සිනා කතා | Page 3 | සිළුමිණ

සිනා කතා

යට වෙලා වත් ද?

“මොකද බං උඹ ඔය උදැල්ලකුත් කරේ තියාගෙන කලබලෙන් වගෙ කුණු කන්ද දිහාට යන්නෙ? උඹලගෙ කවුරුවත් ඔය කුණු කන්දට යටවෙලා අතුරුදන් වුණේ නැහැනෙ.” ලොකු හදිස්සියකින් මෙන් මීතොටමුල්ල දෙසට යමින් සිටි බුද්ධදාස නැවතූ රාමනායක ඇසුවේ තරමක විමතියකිනි.

“‍මොකද බං නැත්තෙ? අපේ මන්ත්‍රීතුමිය ඔය කුණු කන්ද පාත් වුණු දවසෙ ඉඳලා මේ පළාතේ කොහේවත් දකින්ඩ නැහැ. කිසිම තොරතුරකුත් නැහැ එයා ගැන. මම මේ තකහනි‍යක් යන්නෙ කුණු කන්ද පොඩ්ඩක් අවුස්සලා බලන්ඩ, එතුමිය ඒකට යටවෙලාවත් ද කියල.” බුද්ධදාස කීවේ ය.

එතකොට කාලෙ හොඳ වෙයි

“චූන් චෑන් මහත්තයා, ඔහේ අපි දන්න කාලෙ ඉඳලා මේ මරදානෙ ඔය දත් බඳින සාප්පුව කරගෙන ගිය මනුස්සයා නොවැ. ඉතින් මේ මොකද හදිස්සියෙ ම ඒක වහලා දාන්ඩ තීරණය කළේ?” තම දත් සාප්පුව අස්පස් කරමින් සිටි චීන ජාතිකයා දෙස විශ්මයෙන් බලමින් ලිංගම් විමසුවේ ය.

“නෑ ලිංගම් මල්ලි, මේ සාප්පුව වහලා දැම්මට මම ඒක අරිනවා අලුත් තැනක. මම හම්බන්තොට වරාය කිට්ටුව හොඳ තැනක් බලලයි තියෙන්නෙ. දැන් මමත් වයසක මනුස්සයනෙ. ඉස්සරහට ඒ පළාතේ අපේ කට්ටිය යහමින් ගැවසෙන්ඩ ගනියි නෙ. අපේ මිනිස්සු ළඟපාත ඉන්න ‍කොට මගෙ බිස්නස් එක සරුවෙයිනෙ.” චූන් චෑන් කීවේ සිනාවක් පාමිනි.

ඊයේ එයා නෙමෙයි අද

පාසල් වෑන් රථයෙන් දහවලේ තම නිවසට පැමිණි නිලංක තම පොත් බෑගය සහ වතුර බෝතලය මේසය මතට අත හැරියේ මුහුණ කළු කර ගනිමිනි.

“ඔන්න අම්මේ මීට පස්සෙ නං මං ඔය ඉස්කෝලෙට යන්නෙ ම නෑ.” නිලංක කීවේ තරහෙනි.

“ඒ මොකද පුතා?” මව විමතියෙන් නිලංක දෙස බලමින් ඇසුවා ය.

“ටීචර් ගණන් පාඩමෙදි ඊයෙ අපිට ඉගැන්නුවා හතරයි තුනයි එකතු කළාම හතයි කියලා. ඔන්න අද කියනවා පහයි, දෙකයි හතයිලු.” නිලංග කීවේ කෝපයෙනි.

සුනිල් ටී.

නාඔටුන්න තම කාර්යාලයේ සිට එළියට එන විට ඒ ඉදිරිපස මහා මාර්ගය අයිනේ රැඳී සිටි මහලු ස්ත්‍රියක් තම කාර්යාලයීය ගොඩනැඟිල්ල මුදුනේ සවිකොට තිබූ විශාල පුවරුව දෙස දෑස් දල්වා ඉතා ඕනැකමින් බලා සිටින අයුරු දුටුවේ ය. ඇය “සුනිල් ටී. නිෂ්පාදනයක්” යනුවෙන් ලොකු අකුරින් එහි සඳහන් වගන්තිය මුමුණනවා ඇසුණු හෙතෙම ඈ දෙස බලා සිනා සී මෙසේ ඇසුවේ ය.

“මොකෝ ඔහේ ඔය බෝඩ් එක දිහා බොහොම විපරමෙන් බැලුවේ?”

“නෑ මහත්තයෝ, අපිත් ඉතින් කඩේ ගියා ම නිතර තේ කොළ වගේ දේවල් ගන්න උදවියනෙ. ඒත් ‘සුනිල් ටී.’ කියල තේ කොළ ජාතියක් කිසිම කඩේක මම නං දැකලා නැහැ. ඒකයි මේ බැලුවේ.” ස්ත්‍රිය කීවා ය.

කොයි දත ද?

“මේ කම්මුල ඔය විදියට ඉදිමිලා තියෙන්නෙ ඔහෙගෙ දතක් නරක් ‍වෙලා හින්දයි. ඒ දත උගුල්ලලා දාන්ඩ වෙනවා.” රෝගියා දෙස පරීක්ෂාවෙන් බැලූ දත් දොස්තර කීවේ ය.

“කොයි දත ද මහත්ත‍යෝ මේකෙන් නරක් වෙලා තියෙන්නෙ?” තම බොරු දත් ඇඳි දෙකම ගලවා මේසය මත තැබූ රෝගියා ඇසී ය. 

 

Comments