HOLLYWOOD | Page 4 | සිළුමිණ

HOLLYWOOD

 ඇමැතිවරුන්ටත් සමාන වූ නීතිය

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති බානබි ජොයිස් සහ හොලිවුඩ් නළු නිළි යුවළක් වන ඇම්බර් හර්ඩ් සහ ජොනි ඩෙප් අතර පවතින්නේ දැඩි අමනාපයක්. මේ විරසකය ඇතිවුණේ 2015 වසරේදී ඇම්බර් සහ ඇගේ සැමියා වූ ජොනි ඩෙප් ඔස්ට්‍රේලියානු සංචාරයක් සඳහා එරටට පැමිණෙද්දීයි. ඔවුන් දෙදෙනා කැන්ගරු දේශයට පා තැබුවේ ඔවුන් ඇතිදැඩි කරන ‘පිස්ටල්’ සහ ‘බූ’ නම්වූ ටෙරියර්ස් වර්ගයේ බලු පැටවුන් දෙදෙනාත් එක්කයි.

ගුවන් තොටුපළ බලධාරීන් මේ බලු පැටවුන් ඔස්ට්‍රේලියානු භූමියට රැගෙන යෑමට නොහැකි බවත්, එය නීති විරෝධී බවත් පැවසුවා. ජොනී සහ ඇම්බර් එයට විරෝධය පෑවා. එයින් අනතුරුව මේ ප්‍රශ්නය ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැතිවරයා දක්වා ගමන් කළා. ඔහුගේ විධානය වූයේ ජොනී සහ ඇම්බර් බලු පැටවුන් සමඟ වහාම ඔස්ට්‍රේලියාවෙන් පිටවිය යුතු බවයි. අන්තිමේදී ඔවුන් දෙදෙනාට සිදුවුණේ බලු පැටවුන් ඇමෙරිකාවට පිටත්කර යවන්නටයි. සිද්ධිය එතැනින් නිමාවට පත්වුණා. නීතිය කාටත් සමානයැයි නි. අගමැතිවරයා එහිදී ප්‍රකාශ කළා. දැන්, ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැතිවරයාට පුරවැසිකම පිළිබඳ ප්‍රශ්නයකට මුහුණු දෙන්නට සිදුවෙලා. ඔහු ඔස්ට්‍රේලියාවේ උපත ලැබුවත්, ඔහුගේ පියාගේ ජන්ම භූමිය නවසීලන්තයයි. මේ නිසා ඇතිවූ ගැටලුවෙන් නියෝජ්‍ය අගමැතිවරයා පීඩාවට පත්වෙද්දී ජොනී සහ ඇම්බර් ට්විටර් පිටුවෙන් ප්‍රකාශ කළේ නීතිය කාටත් සමාන බව නියෝජ්‍ය අගමැතිවරයා වටහා ගත යුතු බවයි.

සුනඛයන් වෙනුවෙන් වැලපෙන ජෙසී

මේකත් සුනඛ කතාවක්. හොලිවුඩ් සුපිරි නිළි ජෙසිකා අල්බා මේ දිනවල කාලය ගත කරන්නේ කනගාටුවෙන්. මේ වන විට තුන්වැනි වතාවටත් මව් පදවිය අපේක්ෂාවෙන් පසුවන ඇය අසතුටෙන් පසුවන්නේ ඇයි? ඒ ඇය ඇති දැඩි කළ ඇගේ සුනඛ ධේනුවන් දෙදෙනාම හදිසියේම මියගිය නිසයි.

“අපේ ස්වීට් ගර්ල් - බොවී, එයාගේ සොහොයුරිය සිඩර්ස් එක්ක සමාදානයේ සැතපුණා. දැන් අපේ ගෙදර සුරතල් බලු පැටවුන් නැහැ. අපි දැන් ගත කරන්නේ දුක්බර කාලයක්.” ජෙසිකා ඇගේ ශෝක පණිවුඩය ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි සටහන් කළේ එලෙසයි. මේ සටහනට මියගිය සුනඛ සොයුරියන්ගේ ඡායාරූපයක් ද එක්කර තිබුණා. බොවී මියගියේ ජූලි මාසයේ අගදීයි. ඇය නික්ම ගොස් සතියකින් සිඩර්ස් ද අවසන් හුස්ම හෙලූ බවයි ජෙසිකා පැවසුවේ. ජෙසිකා තම දුක සැමියා, කෑෂ් වොරන් සමඟ මුළු ලොවටම ප්‍රකාශ කළා.

