
ශ්‍රීනාත් ගණේවත්ත
හේමපාල මුනිදාසයෝ සිය සමයෙහි ඉතා ජනප්‍රිය රචකයෙක් වූහ. ලේඛන කාර්යයෙහි ලා මහත් කීර්තියක් ඉසිලූහ.
ඔවුන් තුරුණු වියෙහි දී එක්තරා පුවත්පතෙක සේවාව පිණිස පැමිණි කල්හි, එ තෙකුදු එහි සේවාවේ නියුතු වූවෙක් මෙසේ කීයේ ල:
“ඔන්න ආවා ලියන්න දෙයියා. පුතයා දෙයි නරක්කාරයන්ගෙ පළු පැළෙන්න” අව්‍යක්ත ස්වරූපයෙන් කියන ලද නමුදු මෙයින් දැක්වෙන්නේ මුනිදාසයන්ගේ රචක ජීවිතය පිළිබඳ වැ බෙහෙවින් සැබෑ අරුත් දැක්මෙකි.
සිංහලයන් සතු වැ ඇත්තේ ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති සාහිත්‍යයෙකි. විචාරකයෝ එය නොයෙක් අයුරින් බෙදා දක්වති. අනුරාධපුර, පොලොන්නරු, දඹදෙණි ඈ විසින් රාජ්‍ය පාලන අවධි අනුව බෙදා දැක්වීම ඉතා ජනප්‍රිය විධිය යි. ඇතැම්හු පුරාතන, මධ්‍යතන, නූතන යනුවෙන් කාලය අනුව ද සාහිත්‍යයේ බෙදීම් දක්වති. තව ද කෙනෙක් වඩා සියුම් ලෙස දහ නව වන, විසි වන ඈ විසින් සියවසින් සියවසට ද සාහිත්‍යයේ බෙදීම් දක්වති. සාහිත්‍යය කෙසේ වතුදු සාහිත්‍යකාරයන් - විශේෂයෙන් නූතන සාහිත්‍යකාරයන් ගැන දැක්වීමේදී නම් අවසනට කී විධිය අනෙක් විධිවලට වඩා පිරිමැසෙයි. ඒ අනුව බලත හොත් ගෙවුණු සියවස් අතරින් සාහිත්‍යකාරයන් ඉතා බහුල වූ සියවස ලෙස සැලැකිය හැක්කේ විසි වන සියවස යි.
විසි වන සියවසෙහි දු මුල් අඩ ගත් කල්හි නූතන සිංහල සාහිත්‍යයේ හැඩ ගැස්ම වූ අයුරු මැනැවින් දැකිය හැකියි. එයට උරදුන් රචකයෝ කිහිප දෙනෙක් මෙ කල සිංහල සාහිත්‍යය හෙබැවූ හ. මෙහි ලා විමැසුමට ලක් වන හේමපාල මුනිදාසයෝ ද ඔවුනතරෙහි ලා ගැනෙති.
හේමපාල මුනිදාසයෝ සිය සමයෙහි ඉතා ජනප්‍රිය රචකයෙක් වූහ. ලේඛන කාර්යයෙහි ලා මහත් කීර්තියක් ඉසිලූහ. ඔවුන් තුරුණු වියෙහි දී එක්තරා පුවත්පතෙක සේවාව පිණිස පැමිණි කල්හි, එ තෙකුදු එහි සේවාවේ නියුතු වූවෙක් මෙ සේ කීයේ ල: “ඔන්න ආවා ලියන්න දෙයියා. පුතයා දෙයි නරක්කාරයන්ගෙ පළු පැළෙන්න” අව්‍යක්ත ස්වරූපයෙන් කියන ලද නමුදු මෙයින් දැක්වෙන්නේ මුනිදාසයන් ගේ රචක ජීවිතය පිළිබඳ වැ බෙහෙවින් සැබෑ අරුත් දැක්මෙකි.
හේමපාල මුනිදාසයෝ වෘත්තියෙන් ප්‍රවෘත්ති පත්‍ර සංස්කාරකවරයෙක් වූ හ. ස්වදේශ මිත්‍රයා, ලක්මිණ වැනි පුවත්පත්හි උපසංස්කාරකයකු වූ ඔහු සිංහල බෞද්ධයා, සිංහල ජාතිය, සීදේවී යන පුවත්පත්හි සංස්කාරක ධූරය දැරූහ. ඔවුන් වඩාලාත් කීර්තිමත් වූයේ සිංහල බලය, සිංහලේ යන පුවත්පත්හි ආරම්භක සංස්කාරකයාණන් වශයෙනි. තවද ලටපට, මහජන සඟරාව යන සඟරා ද ඔවුන් අතින් සකස් විණි.
