
සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයකම ‘දෙරණ’ රූපවාහිනී නාළිකාව ඔස්සේ විකාශය වන ‘අධිරජ ධර්මාශෝක’ ටෙලි වෘත්තාන්තය මෙරට ප්‍රේක්ෂකයන්ගේ මහත් ආකර්ෂණයට ලක්වූ ටෙලි සිත්තමකි. ඒ අධිරජ ධර්මාශෝකයන් අපේ රටට බුද්ධාගම ගෙන ඒමට මුල් වූ අයකු නිසාවෙනි.
බාල මහලු කොයි කවුරුත් නොවරදවාම මෙම ටෙලි නාට්‍යය බැලීමට ආලින්දයට එක්වන්නේ, අශෝක නම් වූ, එම කොලු ගැටයාගේ සුරු විරුකම් දැකගන්නටය.
විටෙක ඔහුගේ වදන් තුළ ඇත්තේ ගම්භීර, එඩිතර බවකි. තවත් විටෙක ඔහුගේ දයානුකම්පිත බව හද සසළ කරවයි. යුද ශිල්පයට ද, තීක්ෂණ බුද්ධියට ද, ඔහු හපනෙකි. කිසි විටෙකත් කිසි දේටත් බිය වී ඔහු පසුපසට නොයයි. ඔහුගේ බැල්ම තියුණුය. පෙනුම තේජාන්විතය, ශරීරය ශක්තිවන්තය.
ප්‍රතාපවත්, රණකාමී අශෝක අධිරාජ්‍යයාගේ හිරිමල් යොවුන් විය නිරූපණය කරන ඒ අපූරු කොලු ගැටයාගේ පිරිපුන් රංගන විලාසය නිසාම, කොයි කාගේත් ආකර්ෂණය මෙම ටෙලි නාට්‍ය මාලාව වෙත යොමුව ඇති බව කිව යුතුමය.
අති සාර්ථක රංගන ප්‍රතිභාවක් පෙන්නුම් කරන ඒ කුඩා කොලු ගැටයාගේ තොරතුරු ගෙනෙන්නට අපි සිතුවේ ඒ නිසාමය. ඔහු නමින් “සිද්ධාර්ත් නිගම්” ය.
2000 වසරේ සැප්තැම්බර් 13 වැනිදා උපන් මේ වන විට දහසය විය පසුකර සිටින සිද්ධාර්ත් ඉතා ප්‍රියමනාප ප්‍රසන්න පෙනුමැති හිරිමල් යෞවනයෙකි. අතිදක්ෂ ජිම්නාස්ටික් ක්‍රීඩකයකු වන නිගම් ඉන්දියාවේ 58 වන ජාතික පාසල් තරගාවලියේ Parallel Bar අංශයෙන් රන් පදක්කමත්, High Bar අංශයෙන් රිදී පදක්කම ද තමන් සතු කරගෙන ඇත.
වසර 2011 දී ‘බොන්විටා’ වෙළෙඳ දැන්වීමට, කුඩා ජිම්නාස්ටික් ක්‍රීඩකයකු ලෙස පෙනී සිටින්නට නිගම්ට වරම් ලැබුණු අතර 2013 වසරේ තිරගත වූ Doom - 3 චිත්‍රපටයට තෝරා ගනු ලැබුවේ අමීර් ඛාන්ගේ කුඩා අවධිය නිරූපණය සඳහාය. ඒ ඔහු තුළ ජිම්නාස්ටික් ක්‍රීඩාවට තිබූ සුවිශේෂී හැකියාව නිසාවෙනි.
එම චරිතයට බල්ටි ගැසීම්, පැනීම්, මැජික් දර්ශන ඇතුළත්ව තිබූ නිසා, සිද්ධාර්ත් එම ක්‍රියාවන් හොඳින් ඉටුකරන බවත්, ඔහුට එම දර්ශන පහසුවෙන් කිරීමේ හැකියාවක් ඇති බව තමා හොඳින් වටහා ගත් බව Doom චිත්‍රපට අධ්‍යක්ෂ ‘විජය ක්‍රිෂ්ණා’ ප්‍රකාශ කරයි.
