ජාතික නිද­හ­සට කැප වූ පෑනේ හටන | සිළුමිණ

ජාතික නිද­හ­සට කැප වූ පෑනේ හටන

තිඹිරියාගම බණ්ඩාර

යොවුන් වියෙහිදී රාජගිරියේ හේවාවිතාරණ විදුහලෙන් පේෂකර්ම විෂය පිළිබඳ පුහුණු අධ්‍යාපනය ලැබූ ඔහු රාත්‍රි කාලයේ එහිම පැවති ඉංග්‍රීසි පාසැලෙන් ඉංග්‍රීසි උගත්තේ ය. දෙස් විදෙස් සාහිත්‍ය පත පොත කියවා පුළුල් දැනුමක් ලබාගත්තේ ය. ඉගෙනුමෙන් පසුව පේෂකර්ම පුහුණු ගුරුවරයකු ලෙස කෙටි කලක් සේවය කළ ඔහු ඉනික්බිති පුවත්පත් කලාව තෝරා ගත්තේ ය.

දිවයිනේ සිටි ජ්‍යෙෂ්ඨතම නීතිඥවරයකු ව‍ූ ඇල්. ඇම්. ඒ. සිල්වා පසුගියදා මිය ගියේ ය. අනූවියට ආසන්න වෙමින් සිටි ඔහු අඛණ්ඩව ලිවීමෙහි ද පොත් කියවීමෙහි ද යෙදී සිටියේ ය. තුරුණු වියෙහිදී හේමපාල මුනිදාසගේ සිසුවකු ලෙස ලේඛන කලාව ප්‍රගුණ කළ ඔහු තම ගුරුවරයා කෙරෙහි තිබූ අප්‍රමාණ ගෞරවාදරය ලේඛනවල ද සඳහන් කර ඇත. හේමපාල මුනිදාසගේ පතපොත සහ පුවත්පත් කලාව සම්බන්ධයෙන් අප දන්නා කරුණුවලට අමතරව බොහෝ දේවල් ඇල්.ඇම්. අපට කීවේ ය. මේ එයින් මා සිත්ගත් විස්තරයකි.

“දේශපාලන ක්ෂේත්‍රයෙහි බලගතු ම පුද්ගලයන් සමඟ පයුරුපාසානමක් තිබුණත් ඔහු කිසිම විටෙක ආත්ම ලාභය තකා පෑන හැසිරෙව්වේ නැහැ. ලේඛක මුදලාලි කෙනෙකුවීමේ හැකියාව ඔහුට තිබුණා. ඔහුගේ ලේඛන ශෛලීය ඒ තරම් ම ප්‍රබල යි. ජීව ගුණයෙන් යුක්තයි. එමෙන් ම ඔහු අලුත් පරපුරේ ලේඛකයන්ට කවීන්ට, හැකි තරම් අවස්ථාව දුන්නා. හොඳ කවියක්, ලිපියක් කියෙව්වාම රචකයාට ලිපියක් ලිවීමේ සිරිතක් තිබුණා. ඒක දුර්ලභ ගුණයක්. මා ඔහුගෙන් ඉගෙන ගත් දේවල් අපමණයි.”

මීට මාස කිහිපයකට පෙර අවසන් වරට ලේක්හවුස් ආයතනයට පැමිණි ගමනේ දී ඔහු යටගියාවේ තොරතුරු බොහෝ වෙලාවක් කතා කළේ ය.

