
කරීනා, ඕමන්ගේ සිහිනය බොඳ කරයි
සුන්දර ස්විට්සර්ලන්තයේ සිරි නරඹමින් දින කිහිපයක් ගත කළ සුරූපී නිළි කරීනා කපූර් මුම්බායි නුවරින් සිය රටට පැමිණියේ තවත් චිත්‍රපටයක රංගනයට පිවිසෙන්න හිතාගෙන. ඕමන්ග් කුමාර් නම් වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ අලුත්ම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය හැටියටයි කරීනාව තෝරාගෙන තිබුණේ. ඒ නිසා විදේශ සංචාරයෙන් පසුව ඇය ඉක්මනින්ම ඔහුව හමුවුණා.
කරීනා, මේ අධ්‍යක්ෂවරයා යටතේ අවසන් වතාවට රඟපෑවේ ‘වීර් ඩි වෙඩින්’ චිත්‍රපටයේ. ඉතින්, ඒ චිත්‍රපටයේ රංගනයෙන් ලද ප්‍රශංසා නිසාම ඇය තීරණය කළා ඕමන්ග්ගේ ඊළඟ චිත්‍රපටයේ රංගනයට කැපවෙන්න. ඔහුගේ අලුත් චිත්‍රපටයට තවමත් නමක් යොදා නැහැ. නමුත් එය සැබෑ චරිතයක් පදනම් කරගත් කතාවක් මුසු වූ සිනමා නිර්මාණයක් බව කරීනා දැන සිටියා. ඇය, ඕමන්ග් සමඟ මේ ගැන සාකච්ඡා කළා. ඉන් පසුව තිර නාටකයද විමසිල්ලෙන් කියවා බැලුවා. යළි ඕමන්ග් කුමාර් ව හමු වූ කරීනා ඔහුට කාරුණිකව කියා සිටියේ තමන්ට එම චිත්‍රපටයේ රඟපෑමට නොහැකි බවයි. එයට හේතුව ඇගෙන් පැහැදිලි කෙරුණේ නැහැ. තතු දන්නා අය පවසන්නේ තිර රචනයේ සඳහන් ඇතැම් රංගනයන්ට, කරීනාගේ අකැමැත්තක් පැවැති බවයි. ‘වීර් ඩි වෙඩින්’ චිත්‍රපටයේ රඟපෑමෙන් පසුව තමන් වෙත ලැබුණු කිසිදු තිර රචනයකට කරීනා තුළ ප්‍රසාදයක් නොතිබූ බවත් පැවසෙනවා.
කරීනාගේ අකැමැත්ත පිළිගත් ඕමන්ග් කුමාර් දැන් වෙනත් නිළියකගේ රංගනයන් තම චිත්‍රපටයට එක්කර ගන්නට උත්සාහ දරමින් සිටිනවා. මේ දිනවල ඔහු ප්‍රියංකා චොප්රා, දීපිකා පදුකෝන්, ආලියා භාට්, ක්‍රිටි සැනන්, කන්ගනා රනවුත් සහ තවත් ජනප්‍රිය නිළියන් සමඟ කතාබහ කරමින් පසුවන්නේ ඒ වෙනුවෙන්.
සිද්ධාර්ත් - ආලියා වෙන් වුණේ ජැකී නිසා ද?
බොලිවුඩ් තිරය හැඩ වැඩ කළ පෙම් යුවළක් තමයි, සිද්ධාර්ත් මල්හොත්‍රා සහ ආලියා භාට්. දෙදෙනාගේ පෙම් ජවනිකා පුළුල් තිරය මත දිග හැරෙද්දී සැබෑ ජීවිත තුළින් ද ඒ පෙම් කතා ජීවමාන වුණා. මීට වසර 5කට පෙර පටන් දෙදෙනාගේ සැබෑ ආදර කතාව ගලාගෙන මේ දක්වා පැමිණියා.
නමුත් පසුගිය මාස කිහිපය තිස්සේ බොලිවුඩ් මාධ්‍ය වරින් වර අනාවරණය කළේ සිද්ධාර්ත් සහ ආලියා එකිනෙකා නුරුස්සන ස්වභාවයකින් පසුවන බවයි. මේ ගැන ඉව වැටුණු මාධ්‍යවේදීන් ඔවුන්ගෙන් කිහිප අවස්ථාවකදීම විමසුවත් පැහැදිලි උත්තරයක් ලැබුණේ නැහැ. තමන් දෙදෙනා අතර පෙම් සබඳකමක් පවතින බව හෝ පැවතුණු බව හෝ ඔවුන් දෙදෙනා පිළිගත්තෙ නැහැ.
