ලෝකයේ දිගම දුම්රිය ගමන් | Page 2 | සිළුමිණ

ලෝකයේ දිගම දුම්රිය ගමන්

දුම්රියෙන් ගමන් කිරීමට බොහෝදෙනා කැමැතියි. හැබැයි ඒ තදබද වුණු කාර්යාලීය දුම්රිය වල නම් නොවේ. උඩරට මැණිකේ වැනි මනරම් පරිසරයක් මැදින් ගමන් කරන දුම්රියක සුවපහසු අසුනකට වී ගමන් කිරීම ඇත්තෙන්ම හොඳ දුම්රිය අත්දැකීමක්. පැය ගණනක් නොකඩවා ගමන් කරන මෙම දුම්රිය මාර්ගය ගැන පැවසුවේ ලෝකයේ දිගම දුම්රිය මාර්ග කිහිපයක් ගැන තොරතුරු ඔබ වෙත ගෙන ඒමටයි.

ට්‍රාන්ස් සයිබීරියන් දුම්රිය මාර්ගය (රුසියාව)

ලෝකයේ දිගම දුම්රිය මාර්ගය ලෙසින් හඳුන්වනු ලබන මෙහි දුම්රිය රුසියාවේ මොස්කව් හි සිට ව්ලැඩිවොස්ටොක් වෙත ගමන් කරනවා. සයිබීරියාවේ නිමක් නොමැති බර්ච් ගස් අතුරෙන් මෙම දුම්රිය ගමන් කරන්නේ කාල රේඛා කිහිපයක් පසු කරමින් . මීට අමතරව යූරල් කඳුවැටිය හා ලෝකයේ විශාලතම මිරිදිය විල වන බයිකල් විල පසු කරමින් කිලෝමීටර් 9259 ක් සතියක් පමණ කාලයක් ගමන් කරනු ලබනවා. මෙම දුම්රිය මාර්ගයෙන්ම වෙන්වී චීනය වෙත ගමන් කරනා තවත් දුම්රිය මාර්ග දෙකක් තිබෙනවා. එයින් පළමු මාර්ගය වන්නේ ට්‍රාන්ස් මොන්ගෝලියන් මාර්ගයයි. මොස්කව් සිට යුලාන් බැටොර් හරහා බීජිං වෙත ගමන් කරන මෙම මාර්ගයේ දිග කිලෝමීටර් 7826ක්. අනෙකුත් මාර්ගය වන්නේ මොස්කව් සිට හාබින් හරහා බීජිං වෙත ගමන් කරනා කිලෝමීටර් 8984කින් යුතු ට්‍රාන්ස් මැන්චූරියන් මාර්ගයයි. මෙම මාර්ග දෙක දිග හා කාලය අනුව ගත් කළ දෙවැනි වන්නේ ට්‍රාන්ස් සයිබීරියන් මාර්ගයට පමණි.

ද කැනේඩියන් දුම්රිය මාර්ගය (කැනඩාව)

හිම තොප්පියකින් සැරසී සිටින රොකී කඳුවැටියේ සුන්දරත්වය විඳ ගනිමින්, හිම පිරුණු කැනේඩියානු වනාන්තර මැදින් ගමන් කරනා මෙම දුම්රිය මාර්ගයත් ලෝකයේ තිබෙන ලස්සනම දුම්රිය මාර්ග වලින් එකක්. කැනඩාවේ ටොරන්ටෝ හි සිට වැන්කූවර් දක්වා කිලෝමීටර් 4684 ක් දුර මෙම දුම්රිය ගමන් කරනවා. ඉතා සැප පහසු නිදන මැදිරි සහිත මෙම දුම්රිය විනිපෙග්, එඩ්මන්ටන් හා ජැස්පර් වැනි නගර පසු කරමින් දින තුනක් ගමන් කරන්නේ ගෝනුන්, මුවන් හා වලසුන් පවා දුම්රියේ සිට දැකගැනීමට අවස්ථාව ලබා දෙමිනි.

