මා ‘භාරත ගීතය’ ලිව්වේ මෙහෙ­මයි | සිළුමිණ

මා ‘භාරත ගීතය’ ලිව්වේ මෙහෙ­මයි

1957 සැප්තැ­ම්බර් 08 වැනිදා සිළු­මිණ පුව­ත්ප­තට ලියූ ලිපි­යකි.
 
භාරත ගීතය වූකලී 
උදක් මහා භාරත 
මහා කාව්‍ය­යෙහි ජිවය කවා කරන ලද ප්‍රති­මා­වක් යැයි කීම වඩා උචි­තය. එහෙත් මේ ප්‍රති­මාව සුව­ර්ණ­යෙන් නිර්මිත යයි කීම 
අති­ශ­යෝ­ක්ති­යක් නොවේ. 

පුරාතනයෙහි පහළ වුණු වෛඥනික විද්‍යා රාශියක සමුත්පාදකයා වශයෙන් ගණන් ගැනෙන පරාශර මහාර්ෂි පුත්‍ර ව්‍යාඝ ඉසිවරයාණන් විසින් මෙයින් ශත සංවත්සර තෙළෙසකට පමණ පෙර භාෂිතයයි සලකනු ලබන මහා භාරතයත් එහි ජීව රූපය වූ කුරුපාණ්ඩව මහා යුද්ධාරම්භයෙහිදී ශ්‍රී කෘෂ්ණයන් විසින් දෙශිත සේ සලකනු ලබන භගවත් ගීතයත් සම්පිණ්ඩනයෙන් සංකලනය කොට භාරත ගීතය සම්පාදනය කිරීම වූකලී කලක පටන්ම අප සිත් සතන්හි මුල් බැස පැවැති මනෝරථයක් පූරණය කර ගැනීමකි.

එකල දැන සිටි සකල සදාචාර ලෝකයම මල්ල ප්‍රතිමල්ලයන් වශයෙන් දෙපක්ෂයකට බෙදී පංචාල දේශයෙහි කුරු ක්ෂේත්‍රයෙහි අටළොස් දිනකට සීමා වී පැවැතුණු සර්ව සංඝාතනිය කුරුපාණ්ඩව මහා යුද්ධය මහා භාරත මහා කාව්‍යයෙහි ජිව වායුව වන නමුදු ගතවූ පසළොස් සත වර්ෂය මුළුල්ලේ පහළ වුණු ඉන්දු ආර්යයන් ගේ සමාජ චාරිත්‍ර වාරිත්‍ර, සමය සමයාන්තර, යාග හෝම හා පුද පූජා විධි විධාන, සච්චරිත හා දුශ්චරිත ඇදැහිලි හා පැවැතුම්, සිතුම් හා පැතුම් ශ්‍රැති ස්මෘති හා ජනප්‍රවාද එක්ව ගැප්වීම නිසා එය හෝමර්ගේ ‘ඔඩිසි’ හා ‘ඉලියඩ්’ මහා කාව්‍යයන් මෙන් සත් ගුණයකට වඩා විශාලය.

“කල්කටාවේ මුද්‍රිත ඉතාම අලුත් සංස්කරණයෙහි පවා ඊට ඇතුළත්ව පවත්නා සකුසිලෝ සංඛ්‍යාව අනු තුන් දහසකි. එහෙයින් පිටු හත්සිය ගණනකින් පරිමිත කොට අප විසින් සම්පාදිත භාරත ගීතය එහි පරිවර්තනයක් අනුවර්තනයක්. හෝ අනුවාදයකැයි කියතොත් එය ව්‍යාජ මතිමාත්‍රයක් විය යුතුය. භාරත ගීතය වූකලී උදක් මහා භාරත මහා කාව්‍යයෙහි ජිවය කවා කරන ලද ප්‍රතිමාවක් යැයි කීම වඩා උචිතය. එහෙත් මේ ප්‍රතිමාව සුවර්ණයෙන් නිර්මිත යයි කීම අතිශයෝක්තියක් නොවේ.”