1959 දී පළ කළ ඔහුගේ පළමු කෘතියෙහි ද ගෞරවයෙන් සඳහන් කර ඇති ලේඛකයා වනුයේ හේමපාල මුනිදාස ය. හේමපාල මුනිදාස අනුව ගිය පරපුරේ අවසාන ලේඛකයා ද ඔහු යැයි මට හැ‍ඟේ. ඇල්.ඇම්. මහත් ආස්වාදයෙන් යුතුව සිහිපත් කළ හේමපාල මුනිදාස ලේඛකයාගේ මහරු ගතිගුණ වත්මනෙහි නම් ලේඛකයන් අතර දැකගත හැක්කේ කලාතුරකිනි. එදත් එසේම වන්නට ඇත. එවැනි ගතිගුණ පිහිටිය හැක්කේ මමත්වය තුනී කිරීමෙහි සමත් ලේඛකයන් හට යැයි මට හැ‍ඟේ. ඇල්.ඇම්.ඒ. සිල්වා, හේමපාල මුනිදාස කෙරෙන් දුටු ආත්ම ලාභය තකා පෑන නොහැසිරවීමේ ගුණය ලේඛකයන් හට පිහිටන්නේ කලාතුරකිනි. තමන් තෝරා ගත් මග අනුන් පාගාගෙන හෝ යනු විනා අනුන්ට මග පෙන්වීම හා අතදීම ලේඛකයන් වෙතින් දැක ගත හැක්කේ ඉතා අඩුවෙනි. ඒ පිළිබඳ තවත් වැදගත් ලිඛිත සාක්ෂියක් ඊ.ඩී.ඇස්. හේනේ‍‍ගොඩ සංස්කරණය කළ බණ්ඩාරනායක නඩුව හා මලල්ගොඩගේ සාක්කිය කෘතියෙන් හමුවේ.

මෙය බණ්ඩාරනායක ඝාතන නඩුවේ නඩු වාර්තා ඇසුරෙන් සකස් කළ කෘතියකි. පී. මලල්ගොඩ හා නීතිඥවරුන් අතර ඇතිවන දෙබස් ද ඇසුරු කර ගනිමින් කෘතිය රචනා කර ඇත.

නීතිඥ - ඇත්ත වශයෙන් ඔබ කවි ලිව්වේ ‘සිංහලේ’ පත්‍රයටයි. එහෙත් එයින් ඔබට මුදල් ලැබුණේ නැහැ?

මලල්ගොඩ - එක් වකවානුවක වැඩි ම වශයෙන් කවි හා ලිපි ලීවේ හේමපාල මුනිදාස මහතාගේ සිංහලේ පත්‍රයටයි.

නීතිඥ - හේමපාල මුනිදාස හැමදාම බංකොලොත් කාරයෙක්?

මලල්ගොඩ - මළවුන්ට නින්දා කිරීම කැත වැඩක්. ඒ උත්තමයට අපහාස කරන්න මා කොහෙත්ම කැමැති නෑ.

නීතිඥ - මුනිදාස බංකොලොත්කාරයෙක් ද? නැද්ද? දේශනාව නවත්වා උත්තර දෙනවා.

මලල්ගොඩ - මා දන්නේ නෑ. මා දන්නේ ඔහු ඉතා පොහොසත් කෙනෙකු බවයි.

නීතිඥ - ඔහුට මුදල් තිබුණ ද?

මලල්ගොඩ - ඒක මා දන්නෙ නෑ.

නීතිඥ - එහෙනම් ඔහු පොහොසත් යයි කීවේ?

මලල්ගොඩ - හේමපාල මුනිදාස මහතා මනින්නේ රුපියල් සතවලින් නොවේ. ඔහු බුද්ධිය අතින් මහා පොහොසතෙකි.

හේමපාල මුනිදාස ධනයට, බලයට, කීර්තියට වඩා ආත්මාභිමානය වැදගත් කොට සැලකූ ලේඛකයකු බව බණ්ඩාරනායක ඝාතන නඩුවේ මලල්ගොඩ සාක්කියෙන් ද පෙනේ.

1903 ජූනි 22 දින ඌව පළාතේ අඹගස්දෝවදී උපත ලද හේමපාල මුනිදාස මිය ගියේ 1957 දෙසැම්බර් 24 දා ය.

යොවුන් වියෙහිදී රාජගිරියේ හේවාවිතාරණ විදුහලෙන් පේෂකර්ම විෂය පිළිබඳ පුහුණු අධ්‍යාපනය ලැබූ ඔහු රාත්‍රි කාලයේ එහිම පැවති ඉංග්‍රීසි පාසලෙන් ඉංග්‍රීසි උගත්තේ ය. දෙස් විදෙස් සාහිත්‍ය පත පොත කියවා පුළුල් දැනුමක් ලබාගත්තේ ය. ඉගෙනුමෙන් පසුව පේෂකර්ම පුහුණු ගුරුවරයකු ලෙස කෙටි කලක් සේවය කළ ඔහු ඉනික්බිති පුවත්පත් කලාව තෝරා ගත්තේ ය.