මේ අතරේදී විවිධ කටකතා පැතිරී ගියේ ලැව්ගිනි පරදවාලමින්. කටකතාවල රස්නය දැනෙන්නට පටන් ගත් විට සිද්ධාර්ත් පැවසුවේ මෙවැන්නක්...
“මගෙයි ආලියාගෙයි සම්බන්ධය කැඩිලලු! කැඩෙන්න අපි ලීබඩු වගේ දේවල් නෙමෙයි!” ඔහු මෙලෙස කීවේ පසුගියදා ‘අ ජෙන්ට්ල්මන්’ චිත්‍රපටයේ ගීතයක් එළිදැක්වීම වෙනුවෙන් පැවැත්වුණු උත්සවයකට සහභාගිවී සිටිද්දීයි. සිද්ධාර්ත් එලෙස කීවත් බොලිවුඩ් ආරංචිවල සටහන් වන්නේ ළඟදීම රූගත වීමට නියමිත, මහේෂ් භාට් අධ්‍යක්ෂණය කරන ‘ආශික්වි - 3’ චිත්‍රපටයේ සිද්ධාර්ත් සමඟ රඟපෑමට ආලියා අකැමැති බවයි. ඔවුන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී ඇතැයි ද පැවසෙනවා.
මේ අතර තවත් ආරංචියක් ඉඟි කරන්නේ සිද්ධාර්ත් සහ ආලියාගේ ප්‍රේමය දෙකඩ වීමට ජැකලින් ෆර්ඩිනැන්ඩස් හේතු වී ඇති බවයි. මෑතකදී තිරගත වූ ‘අ ජෙන්ට්ල්මන්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟන්නේ සිද්ධාර්ත් සහ ජැකලින්. මේ චිත්‍රපටයේ ප්‍රවර්ධන වැඩ සටහන්වලට සහ ප්‍රිය සම්භාෂණවලට සිද්ධාර්ත් සහ ජැකලින් පෙම් යුවළක් මෙන් පැමිණීම ආලියාගේ දැඩි නොසතුටට හේතු වෙලා. ඇය සිද්ධාර්ත්ව ප්‍රතික්ෂේප කර ඇත්තේ ඒ නිසාලු.
හේමා මාලිනී ගායිකාවක් වෙයි
එදා හින්දි සිනමා තිරයේ ජයකෙහෙළි නැංවූ නිළි, හේමා මාලිනී රසික පරපුරට අමතක නැහැ. ඇය දැන් 68 වැනි වියෙහි පසුවෙනවා. මේ ප්‍රවීණ සිනමා නිළිය අලුත් වැඩකට යොමු වෙලා. අලුත් චිත්‍රපටයක රංගනයකට නම් නොවෙයි. ඇය ගීත කිහිපයක් ගායනා කරමින් ගායන ලොවට එක්වෙලා. ඇගේ මුල්ම ගීත ඇල්බමය ලෙස ‘ගෝපාලා කෝ සමර්පන්’ නමින් පසුගියදා නිකුත් වුණා.
“මම කවදාවත් හිතුවෙ නැහැ, ගායිකාවක් වෙන්න. ඒත් මට ලැබුණා නාරායන් අගර්වාල්ජි කියන ගීත රචකයා ලියූ හොඳ ගීත කිහිපයක්. ඒත් එක්කම මේ ගීතවලට තනු යොදා ඒවා සංගීතවත් කරන්න දක්ෂ සංගීතඥයන් කිහිප දෙනකුත් මට හඳුන්වලා දුන්නා. ඒ නිසා මම ඒ ගීත ප්‍රතික්ෂේප කරන්නෙ නැතුව ගායනා කළා. මම හිතන්නෙ ගායිකාවක හැටියට මගේ හැකියාවන් පෙන්වන්න මේ හොඳම කාලය කියලයි. හැබැයි මම වෘත්තීය ගායිකාවක් නෙමෙයි. දිගටම ගීත ගායනා කරන්න බැරි වේවි. මොකද, මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. මගේ දුවට (ඊෂා ඩියොල්) දරුවෙක් ලැබෙන්න ඉන්නවා. මට ගෙදර වැඩ තියෙනවා. ඒ නිසා වෘත්තිය ගායිකාවක් වෙන්න බැහැ” එලෙස පවසන හේමා මාලිනී, මෙම ගීත එකතුවට තම සැමියා ධර්මේන්ද්‍ර (ප්‍රවීණ නළු) සතුට ප්‍රකාශ කළ බවත් හෙළි කළා. “මේ ගීත තැටිය අපේ ගී රැජන ලතා මංගේෂ්කර් මහත්මියටත් මම පිළිගැන්නුවා. එතුමිය මේ ගීතවලට ප්‍රශංසා කළා” හේමා මාලිනී තවදුරටත් ප්‍රකාශ කළා.