ඔබ­තුමා දෝලා­වෙන් ‍මම තාම පයින් | Page 2 | සිළුමිණ

ඔබ­තුමා දෝලා­වෙන් ‍මම තාම පයින්

‍‍‍‍එකපාරටම ඇ‍ලියොන් කාර් එකක් ගුණසෝම ළඟ නතර විය. කාර් එකේ විවර වූ ඉදිරි ෂටර් එකෙන් එළියට ආ මුහුණ කාගේ දැයි ගුණසෝමට පැහැදිලි නැත. පැළඳ සිටි අව්කණ්නාඩිය ඒ හඳුනාගැනීම වැළැක් වූයේය. ගුණසෝම තවත් මුහුණ ඇල කර කවුදැයි හඳුනාගැනීමට උත්සාහ කළේය.

'' ඇත්තටම මට නම් නිනව්වක් නැහැ. කවුද කියලා'‍'

'' ඒක ඇත්ත, කාලය ඒ තරමටම වේගයෙන් ගිහිල්ලා.''

'' ඒ කියන්නේ ගොඩක් දේවල් වෙනස් වෙලා.''

'' මං හිතන්නේ.''

'' හැබෑවටම, ඔහේ කවුද?''

'' මං නිමලේ''

'' නිමලේ... නිමලේ ...''

ගුණසෝමට හිතාගන්න බැරි විය. ඒ මූණ මං කීපවතාවක්ම ඡන්ද පෝස්ටර්වල දැක්ක බව නම් ගුණසෝමට මතකය. ටී. වී. වැඩසටහන් කීපයක සංවාදවල මේ මූණ ගුණසෝමට හොඳට හුරුය. ආර්ථික අවපාතය, ආර්ථික ප්‍රතිව්‍යුහය, විශෝධනය, මේ වගේ අමුතු අමුතු වචන ටිකක් විතරක් ටී. වි. එක ඉස්සරහට ඇවිල්ලා කිවුවහම මිනිහෙක් පොරක් වෙන බව නම් අමුතුවෙන්ම කිවයුතු නෑ. ලොකු ලොකු වචන ටිකක් අල්ලා ගත්තහම වැඩේ පහසුයි.

''ඇත්තටම ඔය ටී. වී. එකේ කතා කරන මිනිස්සු ගොඩක් පොත් කියවනවා ඇති නේද?''

ගුණසෝම, ආරියවතී ගේ පොඩි එකාගෙන් ඇහුවේ ඇත්ත නැත්ත පැහැදිලි කරගන්නා අරමුණින්ය. පොඩි එකා ‍නොනවත්වා හිනා වීම ගුණසෝමට එතරම් නොරිස්සුවේය.

'' ඇත්තටම පොඩි එකෝ, නොදන්නාකම ගැන අපිට හිනා වෙන්න එපා. තේරුණාද ? මං හිතන්නේ උඹ මාව කොලොප්පමකට ගත්ත නේද?''

'' ඒකනේ මං කියන්නේ සර්කස් ගුණේට තේරෙන්නේ සර්කස් විතරයි කියලා.''

''හැබෑව , හැබෑව , මං හොඳට සර්කස් නම් දන්නවා. හැබැයි පුතා මං සාස්තරේට අවංක වුණා.''

කොල්ලාගේ හිනාවේ බොහෝ දේවල් රැඳිලා තිබුණ බව නම් ගුණසෝමට හොඳට වැටහුණි. ඒත් ඒවා එකින් එක තේරුම් කර ගැනීම නම් එතරම්ම පහසු නැත. ඉස්කෝලේ යන්න අකමැත්ත නිසා නොව, තිබුණ අසරණකම නිසාම ඉස්කෝලෙ යෑමට නොහැකිවීම ගැන සර්කස් ගුණේට තිබුණේ කනගාටුවකි. ජිවත්වෙන්න අකුරු සාස්තරේ ඕනේම කියලා තමයි ගුණතිලක ඉස්කෝලේ හාමිනේ කිව්වේ. ඒක ඉස්කෝලේ හාමිනේගේ කතාවක් කියලා, ඒ දවස්වල කොල්ලෝ කිව්වට, ඒ කතාව හරියටම වැටහෙන කොට ප්‍රමාද වෙලා බව ගුණසෝමට දැනුණි.

''ජීවිතේ කියන්නේ කොල්ලොත් එක්ක හොර කුරුම්බා කඩන එක නෙවෙයි. ගුණසෝම''

ඉස්කෝලේ හාමිනේ හැමදාම කිව්වේ එහෙමයි. උන්දෑගේ දේශනාවල් නම් ඒ තරම් ගත යුතු නෑ කියලා ගුණසෝම අවබෝධ කරගත්තේ හත්වෙනි පන්තියේදී.