1924 දී ඒ.ඩී.ඩබ්. වික්‍රමාරච්චි මහතාගේ ස්වදේශ මිත්‍රයා පුවත්පතට ඔහු සම්බන්ධ විය. ඉන්පසු සිංහල බෞද්ධයා, ලක්මිණ යන පුවත්පත්වල සේවය කළේ ය. 1931 දී පිටපත් 800 කට සීමා වී තිබූ සිංහල බෞද්ධයා පුවත්පතේ අලෙවිය ඔහුගේ රචනා ශෛලියෙහි විශේෂත්වය නිසා පසු කාලයේ 16000 දක්වා වැඩි වූ බව කියැවේ. සූර විනෝද යන ඔහු ලියූ ජනප්‍රිය තීරු ලිපියකි.

1935 දී ඔහු සිංහල බෞද්ධයා කර්තෘ ධුරයට පත්විය. 1940 දී එම පුවත්පතෙන් ඉවත්වූ ඔහු සිංහල මහා සභාව වෙනුවෙන් සිංහල බලය පුවත්පත ආරම්භ කළේ ය. ඒ වන විට‍ සිංහල මහ සභාව බෞද්ධ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් හඬක් නඟමින් සිටියේ ය. එය වඩාත් පුළුල් ජන පදනමක් කරා ගෙන යෑම ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ අරමුණ විය.

නිදහස් ලංකාවේ පළමු අගමැතිවරයා වූ ඩී.එස්. සේනානායක මහතාගෙන් නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරිත්වය ‘සිංහලේ’ තද විවේචනයකට ලක් කළේ ය.

එජාපය මෙන් ම වාමාංශික පක්ෂවලට ද එරෙහි මතයක් නිර්මාණය කිරීම ‘සිංහලේ’ දැක්ම විය. එය නව දේශපාලන පක්ෂයක ආරම්භය බව සිංහලේ පුවත්පත ඔස්සේ පාඨකයාට දැනගත හැකි විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භය එයයි.

බණ්ඩාරනායක මහතා එජාපයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමේ දී එයට අවශ්‍ය චින්තන පදනම ඇති කිරීම සඳහා හේමපාල මුනිදාසගේ ලේඛන බලගතු බලපෑමක් ඇති කළ බව පිළිගැනේ.

බණ්ඩාරනායක, හේමපාල මුනිදාස පයිරු පාසානම සහ සිංහලේ පුවත්පත තමන්ට තර්ජනයක් බව සිතූ පාර්ශ්ව රුපියල් 1500 ක වැටුපට හේමපාල මුනිදාස මහතාට පුවත්පත් කතුකමක් බාර දෙන්නට යෝජනා කළ ද, රුපියල් 400 වැටුපට තමන් මෙතෙක් කරගෙන ආ කටයුත්ත ඉදිරියට ගෙන යෑම ඔහුගේ අපේක්ෂාව වී තිබේ.

ඇතැම් තීන්දු සම්බන්ධයෙන් බණ්ඩාරනායක මහතා සහ හේමපාල මුනිදාස මහතා අතර ගැටුම්කාරී තත්වයන් ඇති වූ බව ද පක්ෂයේ නිල පුවත්පතක් වීමට වඩා තම අනන්‍යතාව රැක ගනිමින් විවේචනාත්මක සහයක් ලබාදීම හේමපාල මුනිදාස මහතාගේ ප්‍රතිපත්තිය වූ බව ද වාර්තාගත ය.

පුවත්පත් කලාවට අමතරව ඔහු ක්ෂේත්‍ර කිහිපයක දස්කම් දැක්වීය. ඔහු පුරෝගාමී කෙටිකතාකරුවන් ගෙන් අයකු ලෙස කෙටිකතා පාඨකයෝ පිළිගනිති. නවකතා සහ පරිවර්තන කෘති කිහිපයක් ද ඔහු අතින් රචනා වී ඇත.