ප්‍රබන්ධ රචකයකු වශයෙන් ඔවුන් ලියූ මුල් ම නවකතාව ‘වනචාරිකාව’ යි. ඉක්බිති වැ, ප්‍රසාද්සිංහ, වයලා මළවුන් අතර ජීවිතය, සකලසේන, පුනරාලෝකය, ජීවිත පූජාව යන නවකතා ද මනාලිය, වහල් වෙන්දේසිය, ස්ත්‍රී රත්නය, යකාබාස්, නාරිගැටය, කින්නර පිස්සුව, රතු කැට, සැකය යන කෙටිකතා ද ලියා පළ කැරිණි. ප්‍රසිද්ධ පුද්ගලයන් හා සබැඳි රසවත් සිදුවීම් එක් කොට රචිත රසාවදානය ද මහා භාරතය හා භගවද් ගීතාව හා එක් කොට අනුවාදය කළ භාරත ගීතය ද පංචතන්ත්‍ර අනුවර්තනය ද හේමපාල මුනිදාසයන් ගේ අවශේෂ සාහිත්‍ය ග්‍රන්ථ වෙයි. තවද, ශික්ෂෝදය නමින් පාසල් කියැවීම් පොතක් ද ඔවුන් අතින් ලියැවී ඇතැයි කියැවේ. හේමපාල මුනිදාසයන් ගේ යථෝක්ත රචන සමූහය විමසා බලන කල්හි ප්‍රකට වැ පැනෙන කරුණු දෙකක් වෙයි. එකක් නම් ඔවුන් රචනයෙහිලා දැක්වූ මහත් චාතුර්යය යි. නෛපුණ්‍යයි. අනෙක නම් ඔවුන් සතු වූ අනන්‍ය සාධාරණ රචන රීතිය (ශෛලිය) යි.
විසි වන සියවසේ මුල් අඩෙහි සිංහල සාහිත්‍යයෙහි කැපී පෙනුණු ගද්‍ය රචකයෝ කිහිප දෙනෙක් වූහ. පියදාස සිරිසේන, කුමාරතුංග මුනිදාස, ඩබ්ල්යු. ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ ඒ අතර ප්‍රධාන වූහ. හේමපාල මුනිදාසයෝ ඔවුන් ගේ කනිෂ්ඨ සමකාලිකයෙක් වූහ. මොවුනතුරින් පියදාස සිරිසේනයන් හැර අනෙකුදු තැනැත්තන් නිතර හමු වී මිත්‍ර සමාගමයෙහි යෙදුණු බව කියැවේ.
ඔවුහු හැම දෙන ම රචනයෙහි ශූරයන් වූවා සේ ම ස්වායත්ත රචන රීති (ශෛලි) ඇත්තේ ද වූහ. ප්‍රවෘත්ති පත්‍ර සංස්කාරකයකු මෙන් ම සිංහල නවකථාවේ පුරෝගාමියකු ද වූ පියදාස සිරිසේනයන් ගේ රචන රීතිය එතරම් විචිත්‍ර නොවූ සරල වූවක් විය. බස අතින් සලකන කල්හි ඔවුන්ගේ පුවත්පත් ලිපි ද ප්‍රබන්ධ ද අතර එ තරම් වෙනසක් නො පෙනේ. ඔවුන් ගේ භාෂා ව්‍යවහාරයෙහි මෙන් ම රචන රීතියෙහි ද එක්තරා අව්‍යාජ බවක් දක්නා ලැෙබ්.
කුමාරතුංග මුනිදාසයන් ගේ රචන රීතිය විචිත්‍ර විය. මුල දී බෙහෙවින් සංස්කෘතයට බර වැ සිටි ඔහු කෙමෙන් සිංහලයට බර වැ අවසන අමිශ්‍ර සිංහලයට ම නැඹුරු වැ ගත් අයුරු දක්නා ලැබේ. භාෂා ව්‍යවහාරයෙහි මෙ සේ වෙනසක් වුව ද ඔවුන් ගේ රචන රීතියෙහි එ තරම් වෙනසක් වූ බවක් නො පෙනේ. එය ඉතා ආකර්ෂණිය විය. ඉංගිරිසියෙන් මෙන් ම සංස්කෘතයෙහි ද ආභාසය නිසා ඉතා රසවත් විය. කාව්‍යාත්මක විය.