'' අන්න හරි ගුණසෝම උඹ දැන් තමයි නියම ට්‍රැක් එකකට වැටුණේ. උඹත් සර්කස් විල්සන් වගේ සර්කර් ගුණේ වෙයං''

ගුණසෝම ටිකක් කල්පනා කළේය. සල්ලි හොයන්න ලේසිම විදිහ සර්කස් පෙන්වීම බව ගුණසෝම හිතාගත්තේ හත් වෙනි පන්තියේදීය. තාත්තා සර්කස් පෙන්නන කොට ගුණසෝම බලාගෙන හිටියේය. මිනිස්සු බොහෝදෙනා අතපොළසන් දුන්හ. අවසානයේදී තාත්තාගේ මඩිස්සලේට වැටුණේ රුපියල් දහයේ නෝට්ටු කීපයකි. ඉඳහිට රුපියල් පනහ, විස්ස ලැබුණ දවසුත් නැතුවාම නොවේ. සර්කස් පෙන්නන වීරයකු වුණ තාත්තා අවසානයේදී තමා සමඟ ගියේ තුන්මුනින් දාදිය දාගෙන බව ගුණසෝමට මතකය. සර්කස් බයිසිකලේ උඩටම යනකොට මිනිස්සු අත්පුඩි ගහලා සතුට ප්‍රකාශ කරන බව ගුණසෝමට සිහිපත් විය. ඒත් අවසානයේ හෙට්ටු කරලා හෙට්ටු කරලා ගන්න එළවළු මල්ලත් අරගෙන තාත්තා ගෙදර ගිය විට අම්මා තාත්තා පිළිගත්තේ නොරිස්සුම් බවකිනි.

'' අප්පෝ මේ මොනවද? වේළුණ රාබුයි, නෝකෝලුයි, බීටුයි, ඇත්තටම වෙන මුකුත් තිබුණේම නැද්ද? ඔය අප්පුඩි ගහන මිනිස්සු යහමින් සල්ලි දෙන්නේ නැද්ද?''

ගුණසෝමගේ හිත කනස්සල්ලෙන් පිරී ගියේය. එදා රෑ නින්දේදී පවා මතක් වූයේ තාත්තාගේ සර්කස් පෙන්වීමයි. තාත්තා පෙන්න සර්කස්වලට මිනිස්සු සතුටින් කෑගැසූහ. බොහෝදෙනා මදී නොකියන්න සල්ලි වීසි කළහ. තාත්තාගේ මඩිස්සලේ උතුරා ගියේය. තාත්තාගේ මුහුණේ ප්‍රිතීය ද ඉතිරී ගියේය. පසුවදා අවදිවන විට එය සිහිනයක් පමණක්ම වුණි. අම්මාගේ කෑගැසීම සහ තමාගේ අධ්‍යාපනය යනු පරස්පරයක් බව ගුණසෝමට ඉබේම වැටහී ගියේය. ඇත්තට තමන් වැන්නවුන්ට අධ්‍යාපනය සිහිනයකි. අධ්‍යපනය යනු සහතිකයක් විතරක්ද? සහතික නැති මිනිසුන්ට ජීවත්වන්නට මඟක් නැද්ද?

'' අම්මේ ඉගෙන ගන්න බැරි වුණ එවුන්ට මොකද්ද කියන්නේ ''

ගුණසෝම ඇසුවේය.

'' ආ... ඒක තමයි උන්ගේ කරුමේ''

අම්මා කීවාය.

'' එතකොට අම්මේ ඉගෙන ගෙන පාරේ පෙළපාලි යන අයට කියන්නේ''

'' ආ ...ඒකත් උන්ගේ කරුමේ''

'' එහෙනම් අම්මේ ඉගෙනගත්තා, නොගත්තා කියලා වෙනසක් නෑ නේ.''

ගුණසෝමගේ තර්කයට අම්මාට කට උත්තර නැති විය. එදා සිට අම්මා පාඩම් කරන්න කියා බොරුවට කෑ නොගැසුවාය. අනවශ්‍ය විදිහට ගුණසෝමට තිබුණ තරවටුව අවසන් වීමත් යම් සැනසීමක් විය. මේ නිසාම සවස් වරුවේ පන්ති මඟ හැර සර්කස් පොළට යෑමේ අවස්ථාව ගුණසෝමට උදා විය. පුංචි පුංචි සර්කස්වලට තාත්තාට අත්වැලක් දීමට ගුණසෝමට හැකියාව ලැබිණි. නොබෝ දවසකින් ‍සර්කස් විකී කෙනෙක් පමණක් නොව සර්කස් ගුණේ කෙනෙක් ද බිහි වූයේය.

