
ඉන්ද්‍රචාපට අපූරු ආරාධනා පත්‍රයක සමීප රූපයක් පෙනේ. ආරාධනාවෙහි මවකගේ, දියණියකගේ නම් ඇඳේ. දියණියගේ මුහුණෙහි සමීප රූපයක් වූවත්, මවගේ නම පමණි ඉන්ද්‍රචාප දකින්නේ. දියණිය නිසාම් නයිසදරා නම් වේ. මවගේ නම ඉන්ද්‍රචාපට හුරුපුරුදුය. ඈ අනූෂා ගෝකුළ ප්‍රනාන්දුනම් වන්නීය. නිසාම් නයිසදරාගේ ඒක පුද්ගල ගී මියැසියක රසය බෙදාගන්නටත් අනුෂා ගෝකුළ ප්‍රනාන්දුගේ පොත් දොරට වැඩුමකටත්, 25 සිකුරාදා හවස් යාමයේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයට එන ලෙස ය ආරාධනය. සිකුරාදා වැනි දවසක අගනගරයේ සිට බත්තරමුල්ල දිසාවට හවස් වරුවක ගමන් කිරීම නම් විශාල සිර දඬුවමක් වැනි වූවත්, ආරාධනය ප්‍රතික්ෂේප කළ නොහැකි වූ නිසා, ඉන්ද්‍රචාප අපේ ගමට ගිය කල සමීප රූපයට හසු වූයේ පිරීතිරී ගිය ප්‍රේක්ෂාගාරයකි. පූරක හේම නලින් ප්‍රනාන්දු, විශේෂ ආරාධිතයන් කිහිප දෙනෙකු වේදිකාවට කැඳවමින් ප්‍රසංගය, පොත් දොරට වැඩුම පිළිබඳ ඔවුන්ගේ අදහස් විමසනු දුටුවේ ඉන්ද්‍රචාප එහි පිවිසිණු කල්හිය.
නිශාම් නයිසාරා තරුණ ගායිකාව ඇගේ නවතම ගීත ගායනය අරඹනු ඉන්ද්‍රචාප දකී. ඒ අතර තුර, ප්‍රේක්ෂාගාරය දෙසට ඉන්ද්‍රචාපගේ කැමරා ඇස යොමු වේ. එහි සිටියේ කුමන කලා ක්ෂේත්‍රය නියෝජනය කරන පිරිස ද? ඔවුන් එහි පැමිණ සිටියේ අනුෂා ගෝකුළ ප්‍රනාන්දු නම් රාජ්‍ය නිලධාරිනියගේ ඇරැයුම නිසා ද නොඑසේනම් අනුෂා ගෝකුළ නම්, කලාකාරියගේ, කලාවට හිතැත්තියගේ, කලාකරුවන් හද ගැහෙනා රාවය හඳුනාගත්, ගැහැනියකගේ ඉල්ලීමට ද? ඉන්ද්‍රචාපට නම් සිතුණේ, නිලධාරිනියකගේ ඉල්ලීමකට නම් ඒ සා විශාල හරස්කඩක විශිෂ්ටයන්ගේ සහභාගිත්වයක් සිදු නොවන බවයි. සාහිත්‍යයේ, සංගීතයේ, නර්තනයේ, දේශපාලනයේ, රාජ්‍ය පරිපාලනයෙහි, ජනමාධ්‍යයෙහි, විශ්වවිද්‍යාල අධ්‍යයන ක්ෂේත්‍රයෙහි සිනමාවෙහි රූපවාහිනියෙහි ප්‍රමුඛයෝ, විශිෂ්ටයෝ එහි වූහ. ඔවුනතරින් තෝරාගත් ඇතැමෙක් වේදිකාවට කැඳවමින් හේම නලීන්, දියණියගේ ගායනය මෙන් ම මවගේ කවි ගැන ද විමසනු ඉන්ද්‍රචාපට පෙනිණ. නිශාම් නයිසදරාගේ ගායනය පිළිබඳ විච්චූරණ කතා ඇසුණේ නැත. ඇගේ කටහඬ මිහිරි බවත්, ඈ අපූරුවට, ගී ගායනා කළ බවත්, ප්‍රේක්ෂාගාරයට දැනුණු බව ඉන්ද්‍රචාපට ද දැනිණ. නිශාම් තම ගායනා අතරට, ඩ්‍රීම් ස්ටාර් උදේශ් ඉන්දුල එකතු කරගනිමින් ගායනා කළ, යුග ගීය ද සරා සඳ ගී මියැසියට වර්ණයක් එක්කළ මොහොතක් විණැයි ඉන්ද්‍රචාපට සිතිණ. මියැසිය නිමා කරන්නට ඔවුන් දෙදෙනා ගැයු අවිරාම ගී කිහිපය, ජෝතිපාල, ඇන්ජලින්, මිල්ටන්, නීලා ගේ ගායන මිහිර, ප්‍රේක්ෂාගාරයට අතීත ගී මිහිර යළි කැඳවීමක් බඳු විණැයි ඉන්ද්‍රචාපට කල්පනා විය.