ඩබ්ල්යු.ඒ. සිල්වා මහතාගේ රචන රීතියෙහි මෙන් ම භාෂා ව්‍යවහාරයෙහි ද සංස්කෘත හා ඉංගිරිසි හා ආභාසය බෙහෙවින් දක්නා ලැබිණ. ඉතා රුචිකර මෙන් ම රසවත් වූ එය පාඨක ප්‍රිය වූයේ ය. ඇතැම් විටෙක එක්තරා කෘත්‍රිම භාවයක් ද එහි ඇති සෙයක් දක්නා ලැබිණ.
මාර්ටින් වික්‍රමසිංහයන් ගේ රචන රීතිය ද භාෂා ව්‍යවහාරය ද යට කී දෙදෙනාගෙන් ඉඳුරා වෙනස් විය. එය රසවත් හෝ ආකර්ෂණීය හෝ නොවී ය. භාවාත්මක ද නොවී ය. ඇතැම් විටෙක පුවත්පත් බසේ ආභාසය දක්නා ලැබිණ. නිශ්චිතාර්ථවත් නොවී ය. ධ්වනි ගුණයෙන් ද පොහොසත් නො වී ය. එ වුව ද එහි ඉතා වැදගත් ලකුණක් වූයේ පාඨකයා ගේ බුද්ධිය පුබුදුවනසුලු වීම යි. වික්‍රමසිංහයන් ගේ රචනා අර්ථයෙන් මෙන් ම රීතියෙන් ද පාඨක බුද්ධිය පුබුදුවන සුලු විය. ඔවුන් ගේ රීතිය කාව්‍යාත්මක නොවීමත් බොහෝ විට නිශ්චිත භාවයක් නොදැක්වීමත් ඇතැම් විටෙක වාර්තා ස්වරූපයක් ගැනීමත් එයට හේතු වෙති යි ඉතා දළ විසින් නිගමනය කළ හැකි ය.
මෙසේ, විසි වන සියවස මුල් අඩෙහි කෘතහස්ත සිංහල රචකයන් කිහිප දෙනෙකුගේ රීතිය හා භාෂා ව්‍යවහාරය හා ඉතා කෙටියෙන් දැක්වුණේ හේමපාල මුනිදාසයන් ගේ රචන රීතිය හා භාෂා ව්‍යවහාරය හා පිළිබඳ කෙටි විමැසුමකට පිවිසුමක් ලෙසිනි.
යට දක්වන ලද පරිදි, හේමපාල මුනිදාසයෝ කෙටිකතා, නවකතා මෙන් ම වෙනත් ගද්‍ය රචනා ද කළහ. මෙහිලා ඔවුන් ගේ භාෂා ව්‍යවහාරයෙහි මඳ වෙනසක් දැකිය හැකි ය. සාමාන්‍යයෙන් ඔවුන් ගේ භාෂා ව්‍යවහාරය සංස්කෘතයට බර විය. සංස්කෘත තත්සමයන් බෙහෙවින් යෙදීමට ඔවුන් ඉතා ප්‍රිය කළ අයුරු මනා වැ පෙනී යන කරුණෙකි. කුමාරතුංගයන් හෝ සිල්වා මහතා හෝ මෙන් සංස්කෘතියෙහි වෛශාරද්‍යයක් ඔවුන් වෙත වී ද යනු නොදත හැකි නමුත් ප්‍රකට සිංහල වචන තිබියදී ද බර හඬ නඟන, රේඵ, රකාරාංශ, මහාප්‍රාණ ආදියෙන් යුක්ත සංස්කෘත තත්සම යෙදීම ඔවුනට අභිමත විය. මේ වනාහි ස්වකීය පාණ්ඩිත්‍යය විශද කිරීමේ ව්‍යායාමයකැ යි ඇතැමකුට පෙනී යා හැකි ය. එ වුව ද, වඩා ගැඹුරින් විමසා බලන කල්හි පෙනෙනුයේ මෙහි සියුම් අරුතක් ගබ් වැ ඇති බවයි.
මුනිදාසයන් ගේ අදහස් නිරාකූල විය. වේගවත් විය. පාඨකයා වෙත තමන් ලබාදෙන්නේ සාරාර්ථයන් ම බව ඔවුනට නිසැක විය. එ ගැන ප්‍රබල ආත්ම විශ්වාසයක් ඔවුනට වූ බව පෙනී යයි. එහෙයින් එ අදහස් තිරසර වැ කියවන්නන් හට කා වැද්දිය හැක්කේ යට කී අයුරු බර සකු වදන් යෙදීමෙන යි ඔවුන් සිතූ අයුරෙකි. මෙය ඔවුන් සිතා මතා යෙදූ උපක්‍රමයක් වුව ද නො වුව ද ඉෂ්ටාර්ථ සාධනයට සමත් වූවකැයි පෙෙන්. රචනයෙක අන්තර්යනය හා එහි උපයුක්ත රීතිය හා සූක්ෂ්ම ලෙස ඒකාබද්ධ වූ අවස්ථාවක් ලෙස මෙය ඇගැයිය හැකි ය.
