැරි දේවල් තියෙනවා.‘‘

අම්මා කාමරයෙන් පිටව ගියාය. එදින රාත්‍රියේ අසාර් සමග දුරකතනයෙන් සියලු විස්තර පවසන්නට තමාට සිත් වූයේ මන්දැයි අදත් සිතෙයි.

“හරි අශ්විනී. නැති දෙයක් තියෙනවා කියලා ඔයාට ගෙදරින් වද දෙනවනම් අපි ඒ නැති දේ ඇත්ත කරමු.‘‘අසාර් පැවසුවේය.

 

Comments