දෙවැන්න පළමුවැන්න වෙන හැඩ

ජනප්‍රිය ගායකයකු වන පීටර් ඇන්ඩ්‍රේ සිනමා ලෝකයට ද පා තබා සිටින බවයි හොලිවුඩ් පුවත් වාර්තා කරන්නේ. ඔහුගේ කුලුඳුල් රංගනය ඇතුළත් වන්නේ ජේම්ස් ඩී. ආර්. හිකොක්ස් අධ්‍යක්ෂණය කළ ‘ද අන්ඩුයින්’ චිත්‍රපටයේ. මේ සිනමා නිර්මාණය රූගත කිරීමටත් කලින් පීටර් ඇන්ඩ්‍රේට තවත් චිත්‍රපටයක රඟපාන්නට ඇරයුම් ලැබිලා. ‘ද අන්ඩුයින්’ චිත්‍රපටයට පාදක වන්නේ අද්භූත සහ බියකරු සිදුවීම් මුසු වූ කතාවක්. ඔහුට රඟපාන්නට ලැබුණු දෙවැනි චිත්‍රපටය ඊට වඩා වෙනස් කතාවක් රැගත් නිර්මාණයක්. එය අධ්‍යක්ෂණය කරන්නේත් ඩී. ආර්. හිකොක්ස්මයි.

“දෙවැනි චිත්‍රපටයේ තිර රචනය කියවන්නත් ලැබුණා. ඒක ‘ද අන්ඩුයින්’ චිත්‍රපටයට වඩා ගොඩක් වෙනස්. ලබන ඔක්තෝබරයේදී ලොස් ඇන්ජලීස් නුවර දී මේ චිත්‍රපටයේ රූගත කිරීම් සිදු වේවි.

මගේ හොඳම මිතුරා ජේම්ස් හිකොක්ස් මට හොඳ සහයෝගයක් ලබා දෙන බව සඳහන් කරන්න ඕනෙ. සමහර විට මට ලැබුණු ඔහුගේ ‘ද අන්ඩුයින්’ චිත්‍රපටයට කලින් මේ චිත්‍රපටයේ වැඩ අවසන් වේවි.” පීටර් ඇන්ඩ්‍රේ පැවසුවා.

සිංහ ලීලාව වෙන ක්‍රමයකට

නපුරු සතුන් එක්ක රඟපෑමට කිසිම නළුවකු හෝ නිළියක කැමැති නැහැ. සුපිරි නිළි කේට් වින්ස්ලට් ද එවැන්නියක්. ‘ද මවුන්ටන් බිට්වීන් අස්’ නම් වූ අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම්වලදීයි, ඇයට එවැනි අවස්ථාවකට මුහුණ දෙන්නට සිදුවුණේ.

චාර්ල්ස් මාටින් නම්වූ ගත් කතුවරයා විසින් ලියන ලද ‘ද මවුන්ටන් බිට්වීන් අස්’ නමැති නවකතාව ඇසුරින් නිර්මාණය වන මේ චිත්‍රපටයේ කේට් රඟන්නේ ඡායාරූප මාධ්‍යවේදිනියකගේ චරිතයක්. මෙහි එන එක්තරා දර්ශනයකදී ඇයට සිදු වෙනවා, නොබියව සිංහයකුගේ ඉදිරිපසට ගමන් කරන අවස්ථාවක් නිරූපණය කරන්න.

මේ ජවනිකාව රූගත කරන මොහොත දැකබලාගන්න කේට්ගේ සැමියා වන නෙඩ් රොක්න්රෝල් ද පැමිණ සිටියා. කේට් මෙන්ම ඔහු ද අකැමැති වුණා, ඒ දර්ශනය රූගත කිරීමට. ඒ නිසා අධ්‍යක්ෂවරයාට සිදු වුණේ වෙනත් ප්‍රයෝගයකින් එය රූගත කරන්නටයි. එම දර්ශනය රූගත කළේ කැල්ගාරි ප්‍රදේශයේ පර්සෙල් කඳුවැටිය ආශ්‍රිතවයි. රූගත කිරීම් සිදුකළ දිනයේ පැවැති අයහපත් කාලගුණය ද නොතකමින් කේට් ඇතුළු පිරිස රඟපෑවේ දැඩි උනන්දුවකින්. 

Comments