මේ රීතිය පාඨකයාට සිතන්නට ඉඩ නො තබයි. රචකයාගේ අදහස් ඔවුනට ඉබේම පිළිගැනේ. මාර්ටින් වික්‍රමසිංහයන් ගේ රීතිය ඉඳුරා දක්වනුයේ මෙයට ප්‍රතිපක්ෂ භාවයෙකි. ඔවුන් ගේ වාක්‍ය බොහෝ විට නිශ්චිතාර්ථවත් නො වෙයි. පද යෝජනය ද නිරාකූල නොවේ. භාෂාව ද ධ්වනි ගුණයෙන් නොහොත් භාවාත්මකතාවෙන් හීනය. එහෙයින් එය පාඨකයාට එ තරම් බලපෑමක් නො කරයි. එහි අරුත උකහාගෙන ස්වබුද්ධියෙන් ඒ ගැන සිතා බැලීමට පාඨකයාට ඉඩ ලැබේ. වෙනත් ලෙසෙකින් කිව හොත් හේමපාල මුනිදාසයන් ගේ රචන රීතියෙහි දක්නා ලැබෙන ආධිපත්‍යධර භාවය වික්‍රමසිංහයන්ගේ රචන රීතියෙහි දක්නා නොලැබේ. කුමාරතුංග ඩබ්.ඒ. සිල්වා දෙදෙනාගේ ද රචන රිතිවල එක් පමණ දුරකට මේ ආධිපත්‍යධාරිත්වය දක්නා ලැබේ.
මුනිදාසයන් නූතන සමාජය පසුබිම් කොට ලියූ නවකතා - කෙටිකතාවල නම් එ බඳු රචන රීතියක් විද්‍යමාන නොවේ. සංස්කෘත වචන බාහුල්‍යය ද එතරම් දක්නා නො ලැබේ. එ සේම දෙබස් යෙදුමෙහි දී තම වහර සජීව ලෙස භාවිත කරන්නට ද ඔවුන් උත්සුක වූ අයුරු පෙනේ. ස්වකීය සම්භක්ත පූර්වගාමියා වූ ඩබ්ල්යු. ඒ. සිල්වා මහතාට වඩා අව්‍යාජ ලෙස කට වහර භාවිත කරන්නට මුනිදාසයන් සමත්ව ඇත. මුනිදාසයන් ගේ රචනා රීතියෙහි අනෙක් වැදගත් ලකුණ වනුයේ වාග් බාහුල්‍යය යි. ඔවුන් ගේ සිහිය ‘අනූන වූ ශබ්ද නිධානයක් වූ’ නිසා දෝ එක් වදනක් යෙදිය යුතු තන්හි වදන් කිහිපයක් යොදා අභිමත අර්ථය අචල වැ, ස්ථිර වැ දක්වන්නට ඔහු උත්සාහ ගනිති. මෙ හෙයින් ම දීර්ඝ වාක්‍යකරණය ද ඔවුන්ගේ රචන රීතියෙහි ප්‍රකට ලක්ෂණයක් වේ. කුමාරතුංගයන් ගේ රීතිය මෙයට ඉඳුරා ප්‍රතිපක්ෂ වෙයි. කුමාරතුංගයන් වදන් ඉසුරකු මෙන් ම වදන් මසුරකු ද වූ ඇතැම් විචාරකයෝ දක්වති. ඒ ඔවුන් ඇවැසි තැන ඇවැසි වදන පමණක් ම යෙදූ හෙයිනි. ඔවුන් ගේ රචනයෙහි ප්‍රබලත්වය මතු වනුයේ අර්ථ සංකෝචනය මඟිනි. එයට ගැළැපෙන සේ ඔහු කෙටි වැකි යෙදූ හ. හේමපාල මුනිදාසයන් රචනයෙහි ප්‍රබලත්වය අපේක්ෂා කළේ අර්ථ විස්තාරණය මඟිනි.
