මුවන්පැලැස්සේ කැකුළි මංජුලාගෙන් අලුත් ගීත එකතුවක් | Page 3 | සිළුමිණ

මුවන්පැලැස්සේ කැකුළි මංජුලාගෙන් අලුත් ගීත එකතුවක්

ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක්, නිවේදිකාවක්, පිටපත් රචිකාවක්, මාධ්‍යවේදිණියක්, ගායිකාවක්, ගීත රචකයෙක්, හඬකැවීම් ශිල්පිනියක් මෙන්ම රූපලාවන්‍ය ශිල්පිනියක්ද වෙමින් ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියමන මුසාවක් කරමින් රූපවාහිනිය, ගුවන් විදුලිය මෙන්ම පුවත්පත් කලාවද සියතට ගනිමින් අපූරු දස්කම් දැක්වූ ඇය මංජුලා මල්කාන්ති වන්නීය. කාලයක් නිහඬව සිටි ඇය අලුත්ම වැඩක් එක්ක නැවතත් ක්ෂේත්‍රයට පැමිණීමේ නැවුම් පණිවුඩයත් රැගෙනයි අපි අද ඇය සමඟ පිළිසඳරේ යෙදුණේ.

කාලයක් නිහඬව සිටි ඔබ විශාල වැඩක් කරලා කියලයි ආරංචිය. කතා කරමු ඒ ගැන?

කාලයක් පුරාවටම මම ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක්, නිවේදිකාවක්, මාධ්‍යවේදිනියක්, ගීත ගායිකාවක්, ගීත රචකයෙක්, හඬකැවීම් ශිල්පිණියක් ලෙස කාර්ය බහුලවයි හිටියේ. පස්සේ හිතුවා ටික කාලයක් විවේකයෙන් ඉන්න ඕන කියලා. ඒ කාලයේදි මම අලුත් ගීත කිහිපයක් රචනා කළා. ඒ ගීත එක්කරපු මගේම ගීත එකතුවක් රැගෙන මම නැවතත් කලාවට සම්බන්ධ වෙනවා.

කවුද ඒ සඳහා ඔබේ සහයට ඉන්නේ?

මම රචනා කළ ගීතවලට අමතරව රත්නාලංකා අබේවික්‍රම විසින් ලියන ලද ගීත මෙහි ඇතුළත් වෙනවා. යුග ගීත ගායනය සඳහා මම රෝහණ බෝගොඩයන්ගේ සහයද ලැබුණා.

කවදාද ඔබේ ගීත අසන්නන්ට ඇසෙන්නට ලැබෙන්නේ?

දැනටම ගීත කිහිපයක් You Tube හරහා විකාශය වෙනවා. ඉතිරි ගීත සියල්ල එකතු කරලා ඉතා ඉක්මනින්ම සංයුක්ත තැටියක් කරන්න බලාපොරොත්තුවෙනවා.

ඉදිරියේදී ගීත ගායනා අංශයෙන් විතරද ඔබ හමුවන්නේ?

නැහැ. මම නාට්‍ය පිටපත් රචනයටත් දැන් සම්බන්ධවෙලා ඉන්නවා. ඉදිරියේදී මගේ නාට්‍ය කිහිපයකුත් කරනවා. ආරාධනා ලැබෙන විදිහ බලලා නැවතත් හඬකැවීම් අංශයටත් සම්බන්ධ වෙනවා. අනෙක් හොඳ නිර්මාණවලටත් සහභාගි වෙනවා.

ගුවන් විදුලියේ මෙන්ම රූපවාහිනියෙත් ඔබ හඬකැවීම් ශිල්පිනියක් ලෙස දස්කම් දැක්වූවා? මතක් කරමු ඒ අතීතය?

මම හඬකැවීම් ශිල්පිනියක් ලෙස එන්නේ ගුවන් විදුලියේ මුවන් පැලැස්ස නාට්‍යයේ කැකුළිගේ චරිතයේ ළමා කාලය මෙන්ම තරුණ කාලයටත් හඬදුන්නේ මමමයි. ඒ වගේම ඒ කාලයේ විශාල ජනප්‍රියත්වයක් ලැබූ සුදු පුංචා නාට්‍යයේ සුදු පුංචා හෙවත් හා පැංචාගේ චරිතයටත් හඬ කැවීම් ශිල්පිනිය වුණේ මමයි. ඒ කාලේ ලැබුණ ජනප්‍රියත්වය අදටත් එහෙමම තියනවා.

ඔබ හඬකැවීම් ශිල්පිනියක් ලෙස සහභාගී වු වැඩසටහන් පිළිබඳ මතක් කළොත්?

මහ ගෙදර, ප්‍රවීණා, සුජාතා, එක අහසක් යට වගේ නාට්‍ය ගණනාවකම මම කටයුතු කළා.

පුවත්පත් ලේඛිකාවක් ලෙස පැමිණි මඟ ආවර්ජනය කළොත්?

1980 දශකයේදියි මම පුවත්පත් කලාවට සම්බන්ධ වුණේ. නවලිය පුවත්පත හරහා පුවත්පත් මාධ්‍යයට සම්බන්ධ වී පස්සේ දිවයින පුවත් පත හරහා ලේක්හවුස් ආයතනයට එකතු වුණා. එහිදී එඩ්මන් රණසිංහ කර්තෘතුමාගේ මඟ පෙන්වීම හරහා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉන් පසුව තරුණී පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ වරිය ලෙසයි පුවත්පත් කලාවෙන් ඉවත් වුණේ.

අද ඔබ ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙස?

ඔව් මම වැඩි වශයෙන්ම ලිව්වේ රූපලාවන්‍ය සම්බන්ධ ලිපි සහ වෛද්‍ය උපදේශන සහිත ලිපි. ඒවායෙන් වැඩි වශයෙන් රූපලාවන්‍ය සම්බන්ධ ඒවා වීමත් එක්ක මමත් ඒ ගැන වැඩිදුර හැදෑරුවා.

ඔබ ඒ සම්බන්ධයෙන් කෘති ගණනාවක් රචනා කළා?

මම ලියන ලද රූපලාවන්‍ය තොරතුරු එකතු කරලා ‘රූ සොඳුරූ‘ සහ ‘මනාලී ඔබමයි‘ නමින් පොත් දෙකක් පාඨකයන් වෙනුවෙන් දායාද කළා. ඉදිරියේදී තවත් පොත් කිහිපයක් ලබා දෙන්නෙත් සූදානමක් තියනවා.

රැකියාව ඔබට මේ සියල්ල කරන්න බාධාවන් නොවේ යැයි විශවාසද?

රැකියාවෙන් ලැබෙන නිදහස තමයි මට නැවතත් කලාවට සම්බන්ධ වෙන්න ශක්තියක් වුණේ. ඒ වෙනුවෙන් මම චාන්දනී බණ්ඩාර මහත්මියට ස්තූතිවන්ත වෙනවා. ඇය රැකියාවත් කලාවත් දෙකම කරගෙන යන්න මට අවශ්‍ය ශක්තිය ලබා දුන්නේ ඇයයි. කලාව වෙනුවෙන් නව පියවරක් තබන මංජුලා මල්කාන්ති මහත්මියගේ කලා කටයුතු සඳහා ඇයට රසඳුන අපේ උණුසුම් සුබ පැතුම්. 

 

Comments