“ඔහු හරි අපූරු දරුවෙක්. මාස තුනක පුහුණු කාලයේදී මං ඔහුගේ මේ දක්ෂතා මැනැවින් වටහා ගත්තා. පුහුණුවීම්වලදී මං ඔහුත් සමඟමයි සිටියේ. ඔහු සියල්ල හොඳින් ඉක්මනින් ඉගෙන ගත්තා. තොප්පිය කරකවා ඔලුවට දමා ගැනීම, බෝල තුනක් එකවර අත් මත කරකැවීම. නිගම් ඒ සියල්ල හොඳින් ඉටු කළා.
“ඇත්තටම නිගම් දක්ෂ දරුවෙක්.”
අඩි 35ක් පමණ උස පාලමෙන් පනින දර්ශනය ස්ටන්ට් (stunt) කෙනෙක් නොයොදවා ඔහුම පැන්නා. කිසිම චකිතයක් නැතුව ඔහු අපි හැමෝම පුදුමයට පත් කරමින් ඒක සාර්ථකව ඉටු කළා. ඇත්තටම First Take එකෙන්ම ඒක සාර්ථකව රූගත කරන්න අපිට හැකි වුණේ නිගම්ගේ දස්කම් නිසාමයි.
ඔහු තරුණයකු ලෙස වැඩිවියට පත් වන තුරුයි මං මේ බලාගෙන ඉන්නෙ Doom - 10 චිත්‍රපටයට සම්බන්ධ කරගන්න.” චිත්‍රපට අධ්‍යක්ෂවරයා රූගත කිරීම් ගැන මතකයත් නිගම්ගේ දක්ෂතා පිළිබඳව මතකය අවදි කළේ එලෙසිනි.
Doom - 03 චිත්‍රපටය තිරගත වීමත් සමඟම සිද්ධාර්ත් නිගම් නම් කුඩා කොලු ගැටයා ගැන ඉන්දියාව පුරාම කතා වෙන්න පටන් ගත් අතර විචාරකයන්ගේ ප්‍රසාදය දිනා ගැනීමට ද ඔහුට හැකියාව ලැබුණා.
ඉන්පසු ටෙලි නාට්‍ය කිහිපයකට ම රංගන දායකත්වය ලබා දුන් ඔහු, ප්‍රධාන චරිතයක් සඳහා තෝරා ගනු ලැබුවේ “Chakravartin Ashok Samrat” හෙවත් අධිරජ ධර්මාශෝක නම් වූ මෙම ටෙලි නාට්‍ය මාලාව සඳහායි.
අධිරජ ධර්මාශෝක ටෙලි වෘත්තාන්තය ප්‍රචාරය වීමත් සමඟම- බොහෝ දෙනකුගේ පැසසුමට ලක්වූ නිගම්, සම්මානනීය ජනප්‍රිය නළුවකු ලෙස Lions Gold සම්මාන උලෙළේ Lions Gold සම්මානයත්, ඉන්දියන් ටෙලි සම්මාන උලෙළේ “හොඳම ළමා නළුවා ලෙසත්, (Indian Television Academy) ඉන්දියන් ටෙලිවිෂන් ඇකඩමි සම්මාන උලෙළේ මතු බලාපොරොත්තු සහිත ළමා නළුවා ලෙස ද සම්මාන හිමිකර ගැනීමට සමත් විය. එසේම Golden Petal Awards හි ජනප්‍රියතම ළමා නළුවා ලෙසත් 2015 සිට 2016 වසර තෙක් පිට පිට සම්මාන හයක් දිනා ගැනීමට සමත් වීම නිගම්ගේ දස්කම් මොනවට ප්‍රදර්ශනය කරන්නකි.