හේමපාල මුනිදාසයන්ගේ ලේඛන කලාව මුවහත් වූයේ යටත්විජිත රාජ්‍යයක අධිරාජ්‍ය වි‍රෝධී හැඟීම් සමුදායක් ඔස්සේ ය. එවක ජාතික ව්‍යාපාරයට නායකත්වය දුන් ප්‍රබුද්ධයන් සමඟ ඔහුට පයිරු පාසානයක් ද විය. අධිරාජ්‍යයෙන් නිදහස ලැබීම, වරප්‍රසාද ලත් පන්තියකට සීමාවූ තිබූ සමාජ වරප්‍රසාද පොදු ජනතාවට විවර කිරීම, බෞද්ධයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාව කිරීම, සිංහල භාෂා සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති කිරීම යනාදී අරමුණුවලින් ඔහු සන්නද්ධ වී සිටි බව පෙනේ.

එහෙත් ඔහු මාක්ස්වාදියෙක් නොවී ය. 1948 දී වතු කම්කරුවන්ගේ ඡන්ද අයිතිවාසිකම් අහිමි කරන විට ඩී.ඇස්. සේනානායක, ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන හා බණ්ඩාරනායක යනාදී නායකයන් තනි මතයක සිටින විට වමේ පක්ෂ පමණක් එයට එරෙහි මතයක සිට කටයුතු කළ ආකාරය ටී. අන්ද්‍රාදි දේශපාලන ඉතිහාසය අලළා ලියූ කෘතියක සඳහන් කරයි.

මෙ බඳු තීරණාත්මක අවස්ථාවලදී හේමපාල මුනිදාස ඇතුළු එකල විසූ ප්‍රකට ලේඛකයන් තම පෑනේ හයිය පාවිච්චි කළ බවට සාක්ෂි නොමැත. ශ්‍රී ලංකාවේ ජාතික ව්‍යාපාරයෙහි සීමා හඳුනා ගැනීමේ අවස්ථාවකි එය. ඉන්දියාවට නිදහස ලබා ගැනීම සඳහා ගෙන ගිය අරගලයේ දී ශ්‍රී නේරු, සර්වපාල්ලි රාධක්‍රිෂ්ණන්, මහත්මා ගාන්ධි, රවීන්ද්‍රනාත් තාගෝර්, ස‍රෝජනී නායිදු, ලාල් බහදුර් පටෙල්, අම්බෙඩ්කාර් යනාදීහු ජාතික එක්සත්කම හා ජන විවිධත්වය ආරක්ෂා වන වැඩපිළිවෙළක් සඳහා පෙනී සිටියහ.

නිදහස් අරගලයට එක් කළ සුභාෂ් චන්ද්‍රබෝස්ගේ යෝජනා කිහිපයක් දක්වමි.

1. ගොවීන් සහ කම්කරුවන් සමාජවාදී වැඩපිළිවෙළකට යොමු කිරීම

2. කුල ක්‍රමය අහෝසි කිරීම

3. අධ්‍යාපන අයිතිවාසිකම් සැමට ලබාදීම

4. සෑම ආකාරයකම ආගමික අභිචාර අහෝසි කිරීම

5. ඉන්දියානුවාට උචිත නව ලබ්ධියක් ප්‍රචාරය කිරීම

භාෂා හා ආගම් ගණනාවක් තිබෙන ඉන්දියාවේ නිදහස් අරගලයෙහි ප්‍රතිඵලය හැටියට නිදහස ලබන විට ජාතික රාජ්‍යය ගොඩනැගීම මේ නායකයන්ගේ අභිලාෂය විය.

සිරගත කරන ලද ශ්‍රී නේරු තම දියණිය ඉන්දිරාට ලියූ ලිපිවල සඳහන් වන්නේ අතීතයෙන් හොඳ සහ නරක දෙකම උරුම වී ඇති බවත් අතීතයේ බර හුස්ම හිර කරවනසුලු බවත් ය.