හැන්දෑවරුවේ සවස පන්ති යෑම වෙනුවට තාත්තා සමඟ සර්කස් පෙන්වීමට යෑම ගුණසෝමගේ පුරුද්ද වූයේය. මේ නිසාම පාඩම් වැඩ අතපසු වුණි. එහෙත් තාත්තා සමඟ සර්කස් පෙන්වීමට යෑම නම් නතර නොවීය. තාත්තා සමඟ සර්කස් පෙන්වීමෙන් ලත් මුදල් අම්මා අතට ගෙනත් දෙනවිට ඇගේ මුහුණේ පියකරු බව දැකීමට ගුණසෝම බෙහෙවින් කැමැති වූයේය.

මේ සියල්ල වෙනස් කිරීමට කාලය ඉක්මන් වූයේය. හදිසි හෘදයාබාධයකින් තාත්තා මෙලොව අතහැර ගියේය. අම්මා හා තනිවී ජීවන සටනේ යෙදීමට ගුණසෝමට සිදුවිය. ගුණසෝම උසස් පෙළ කිරීම අතහැර සර්කස් පෙන්වීමේ කාර්යයට පූර්ණකාලීනව යොමුවුණි. එහෙත් එය එතරම් පහසු නොවීය. සහයකයකු නොමැතිව ඉදිරියට යෑම සාර්ථක නැත. ඒත් ඒ තනිකමට හුරුවීමට ගුණසෝමට සිදු විය.

මේ කාලයේදි දිනපාල මුණ ගැසුණේ අහම්බෙනි. දිනපාල රැකියාවක් සොයමින් සිටියේය. ආර්ථික අපහසුකම් නිසා අටේ පන්තියට ඉගෙනගත් දිනපාල හොඳ මිතුරකු බව ගුණසෝමට හැඟී ගියේය. බාහිරින් මිනිසුන් තීරණය කරන්න ඉක්මන් වෙන්න එපා කියලා තාත්තා කිව්වත්, දිනපාල ගැන සැක සිතීමට කිසිදු හේතුවක් නොවීය. මේ නිසා සර්කස්වල සියලුම උපක්‍රම දිනපාලට පුහුණු කිරීමට ගුණසෝම ඉක්මන් වූයේය. ලැබෙන මුදල්වලින් දිනපාලට නියමිත කොටස ගෙවීමට ගුණසෝම කිසිදු පැකිලීමක් නොකළේය. ඉක්මනින් මුදල් සොයමින් සර්කස් කණ්ඩායමක් ලෙස ඉදිරියට යාමට ගුණසෝමට හැකි වූයේය.

ඔය අතරවාරයේ දිනපාල ආගිය අතක් නැති වූයේ නොසිතූ ලෙසය. මුදල් සමඟ ඔහු අතුරුදන් වීම ගුණසෝමට ගැටලුවක් විය. ඒත් සෙවීමට කාලය නාස්ති කිරීම පලක් නොවිණි. තනිවම සර්කස් කණ්ඩායම මෙහෙවීම හැර වෙන කිසිවක් කරගත නොහැකි විය. දිනපාලගේ මුහුණ ගුණසෝමගේ මතකයෙන් මැකී ගියේ. එහෙත් පළාත් මැතිවරණ ඡන්ද පෝස්ටරයක දැකපුරුදු මුහුණක් තිබෙනු ගුණසෝම දුටුවේ තවත් කාලයකට පසුවයි. එහෙත් ඒ දිනපාල යැයි සිතීමට ගුණසෝම ඉස්සර නොවීය.

'' දිනපාල ගැන ආරංචියක් නැද්ද?''

'' මං අමතක කළා.''

දිනපාල ගැන අසන විට ගුණසෝම කීවේ එලෙසය. එදා තමන්ගේ සල්ලි රැ‍ඟෙන දිනපාල අතුරුදන්වීමේ පුවත කාලය විසින් මකා දැමුවේය. එහෙත් මේ හමු වුණේ ඒ දිනපාලම ද? ගුණසෝමගේ සිත සිතිවිලි සයුරේ කිමිදිණි.

' මම දිනපාල සතරසේක. මතක නැද්ද?. මේ මගේ කාඩ් එක. පළාත් සභාවට එන්න බදාදා දවසක.'

 

Comments