ෂැංහයි සිට ලසා (චීනය)

නූතන වානිජ ලොවේ දියුණු නගරයක් වන ෂැංහයි හි සිට ටිබෙටයේ ලසා නගරය වෙත මෙම දුම්රිය මාර්ගයෙන් ගමන් කළ හැකියි. මධ්‍යම චීනයේ තැනිතලා බිම් අතරින් ඇදී යන මෙම දුම්රිය ක්‍රම ක්‍රමයෙන් කඳු අතරින් ඉහළට ගමන් කරන්නේ ටිබෙටය වෙත ළඟා වීමටයි. ටැන්ගුලා කන්දේ ග්ලැසියර් හා ටිබෙට් සානු අතරින් දින දෙකකට ආසන්න කාලයක් ගමන් කරන මෙම දුම්රිය කුවෝනා විල පසු කරමින් ගමන් කරනවා. ලෝකයේ දුම්රිය මාර්ගයක් ගමන් කරන උස්ම ස්ථානය හමුවන්නේ මෙම දුම්රිය මාර්ගය මීටර 5072 ක් ඉහළින් ගමන් කරනා විටයි.

කැලිෆෝනියා සෙෆර් (ඇමෙරිකාව)

දින දෙකකට මදක් වැඩියෙන් ගමන් කරනා මෙම දුම්රිය ඇමෙරිකාවේ දිගම හා සුන්දරත්වයෙන් වැඩිම දුම්රිය මඟ ලෙසින් සැලකෙනවා. කිලෝමීටර් 3924 ක් සැන් ෆ්රැන්සිස්කෝ හා චිකාගෝ නගර යා කරමින් ගමන් කරන මෙම දුම්රිය කොලරාඩෝ නදිය, රොකී කඳු හා සියරා නෙවාඩා වැනි ස්වභාවික සුන්දරත්වයෙන් පිරුණු ප්‍රදේශ පසු කරමින් ඩෙන්වර්, සෝල්ට් ලේක් සිටි, රිනෝ හා සැක්‍රමෙන්ටෝ නගර පසු කරමින් වේගයෙන් ගමන් කරනවා.

ඉන්ඩියන් පැසිෆික් (ඕස්ට්‍රේලියාව)

වංගු රහිත ලෝකයේ දිගම දුම්රිය මාර්ගය අයත් වන්නේ ඕස්ට්‍රේලියාවේ වඩාත්ම දෙපසට වන්නට තිබෙන නගර දෙක යා කරනා ඉන්ඩියන් පැසිෆික් දුම්රිය මාර්ගයටයි. දින 4ක් පුරා පැසිෆික් සයුර අසළ තිබෙන සිඩ්නි නගරයේ සිට ඉන්දියන් සාගරය අසළ තිබෙනා පර්ත් නගරය වෙත මෙම දුම්රිය ගමන් කරනවා. කිලෝමීටර් 4352 ක් නුලාබොර් මුඩු බිම්, වනාන්තර හා නිල් කඳුවැටියේ දිය ඇලි අතරින් මෙම දුම්රිය ගමන් කරන්නේ නගර දෙක අතර තිබෙනා සියලුම රත්‍රන් පතල්, අතහැර දමන ලද නගර හා මිදි වතු නැරඹීමට අවස්ථාව හිමිකර දෙමිනි.

විවේක් එක්ස්ප්‍රස් (ඉන්දියාව)

ඉන්දියාවේ ඇති දිගින් වැඩිම දුම්රිය මාර්ගය වන මෙහි දිග කිලෝමීටර් 4273 ක්. දින 4ක් පමණ ඉන්දියාවේ උතුරු කොනේ සිට දකුණු කොන දක්වා ගමන් කරනු ලබනවා. අනෙකුත් රටවල් හි දුම්රියන්ට සාපේක්ෂව මෙහි ටිකට් පතක් සඳහා වැය වන්නේ ඉතාම සුළු මුදලක්. දිබෘගාර් සිට කන්‍යාකුමාරි නගරය තෙක් වූ මෙම ගමන මුළු ඉන්දියාවම එකවර නැරඹීමට හොඳ අවස්ථාවක් වනවා. 

Comments