දෙසිය තුන්සිය 8දා බොරැල්ල පුංචි තිය­ටර් හි දී | Page 2 | සිළුමිණ

දෙසිය තුන්සිය 8දා බොරැල්ල පුංචි තිය­ටර් හි දී

ආචාර්ය ජයලත් මනෝරත්න විසින් අනුවර්තනය කළ සෝවියට් ලේඛක ඇලෙක්සැන්ඩර් වැම්පිලෝව්ගේ සම්භාවණීය කෘතියක් නාට්‍යානු සාරයෙන් රඟදක්වන දෙසීය තුන්සීය නාට්‍යයේ විශේෂ දර්ශණයක් මේ මස 08දින සවස 3.30සහ 6.30ට බොරැල්ල පුංචි තියටර් හි දී පැවැත්වේ.

සම්පත් තෙන්නකෝන්, රත්නා ලාලනි, ෆර්නි රෝෂිනී, සුජානි මේනකා, ඉෂාර වික්‍රමසිංහ, නිමල් ජයසිංහ, තිලාන් වර්ණජිත් රංගනයෙන් දායකවන අතර සංගීතය ශාන්ත පීරිස්ගෙනි.අංග රචනය ජගත් පද්මසිරි, ඇඳුම් නිර්මාණය ස්විනීතා සුභසිංහ.


ළමා පරපුර වෙනුවෙන් තැනු 'කුසල්' ළඟදීම ප්‍රදර්ශනයට

රංගන ශිල්පි අර්ජුන කමලනාත් විසින් අධ්‍යක්ෂණය කරන ලද 'කුසල්'සිනමාපටය නිර්මාණය වී ඇත්තේ 'කුසල්'නමැති කුඩා දරුවාගේ ජීවිත කතාව පාදක කොට ගෙනය. මෙම කුසල්ගේ චරිතය පන පොවන්නේ සිනමාවට හඳුන්වාදෙන තිව්රු දිසානායක නැමැති කුඩා දරුවෙකි. කුසල්ගේ ජීවිතයට නොයෙක් ආකාරයෙන් පැමිණෙන බාධා දුක් කම්කටොළු මග හැරීමට හා ඒවායින් ජය ගැනීමට ඔහු දරන ප්‍රයත්නය මෙම සිනමා නිර්මාණය තුළින් විදහා දැක්වෙන අතර , ඔහුගේ සහයට සිටින කිරියා නමැති සුරතල් රිලවාද, සැන්ඩි නමැති අපූරු සුනඛයාද, ඔහුට ලබාදෙන උපරිම සහයද මෙම සිනමා නිර්මාණය තුළින් අපූරුවට ඉදිරිපත්කර ඇත. කුසල්ට තම අරමුණු කරා යාමට නාගයෙකු ලබාදෙන සහයෝගයද මෙම චිත්‍රපටයේ අපූර්වත්වය හා විචිත්‍රත්වය වැඩිකොට ඇත. මෙම සියලුම සතුන් පුරුදු පුහුණු කොට මෙහෙයවීම ක්‍රියාකාරකම්වල අගය වැඩිකරන්නක් බැව් සඳහන්කළ හැකිය.පරිගණක තාක්ෂණය යොදා ගැනීම වෙනුවට මෙම සතුන් නිසි ආකාරයෙන් නිර්මාණයට අවශ්‍ය අයුරින් ස්වභාවිකව යොදා ගැනීම ඉතාම වෙහෙසකර කටයුත්තක් වුවද එසේ කිරීම නිසා කුසල් චිත්‍රපටියේ අලංකාරත්වය හා අපූර්වත්වය උපරිම ආකාරයෙන් දක්නට ලැබේ.


එඩ්වඩ් මාරම්බරී අරන් 9දා මහනුවරට එයි

සිංහල සුභාවිත ගීතයේ ස්වර්ණ වර්ණය විශාරද එඩ්වඩ් ජයකොඩිගේ සොඳුරු ආවර්ජන සුයාමය “මාරම්බරී” ඒකපුද්ගල ගී ප්‍රසංගය මේ මස 9වැනි සෙනසුරාදා සවස 6.30ට මහනුවර ධර්මරාජ විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

එදා මෙදාතුර එඩ්වඩ්ගේ අතිශයින් ජනප්‍රිය විවිධත්වයෙන් යුතු මියුරු ගී රැසක් රස විඳීමේ අවස්ථාව මහනුවර රසික රසිකාවියන්ට මාරම්බරී තුළින් උදාවේ. විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් සහ ශාරණ්යා ජයකොඩි යුග ගී ගායනයෙන් දායක වෙති.මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සහ R එන්ටටේන්මන්ට් සමග එක්ව සංවිධානය කරන මාරම්බරී ප්‍රසංගය සංගීතවත් කරනු ලබන්නේ සංගීතවේදී සුසිල් අමරසිංහ විසිනි. කථනය ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ විසිනි. 

Comments