අනුෂා ගෝකුළ ප්‍රනාන්දු සංස්කෘතික අධ්‍යක්ෂවරියගේ සමීප රූපය සමඟ 25 දා එළිදැක්වුණු ඇගේ කෘති ද්වයෙහි සමීප රූපය පෙනේ. අභිමානවත් කලාකරුවා ඉන් එකකි. නැලව ගුරුතුමා නම් ඇගේ සීයාගෙන් ඈ උගත් දෑ කලා, කළමනාකරණය පිළිබඳ, ප්‍රායෝගික අත්දැකීම්, ඇගේ කෘතියෙන් දත හැකිය. අනුෂා කලාකරුවා පිළිබඳ ඇගේ කෘතියෙහි දක්වා ඇති මේ නිර්වචනය ඇගේ කාර්ය සාධනයෙන් ද දකින්නට හැකි බවයි ඉන්ද්‍රචාප හැඟෙන්නේ.
“කලාකරුවකු මහා ජීවි ගුණයකින් යුත් පොකුණක් වගෙයි. පොකුණක ලස්සන තවත් වැඩි වන්නේ, විවිධ වූ විචිත්‍ර වූ ශාක හා සත්ත්ව පොකුණ හා සම්බන්ධ වූ විටයි. කලාකරුවකුගේ ජීවිතය හා නිර්මාණකරණය ද පොකුණක් වැනියි. ගහකොළ සතුන් අතර, අන්තර් සම්බන්ධතා පොකුණු පැවැතීම තහවුරු කරනවා. පොකුණ ස්වභාවධර්මයේ ලස්සණ නිර්මාණයක්.” කලාව” කලාකරුවා පිළිබඳ ඇගේ ඇතැම් සංකල්ප අපට අලුතින් හිතන්නට පෙලඹවීමක් කරයි.
අනුෂා ගෝකුළ ප්‍රනාන්දුගේ සමීප රූපය සමඟ ඈ විසින් ජනගත කරන ලද දෙවැනි කෘතියේ සමීප රූපයක් ද ඉන්ද්‍රචාප දකිනවා. එය පද්‍ය කාව්‍ය සංග්‍රහයක්. ට්‍රැෆික් කවි. මාර්ග සංඥා ලාම්පු ඉදිරියේ සිරවී සිටින කල්හි කිවිඳියගේ සිතට නැඟුණ කවි සංකල්පනා කිහිපයක් එහි ඇතුළත්. කවි කලල රැසක් ට්‍රැෆික් කවියේ ඇතුළත්ව තිබෙනවා ඉන්ද්‍රචාප දකී. ජීවිතය වියපත් වූ ආදරය කිවිඳිය දැක ඇත්තේ මෙසේයි.
“නියතය නෑ වයසට යන්නේ
සිත සැමදා යෞවනයේ
සොඳුරුයි සැමදාමත්
ජීවිතේ ආ ජීවිතේ
නිදියහනේ පෙර දවසේ
සුවඳ දසත පැතිරේ
වියපත් දිවියට නැවුම් සුවඳ මුසු වී
සිතේ බැඳුණු නොමියෙන පෙම
ගැඹුරු මහා සාගරේ...”
අනුෂා ගෝකුළ ප්‍රනාන්දු නම් වූ රාජ්‍ය නිලධාරිනිය තුළ සැඟවී සිටින කිවිඳිය ඉන්ද්‍රචාපට පෙනේ. ඇගේ රාජකාරිය ජීවිතයට ඈ තුළ සැඟවුණු කලාත්මක සිතුවිලි, රස වින්දනය උත්තේජනයක් සපයන්නේ යැයි ඉන්ද්‍රචාපට පෙනේ.