“අධිරජ ධර්මාශෝක ටෙලි නාට්‍ය මාලාවට මාව තෝර ගත්තට පස්සේ මම අශෝක අධිරජු ගැන තොරතුරු සොයන්න පටන්ගත්තා. ඒ පිළිබඳ පොත් කියෙව්වා. වීඩියෝ පට කිහිපයක්ම නැරැඹුවා. කාලිංග යුද්ධය ගැනත් තොරතුරු සොයා බැලුවා. එහිදී තොරතුරු ලැබුණා අශෝක රජු අතින් මහ ජන සංහාරයක් වෙලා තියෙන බව.
“ඒත් මගේ අම්මා මට තේරුම් කරලා දුන්නා, ඒ සඳහා ඔහුට හේතු කාරණා තිබුණු බව.
මට මතකයි, මගේ අම්මා හැමදාම රෑට අශෝක රජතුමා ගැන කතන්දර කියලා දෙනවා. ඒක පසුදා රූගත කිරීම්වලදී මට ලොකු පිටිවහලක් වුණා. රූගත කිරීම්වලට මාස තුනකට කලින් අශ්වයාගේ පිටේ යන්නත් කඩු හරඹ කරන්නත් පුරුදු පුහුණු වුණා.
මුලින් මම අශ්වයට ටිකක් බයේ හිටියේ. නමුත් බිස්කට් දීලා ඌව යාළු කරගත්තට පස්සේ බය නැතුව පිට උඩ ගියා. සංස්කෘත භාෂාවෙන් දෙබස් කියන්න තිබුණ නිසා මට ඒකත් ඉක්මනින්ම ඉගෙන ගන්න සිද්ධ වුණා. මම හොඳින් දෙබස් උච්චාරණය කළා කියලා මම හිතනවා.”
ටෙලි නාට්‍යයේ පෙර පුහුණුවීම් ගැනත්, චරිතය පිළිබඳ මූලික අඩිතාලම සකස් කරගත් අන්දම ගැනත් නිගම් එලෙස පුවත්පතකට අදහස් ප්‍රකාශ කර තිබුණා.
“කුඩා අශෝක කුමාරයා තම මෑණියන්ට හුඟක් සමීපයි. ඇයට හුඟක් ආදරෙයි. මවගේ ගෞරවය තමයි ඔහුගෙත් ගෞරවය අශෝක කුමාරයත් මවත් අතර තියෙන්නේ අතිමහත් සෙනෙහසක් බැඳීමක්. අන්න ඒ වගේම තමයි මමත් මගේ අම්මට දක්වන සෙනෙහස ආදරය, ඒ නිසා මේ චරිතය මගේ ජීවිතයට ගොඩක් සමීපයි.” නිගම් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.
අනාගතයේදී ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඔලිම්පික් පදක්කමක් දිනාගෙන රටට කීර්තියක් අත්කර දෙන්නටත් නිගම්ගේ විශාල බලාපොරොත්තුවක් තියෙන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.
සැබවින්ම කෙටි කාලයකින් ඉන්දියාව පුරා මෙන්ම, ශ්‍රී ලංකාව පුරාත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනූ අධිරජ ධර්මාශෝක ටෙලි වෘත්තාන්තයෙහි රඟන සිද්ධාර්ත් නිගම් මේ අයුරින් ජනප්‍රසාදයට පාත්‍ර වූයේ ඔහු ඉතා කැපවීමෙන් හා මනා පුහුණුවකින් යුතුව මෙම චරිතයට පණ පොවන නිසාය. දෙබස් උච්චාරණයෙන්ද අතිදක්ෂ රංග ප්‍රතිභාවයෙන් ද මේ හිරිමල් යෞවනයා අපේ රටේ වීර චරිත නිරූපණය කරන ඇතැම් නළුවන්ට ද සපයන්නේ ආදර්ශයකි.