හින්දුන්ගේ මිග දෙඩුම්වලින් ගහන වන රාමායනය භරත ආදි මහා කාව්‍යයන් නොකියවිය යුතු යයි සඟරුවනට අනුශාසනයක් කෙරෙන කවිසේකර කවිය කියැවූ සමයේ පටන්ම මහා කාව්‍යයක් පරිශීලනය කිරීමේ ආශාව අප සිත් තුළ පහළ වුණේය. රාමායන මහා කාව්‍යයෙන් අංශු මාත්‍රයක් සිංහල ගද්‍යයට නගා සී. දොන් බස්තියන් මහතුන් විසින් මෙයින් අර්ධ ශත වර්ෂ්‍යකට පෙර පළ කෙරුණු ග්‍රන්ථය හතළිස් වසරකට පමණ පෙර කියවන්නට ලැබීමත් එයින් එහි ඉංගිරිසි අනුවාදය සම්පූර්ණයෙන්ම කියවන්නට ලැබීමත් නිසා ඒ පිළිබඳ තෘෂ්ණාව අප සිත් තුළින් තුනිවී ගිය නමුත් මහා භාරත පරිශීලනය පිළිබඳ ආශාව අනුක්‍රමයෙන් උග්‍ර භාවයකට ම පත් වුණේ ය.

මෙයින් දොළොස් වසකට පමණ පෙර බලවත් වාතාබාධයකින් පෙළෙමින් කොළඹ මහා ආයුර්වේද ආරෝග්‍ය ශාලාවේ සිටිද්දී මේ පිළිබඳ එක්තරා සන්ධිස්ථානයක් ලැබුණේය. කාලය ගත කිරීම පහසු වීම සඳහා කියවීම පිණිස මා විසින් එහි ගෙන ගොස් තිබුණු පොත් අතර සීලාධාර ස්වාමිපාදයන්ගේ ධම්ම පදයෙහි ඉංගිරිසි අනුවාදයත්, සර් එඩ්වින් ආර්නෝල්ඩ්ගේ භගවත් ගීතයෙහි ඉංගිරිසි අනුවාදයත් ඔහුගේම අමරණීය කෘත්‍යය වන ආසියා ලේකයත් දකින්නට ලැබිණ.

ස්වකීය විස්මය ජනක ශබ්ද විද්‍යාධර භාවයක් පාළි හා සංස්කෘත භාෂා නෛපුණ්‍යයත් පරිසමාප්තවම ක්‍රියාවේ යොදා සර් එඩ්වින් ආර්නෝල්ඩ් විසින් සම්බුද්ධ චරිතය නිරූපණය කරමින් ඉංගිරිසි පද්‍යයෙන් විරචිත භගවත් ගීතයෙහි දක්නා ගම්භීර ධර්මාන්තරයන්හි රසාස්වාදයෙහි යෙදෙමින් සයනෙහි වැතිර සිටි එක් අවස්ථාවෙක යාබද කාමරයෙහි ගිලන්ව විසූ කොත්මලේ අමරවංස ස්ථවිරයන් වහන්සේ අප කරා වැඩම වූහ. පාඨනය කරන පොත් නැරඹූහ. ආපසු වැඩමවා පොතක් රැගෙන යළිත් වැඩම කළහ.

“මෙන්න මහත්තයෝ, ඕකේ අනෙක් පොත” යයි කියමින් ඉංගිරිසි පොතක් අපට දී නැවත් ආපසු වැඩියහ.

මෙය වූ කලී රොමේස් දත් විසින් ගද්‍යයෙන් කරන ලද මහා භාරතයේ සාරාංශ සම්පිණ්ඩනයකි. එක් හුස්මට මේ විසිතුරු ව්‍යක්ත ග්‍රන්ථය කියැවීමෙන් පසු මහ භාරත මා කාව්‍යයත් එහි ජීව ධාතුව වශයෙන් ගණන් ගත යුතු භගවත් ගීතයත් එකී භූතකොට හෙළ බසින් ග්‍රන්ථයක් නිර්මාණය කිරීමේ අධිෂ්ඨානය අප තුළ පහළ වුණේ ය.

එහෙත් මේ අධිෂ්ඨානය ක්‍රියාවේ යෙදෙන්නට පටන් ගැනුණේ ගතවුණු සම්බුද්ධ ජයන්තියෙහි සමාරම්භයෙහිදීය. මහා භාරතය සාරාංශ සම්පිණ්ඩනයට පත් කරමිනුත් භගවත් ගීතය අනුවාදයට පත්කරමිනුත් ප්‍රාචීන හා ප්‍රතිචීන මහා කවීන් හා විචාරකයන් විසින් සම්පාදිත ග්‍රන්ථ කීපයක් දුක සේ සොයා ලබා ගෙන කෘත්‍යාරම්භයෙහි යෙදුණු නමුත් ඒ සමඟම ගිලන් බවට පත්වී ආරෝග්‍ය ශාලාවකට ඇතුළත් වන්නට සිද්ධ වුණේය.