ආගම් අතීතයෙහි කුමන මෙහෙවරක් ඉටු කළත් දැන් ඒවා ප්‍රගතියට බාධාවක් බවත් නේරු ලිවීය. පසුකලෙක මේ ලියැවිලි අගනා ග්‍රන්ථයක් බවට පත් විය. භාෂාව, ආගම හා කුලය නිසා, දහස් ගණනක් මිය ගිය රටකට ඔබින ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආචාර්ය අම්බෙඩ්කාර්ට හැකි ව‍ූයේ ජාතික අරගලයට නායකත්වය දුන් නායකයන්ගේ පෘථුල දැක්ම හේතුවෙනි. ඒ අනුව ඉන්දියාවට නිරාගමික ව්‍යවස්ථාවක් ලැබිණ. ආගමික නිදහස ලැබිණ.

ඉන්දියාවේ එසේ සිදු වුව ද මෙරට නිදහස් අරගලය ජාතික එක්සත්කම පළුදු කරන දිශාවකට සේන්දු විය. ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් නීති උපාධිය ලද එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1927 දී යාපනයේ කළ දෙසුමකදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට උචිත වන්නේ ‍ෆෙඩරල් ක්‍රමයක් බව ය.

එසේ කී ඔහු යුරෝපා ඇඳුමෙන් ජාතික ඇඳුමට මාරු විය. සිංහල මහා සභාව ඔස්සේ සිංහල බෞද්ධ අයිතිවාසිකම් කතා කරන්නට පටන් ගත්තේ දෙමළ හින්දු ජනතාවට තම අයිතිවාසිකම් වෙනම කතා කිරීමේ පසු බිම සකසමිනි. භික්ෂු විරෝධතාවලට බියෙන් බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ඉරා දැමූ ඔහු වර්තමානය දක්වා විසඳාගත නොහැකි ව‍ූ ගැටලුවක් ඉතිරි කෙළේ ය. 1948 දී වතු දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් ද, ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම වෙනුවෙන් ද පෙනී සිටි වමේ පක්ෂ ඉන්පසු කාලයේ ඩඩ්ලිගෙ බඩේ මසල වඩේ සටන් පාඨය කියමින් ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුමට එරෙහිව ශ්‍රීලනිප නායකයන් සමඟ වීදි බැස්සේ ය. සිංහලය රාජ්‍ය භාෂාව කිරීමෙන් කලකට පසුව බුද්ධාගම රාජ්‍යාගම හැටියට ව්‍යවස්ථාවට ඇතුළු කෙරිණ. මේ අනුව ජාතික එක්සත්කම අහෝසි කළ ව්‍යවස්ථා මර උගුලෙන් ගැලවීමට 2017 වනවිට ද නොහැකි වී තිබේ.

වසර 60 කට පෙර මිය ගිය හේමපාල මුනිදාස ලේඛකයා‍ණන් පිළිබඳ යළි සිහිපත් කෙරෙන මොහොතක අප ඔහුගේ දැක්ම හා භාවිතය වීමංසනය කළ යුත්තේ යුගයට සාපේක්ෂව ය. තමන් ඉවත් වූ යුගයේ ප්‍රගතිශීලී කඳවුරේ ස‍ීමාකම් පුපුරුවා හැරීමේ ධී ශක්තියක් නොතිබූ පමණින් ඔහුගේ ඓතිහාසික වැදගත්කම අහෝසි නොවේ. වමේ ව්‍යාපාරය ද ජාතිවාදීන්ගේ හා ආගම්වාදීන්ගේ ගෝත්‍රික දේශපාලනයේ අඩයාළමක් ව පවතින මෙසමයෙහි අදීන ලේඛකයකු ලෙස හේමපාල මුනිදාසයන්ගේ ලේඛනය හා දිවි සැරිය හැදෑරීම කිසිසේත්ම නිස් ප්‍රයෝජන කටයුත්තක් නොවනු ඇත.

 

 

 

 

 

 

 

 

Comments