“අසව! තදනුරූප වූ උපකාරක හෝ අනුග්‍රහයක හෝ යෙදුණු කල්හි කෘත්‍රිම වෛරය අහෝසි වන්නේ ය. එහෙත් ........... වෛරය එසේ අහෝසි නොවන්නේ ය. එය ජන්මයෙන් ජන්මය නොහැර යන්නේ ය. මුගටියා හා නාගයා අතරත් තෘණ ආහාර කොට ගන්නා සතුන් හා මාංසය ආහාර කොට ගන්නා සතුන් අතරත් ජලය හා ගින්න අතරත් සුරයන් හා අසුරයන් අතරත් සුනඛයන් හා බළලුන් අතරත් ධනපතියන් හා දිළින්දන් අතරත් සිංහයන් හා ඇතුන් අතරත් ව්‍යාඝ්‍රයන් හා මෘගයන් අතරත් පතිවත රක්නා ගැහැනිය හා බහුපුරුෂ සේවනයෙහි යෙදෙන ස්ත්‍රිය අතරත් වේදය හදාරන බමුණන් හා අපගත වූ පැවැතුම් ඇති බමුණන් අතරත් ඇත්තේ සහජ වෛරෙයකි...”
මුනිදාසයන්ගේ පංචතන්ත්‍ර අනුවර්තනයෙන් ගත් මේ පාඨය අර්ථ විස්තාරණය රචනයෙහි ප්‍රබලත්වය පිණිස ඔවුන් යොදාගත් අයුරු සුවිශද වැ දක්වයි.
“විවේකය, විනෝදය හා චාරිකාව සඳහා වෙන් වුණු ස්වල්ප අවසරයත් හැර ජීවිතයේ බහුතර කාලය භාෂා සාහිත්‍යය පිළිබඳ මෙහෙවරට ම කැප කොට ස්වවංශයේ විභූතිය හා විභූෂණය ස්වකීය සෞභාග්‍යය හා ........... කොට සිතා ................. හෝ පෞද්ගලික යාන වාහන ගෘහමන්දිරා වූ උපභෝග පරිභෝග වස්තු සම්පාදනයට හෝ කිසි විටෙකත් සිත නොයෙදූ මේ අපූර්ව ලේඛකයා ශාන්ති නායකයාණන් ගේ සර්ව ජනනයටත් උන්වහන්සේ හේතු ප්‍රත්‍යය දර්ශනයටත් හෘදයංගම භක්ති ප්‍රණාමය...”
මේ ඡේදය මුනිදාසයන්ගේ රචන රීතියෙහි මෙ තෙක් දැක්වූ ආධිපත්‍යධාරිත්වය, සංස්කෘත වචන යෙදීම, වාග්බාහුල්‍යය, දීර්ඝ වාක්‍ය කරණය යන ලක්ෂණ විදහා දක්වයි. එ මෙන් ම ශබ්ද ධ්වනිය මෙන් ම අර්ථ ධ්වනිය ද කෙරේ. ඔවුන් දැක්වූ මනා අවධානය කැපී පෙනෙයි. එය සාර්ථක රචනයෙක අත්‍යවශ්‍ය අංගයෙකි.
මුනිදාසයන්ගේ රචන රීතිය පිළිබඳ වැ සලකන කල්හි දැකිය හැකි එක්තරා දුර්වල භාවයත් නම් ව්‍යාකරණානකුකූල භාවය කෙරෙහි එ තරම් සැලැකිල්ලක් නෙ කා දැක්වීම ය. ඒ අතින් බලන කල්හි (මෙහිලා සඳහන් කැරුණු රචකයන් අතරින්) පියදාස සිරිසේන, මාර්ටින් වික්‍රමසිංහ දෙදෙනා හට ඔහු තරමක් සමාන වෙති. කුමාරතුංග, ඩබ්ල්යු. ඒ. සිල්වා දෙ දෙන, ඉනුදු කුමාරතුංගයෝ, රචනයෙහි දී ව්‍යාකරණයානුකූල භාවය ඉහළින් ම ඇගැයූහ.
කවර රචකයකුගේ වුව ද චින්තනය ඔහුගේ රචන රීතිය කෙරෙහි මහත් සේ බලපාන බව නිසැක ය. හේමපාල මුනිදාසයන් පිළිබඳ වැ මේ කරුණ වඩාත් සනාථ වේ. ඔවුන්ගේ සමස්ත රචනා කෙරෙන් පෙනී යන පරිදි, චින්තනය ඍජු විය, නිරාකූල විය, උද්වේගවත් විය, භාවාත්මක විය. එය ඔවුන් ගේ රචන රීතියෙනුදු සුවිශද වේ.