මෙයින් පසු පිටපත් කර ගැනීමේ මෙහෙවර තවත් කෙනකු වෙත පවරා යළිත් කටයුත්ත ආරම්භ කළ නමුත් ඒ සම්බන්ධයෙන් ඇති වුණේත් අපේක්ෂා භංගවත්වයකි. භාරත ගීත කෘත්‍ය සම්පාදනයෙහි ආරම්භයෙහි පටන් අවසානය දක්වා මහත් මමත්වයකින් උද්‍යොගයකින් හා ආත්ම පරිත්‍යාගයකින් යුක්තව එය පිටපත් කිරීමේ යෙදුණ ඇම්. ඇල්. ඒ. සිල්වා මහතා අපේ සහාය සඳහා එළඹුණේ මින් පසුවය.

කලින් සපයා ගෙන තිබුණු පොත්වල ද ඇම්. ඇල්. ඒ. සිල්වා විසින් විවිධ පුස්තකාල පීරා සොයමින් සපයා ගනු ලැබූ ඊට අදාළ වෙනත් පොත්වල ද සහාය ඇතුව, මෙතැන් පටන් විධිමත් ලීලාවකින් කටයුත්ත ආරම්භ වුණේ ය. වැල්ලවත්තේ වෛශාඛ විද්‍යාලයයේ ආචාර්ය මණ්ඩලයට අයත් සිල්වා හරියට හවස පහට අපේ තාවකාලික නිවස්නයට එන්නේය. ගිලන් බවෙන් පරි පීඩිත ගත සිත ඇතිව එහෙත් දිවා සමයේ කියවන ලද මහා භාරතය පිළිබඳ කෘතීන්හි සාරාංශය සිත් සතන්හි ඇතිව නිදා සිටින අප මුදු මොළොක් ලෙස අවදි කරවන්නේය. ඇතැම් විට මේ අද්භූත ආගන්තුකයා හට සිටින්නන් දොස් නඟන නමුදු ඇතැම් විට එළි පිටම රොස් පරොස් බස් බෙණෙන නමුදු මෙතැන් පටන් රාත්‍රී අට හමාර වන තෙක් කටයුත්ත කෙරෙන්නේය. මෙසේ මෙතැන් පටන් දිනපතා පැය දෙක හමාර හෝ තුන බැගින් කෘතිය කෙරෙහි කැපවී තුන් මසක් ඉකුත් වුණු පසු භාරත ගීතයේ පරිසමාප්ත අත්කොපිය දකින්නට ලැබිණ.

ලිපි දොස් දුර හැර සදොස් කොට සම්පාදනය වුණු දෙවන අත් පිටපත සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ සමාගමේ කෘත්‍යාධිකාරී අධ්‍යක්ෂක තැන්පත් ඇම්. ඩී. සිරිසේන මහතා වෙත පැවැරුණා පමණෙකි. පිටු කීපයක් පෙරළා බැලීමෙන් පසු පුල්ස්කැප් පිටු හයසිය ගණනකින් පරිමිති වන භාරත ගීතය මුද්‍රණ ශිල්පීන් අතට පත් කෙරිණ. දෙතුන් මසක් ඇතුළත මුද්‍රණය ද අවසන් වූ පසු ග්‍රන්ථය සඳහා ඩබ්ල්යු. ඒ. සිල්වා සාහිත්‍ය කීර්තීන් ගෙන් ප්‍රස්තාවනාවක් ලබා ගැනීම පිණිස මහත් උත්සාහයක් දරන ලද්දේ ය.

සම්පූර්ණ කෘත්‍යයම කියවා තුති පැසසුම් පුදා ප්‍රස්තාවනාවක් ලිවීම පිණිස මේ මහා නවකතා විද්‍යාධරයා දාඪොත්සාහයක යෙදුණ නමුත් ඒ සමඟම ඔහුගේ රෝගය අසාධ්‍ය තත්ත්වයකට පත්වුණේය.

අප මෙන්ම සිල්වා ද දුස්සාධ්‍ය ලෙස රෝගොපගත වී එක දවසේම ආරෝග්‍ය ශාලාවකට ඇතුළත් වී සිල්වා කීර්තිශේෂ භාවොපගත වීමෙනුත් ඔහු භස්මාවශිෂ්ට වුණු දිනයෙහිම මිහිකතගේ ඇකයට පත්වීමේ හේතු ලක්ෂණ ඇති වූ දොළොස් පැයක් පණ අදිමින් සිටි අප තවත් වරක් ජීවිතය බදු ගැනීමෙනුත් මෙහි අවසානය දක්නට ලැබුණේය.

Comments